ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (22) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි බැහැ දුටුවේය.
උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි බැහැ දැක සුව දුක් විමසීය.
විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර බෞද්ධ සම්ම්න්ත්‍රණ ශාලාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කුසලධම්ම හිමියෝ ජනාධිපතිතුමා දැනුවත් කළහ. එය කඩිනමින් නිම කර දෙන බව ජනාධිපතිතුමා උන්වහන්සේ සමග පැවසීය.
විද්‍යාලංකාර පිරිවෙනෙහි වැඩ වෙසෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ද බැහැ දුටු රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.
කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.












