ඉරානය සමඟ පවතින යුද්ධය වහාම නතර කරන ලෙසත්, රජය ඉල්ලා අස්විය යුතු බවටත් බල කරමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් (Tel Aviv) අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබේ. Sri Lanka Latest News
ඉරිදා (අප්‍රේල් 05) අලුයම වන විටත් දහස් සංඛ්‍යාත පිරිසක් ටෙල් අවිව් නුවර ‘හබිමා’ (Habima) චතුරශ්‍රයට සහ ප්‍රධාන මහා මාර්ග වෙත රොක් වෙමින් පවතින බව වාර්තා වේ.
මාසයකට වැඩි කාලයක් පුරා ඇදෙන මෙම යුද්ධය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීම සහ දෛනික ජීවිතය අඩාල වීම පිළිබඳව ජනතාව සිය දැඩි අප්‍රසාදය පළ කරති.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ වත්මන් පාලනය සිය දේශපාලන වාසි තකා යුද්ධය දිගු කරමින් සිටින බවයි. “නිමක් නැති යුද්ධය උපාය මාර්ගයක් නොවේ” (Endless war is not a strategy) යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් සාමකාමී විසඳුමකට එළඹෙන ලෙස රජයට බල කර සිටිති.
මේ අතර, විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ඊශ්‍රායල පොලිසිය දැඩි බලයක් යොදා ඇති අතර, පවතින යුද සමයේ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කරමින් රැස්වීම් පැවැත්වූ බවට චෝදනා කරමින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදුන් පැය 48ක අවසාන නිවේදනයත් සමඟ කලාපයේ යුදමය උණුසුම අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති අතර, එම තත්ත්වය හමුවේ තවදුරටත් යුද්ධය සිදුකිරීමට එරෙහිව ඊශ්‍රායල වැසියන් අතරින්ම මෙවැනි විරෝධයක් මතු වීම විශේෂත්වයකි.
ටෙල් අවිව් නුවරට අමතරව ජෙරුසලම (Jerusalem), හයිෆා (Haifa) සහ බීර්ෂෙබා (Beersheba) යන නගරවල ද මෙවැනි විරෝධතා රැලි පවත්වමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මුලාශ්‍රය – Times of Israel / Reuters / AFP










