ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කරන ලද නවතම සාම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති ඉරානය, තමන්ට අවශ්‍ය වේලාවට සහ තම කොන්දේසි මත පමණක් සටන් විරාමයකට එළඹෙන බවට දැඩිව අවධාරණය කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුද්ධය අවසන් කරන දිනය තීරණය කිරීමට ඉඩ නොදෙන බව පවසන ඉරාන බලධාරීන්, වොෂින්ටනයේ යෝජනා අසාධාරණ සහ යුද පිටියේ සැබෑ තත්ත්වයට පටහැනි බව පෙන්වා දෙයි. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා සෙයියද් අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නායකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයෙන් පසු උත්සන්න වූ මෙම අර්බුදයට ප්‍රතිචාර ලෙස, ඉරානය මේ වන විටත් කලාපය පුරා පිහිටි ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර 80කට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇත.
සතුරාට එරෙහිව දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් තම ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට අනතුරු අඟවන ඉරානය, යම් හෙයකින් සටන් විරාමයකට එකඟ වීමට නම් ප්‍රධාන කොන්දේසි පහක් සම්පූර්ණ විය යුතු බව ජාත්‍යන්තරයට දැනුම් දී ඇත. සතුරු ආක්‍රමණ සහ ඝාතන වහාම නැවැත්වීම, අනාගත යුද තත්ත්වයන් වළක්වන ස්ථිර යාන්ත්‍රණයක් සකස් කිරීම, යුද හානි සඳහා සහතික කළ වන්දි ලබාදීම, කලාපයේ සියලු පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයේ ස්වෛරී අයිතිය ජාත්‍යන්තරව පිළිගැනීම එම කොන්දේසිවලට ඇතුළත් වේ. මීට පෙර පැවති සාම සාකච්ඡාවලදී ඇමෙරිකාව වංචනිකව කටයුතු කර ඇති බවට චෝදනා කරන ඉරානය, මෙම නව යෝජනාද හුදෙක්ම යුද ආතතිය තවදුරටත් වැඩිකිරීමේ උපක්‍රමයක් පමණක් බව අවධාරණය කරයි.










