හෙළුවට රටම විපතට නැත සමාවක්…
බත් එක තෝසෙ එක තේ එක මිල ඉස්සී
සාගතයකට හසුවී ඇත අද කුස්සී
අධ්‍යාපනය මොට වෙයි ඇත හද ගැස්සී
පුහු මැත දොඩයි තැන තැන නායක මැස්සී
යන්නේ කොහෙද මල්ලේ පොල් වැනිය කතා
දන්නේ නැතිද පච දොඩවයි රසට ගොතා
රට යන ගමන දැඩි අවදානමකි ඉතා
හරි ගුණමකුය දෙස්පාලන අමන සතා
අහසට උස විදුලි බිල පහතට දමමූ
පුද දෙන කොමිස් නවතා නිසි තිත තබමූ
නැති අය හැකි අයව කර කර රට හදමූ
සතුටු දැයක් සැමටම අපි ගොඩ නගමූ
එලෙසට කියා රට පාලනෙ ගත් උන්ද
රඟපානවා නැති විලසට පිට කොන්ද
කතිරයෙ බලය ගෙන කොඳු ඇට පෙළ බින්ද
කොරනව කියා විත් රට කොර කළෙ මුන්ද
පුර පෝ ගෙවී ලැබුවා මෙනි අමාවක්
යළි නොතැබිය යුතුය කිසි තැන කොමාවක්
ඇතිකර නොගත යුතු වෙයි කිසි පමාවක්
හෙළුවට රටම විපතට නැත සමාවක්










