නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බවත් ආයතනයක නායකත්වය වෙනස් වූවත් වැඩපිළිවෙළ තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේද වෙනසක් ගැන අවධානය යොමුකළ යුතු බවත් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමය සහ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ අතර සාකච්ඡාවක් ඊයේ (22) අරලියගහ මන්දිරයේදි පැවැත්විණි.
රට ගොඩනගන වැඩපිළිවෙළ හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය ගෙනයන වැඩපිළිවෙළ සඳහා දායක වන ලෙස එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතා ගණකාධිකාරි සේවා සංගමයේ නියෝජිතයින්ට ආරාධනා කළේය.
එහිදී එම සංගමය විසින් ගණකාධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා සංගමයේ සභාපති එම් එස්. අනුරුද්ධ මහතා ඇතුළු නියෝජිතයින් කණ්ඩයමක් සහභාගි වූහ.












