අහක යන නයි
මේ වනවිට ලෝකයේ අවධානය යොමුව ඇති ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කොට ඇති යුද්ධයය. මේ වනවිට යුද්ධය ආරම්භ වී දින 22ක් ගෙවුණු තැන මැදපෙරදිග බොහෝ රටවල් යුද්ධයට ඈඳී තිබීම හරහා සමස්ත ලෝකයම බලශක්ති අර්බුදයකට මුහුණදීමේ අවදානමක් මතුව තිබේ. ඒ හරහා දින 22ක් තුළ මුළු ලෝකයම උඩුයටිකුරු කරලීමට මැදපෙරදිග යුද්ධය සමත් වී තිබේ. මාලිමා ආණ්ඩුවද මේ වනවිට බරපතළ ඉන්ධන සහ ගෑස් අර්බුදයකට මුහුණදී ඇති පසුබිමෙක ‘අහක යන නයි රෙද්ද අස්සේ දමාගත්තාක්‘ මෙන් ශ්‍රී ලංකාවට අනන්‍ය ආර්ථික කලාපයේදී ඉරාන නෞකාවකට එල්ල වූ ප්‍රහාරය හරහා තවත් රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකටද මුහුණපා තිබේ. අනතුර සිදුවූ සැණින් නාවික හමුදාව එය ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව කියද්දී ඇමෙරිකානු බලධාරීන් තහවුරු කොට කියා සිටියේ සිය සබ්මැරීනයක් මගින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයක් හේතුකොට ගෙන ඉරාන නෞකාව මුහුදුබත් කරදැමීමට කටයුතු කළා යැයි කියාය. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් පසුව ඉරානයද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එහි ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සූදානම් වන ලෙසය. එය ඇමෙරිකාවට කළ ඍජු අනතුරු ඇඟවීමක්ද, එසේත් නැත්නම් ලංකාවට කළ වක්‍ර අනතුරු ඇඟවීමක්ද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ සැකයකි. ඊට හේතුවී ඇත්තේ එම ප්‍රහාරය හේතුකොටගෙන ශ්‍රී ලංකාවද ඇමෙරිකාවට පක්ෂපාතී ස්ථාවරයක සිටින බවට යම් ඉඟියක් ඉරාන පාර්ශ්වයන්ට ගොස් තිබීමය.Sri Lanka Latest News
මේ අතරවාරයේ ශ්‍රී ලංකා ආණ්ඩුවත් ඇමෙරිකාවත් සමග අස්සන් කළ ගිවිසුමක් හරහා වෙරළාරක්ෂක නෞකාවක් සහ හෙලිකොප්ටර් යානා 10ක් ලංකාවට ලබාදීමට නියමිතව ඇති බවත්, එය ලංකාවට භාරදීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලබන මැයි මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වාර්තා කළෙමු. ගෝර් හා ජනාධිපතිවරයා අතර ඉතා සමීප සම්බන්ධතාවක් පැවැතීම නිසා අවශ්‍ය අවස්ථාවකදී ගෝර්ට දුරකතන ඇමතුමක් ලබාදී ඒ හරහා ඇමෙරිකානු ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමේ හැකියාවක් පවා ජනාධිපතිවරයාට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයේ අප වාර්තා කර සිටියෙමු. කෙසේ වෙතත් ඉරාන යුද්ධය උත්සන්න වෙමින් පැවැතියදී ගෝර්ගේ මේ ලංකා ගමන හරහා යම් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට මගපෑදීමේ අනතුරක් ඇති බවක්ද අපි එහිදී වාර්තා කර සිටියෙමු.
මීට අමතරව මේ වනවිට ප්‍රහාරයට ලක්වූ ඉරාන නැවේ සිටි ඉතිරි නාවිකයන් සහ තුන්වැනි ඉරාන නැවේ සිටි නැවියන් වැලිසර නාවික හමුදා කඳවුරේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. එමෙන්ම මෙම තුන්වැනි නැව ත්‍රිකුණාමල වරායට ඔබ්බෙන් වූ මුහුදු සීමාව දක්වා රැගෙන යන බව ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළද තවමත් එම නැව කොළඹට කිලෝමීටර් 19ක් දුරින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති ආකාරයක් දැකගත හැකිය. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අදාළ නෞකාවේ යාන්ත්‍රික දෝෂයක් මතුව ඇති නිසා එය යාත්‍රා කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවකි.
ගෝර් රහසින්ම ඇවිත්
මෙවැනි පසුබිමක් පවතිද්දී පසුගිය බදාදා කිසිවකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියක් ඉතා රහසිගතව සිදුවිය. ඒ, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ සර්ජියෝ ගෝර් හදිසියේම ලංකාවට පැමිණීමය. ගෝර් ආවේ තනිවම නොව ඔහු පැමිණෙද්දී තවත් සුවිශේෂ පුද්ගලයකුද වොෂිංටනයේ සිට ඒ මොහොතේම ලංකාවට පැමිණියේය. ඔහු නමින් මයිකල් ජෙරමියාය. මයිකල් ජෙරමියා යනු ධවල මන්දිරයේ ප්‍රබල තනතුරක් හොබවන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අතිශය සමීප ප්‍රබල පුද්ගලයෙකි. හෙතෙම ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රබල නිලධාරියෙකි. ධවල මන්දිරයේ මෙම කවුන්සිලය ජනාධිපති ට්‍රම්ප්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ඉහළම කවුන්සිලවලින් එකක් ලෙස සැලකේ. දකුණු ආසියානු කලාපයේ ඇමෙරිකානු ප්‍රතිපත්ති සකස් කිරීම භාරව සිටින නිලධාරීන්ගෙන් එක් අයකු ලෙසද මේ කියන මයිකල් ජෙරමියා සැලකේ. එමෙන්ම ඔහු බොහෝ දුරට ප්‍රසිද්ධියේ පෙනී නොසිටින තිරය පිටුපස සිටින අයකු ලෙසද සැලකේ. මැදපෙරදිග යුද්ධය තීරණාත්මක අවස්ථාවකට පත්ව තිබියදී ගෝර් සමග මේ කියන මයිකල් ජෙරමියා එකවර පූර්ව ප්‍රසිද්ධියකින් තොරව ලංකාවට පැමිණීම විශේෂ සිදුවීමක් බව බොහෝ දෙනාගේ අදහසය.
කෙසේවෙතත් ලංකාවට පැමිණි දිනට පසු දිනම සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු මොනවාද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරු නැතත් නියත වශයෙන්ම ඉරාන යුද්ධය, කොළඹ වරාය, හම්බන්තොට වරාය සහ ත්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. තවත් පාර්ශ්වයකින් එන තොරතුරුවලින් කියැවෙන්නේ මෙම වරායන් තුනෙහි ආයෝජන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ගෝර් සාකච්ඡා කරන්නට ඇති බවකි.
මේ සඳහාද බලපා ඇති විශේෂ හේතුවක් තිබේ. ඒ, මීට මාසයකට පෙර ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය තුළ ලංකාව සම්බන්ධයෙන් සිදුවූ සාකච්ඡාවකි. එම සාකච්ඡාව පිළිබඳව මීට මාසයකට පෙර අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කළේ මේ ආකාරයටය.
අපි කලින්ම කිව්වා
පසුගිය සතියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමක් පැවැති අතර, ඊට දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් පෝල් කපූර් මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාව කේන්ද්‍ර වී තිබුණේ දකුණු ආසියානු කලාපය තුළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ උපාය උපක්‍රම තේරීම සම්බන්ධයෙන්ය. මෙම සාකච්ඡාවේදී කිසිවකුත් නොසිතූ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කතාවක් මේ පෝල් කපූර්ගෙන් එළියට පැමිණියේය. එහිදී ඇමෙරිකානු බලධාරීන් ඉන්දීය සාගර කලාපය ඇතුළත දියත් කළ යුතු ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ විමසද්දී කෝල් කපූර් ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු කීපයක් අනාවරණ කිරීමට පියවර ගත්තේය.
‘මේ වෙද්දි ලංකාව ඉන්දියන් සාගරයේ සහ දකුණු ආසියානු කලාපයේ තියෙන වැදගත්ම මුහුදු මාර්ගය බවට පත්වෙලා අවසානයි. මැදපෙරදිග තෙල් නැව් විතරක් නෙවෙයි ආනයන අපනයන සිදුකරන ප්‍රධාන මුහුදු මාර්ගයන් වැටිලා තියෙන්නේ ලංකාව ආසන්නයෙන්. පහුගිය කාලෙදි වොෂින්ටන් මැප් එකේ ලංකාවටයි, ලංකාවේ මුහුදු තීරයටයි ලොකු අවධානයක් යොමුවෙලා නොතිබුණත්, මේ වෙද්දී මතුවෙලා තියෙන තත්ත්වය අනුව ලංකාව තවත් දකුණු ආසියාවේ සාමාන්‍ය රටක් විදියට පිළිගන්න බෑ. මේක කල්තියා තේරුම් අරගෙන වෙන්න ඇති චීනය බරපතළ විදියට ලංකාව ඇතුළේ බලය අත්පත් කරගන්න හදන්නේ. ඔවුන් දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කරගෙන අවසන්. ඒක ඔවුන්ට විශාල හයියක්. ඒ වගේම 2022 චීන පර්යේෂණ නෞකාවේ ලංකා ගමනත් අතිශය භයානකයි. ඒක අපිට දීපු ලොකු සංඥාවක්. ඒ නිසා මින් ඉදිරියට ඇමෙරිකාවටයි ඉන්දියාවටයි මේ ගැන ඉතා සමීපව ඇහැ ගහගෙන ඉන්න වෙනවා‘ යැයි කී කපූර් තවත් පුදුමසහගත ප්‍රකාශයක් කිරීමට මෙහිදී පියවර ගත්තේය. ඒ, චීනය මුල්කරගෙන මතුවී ඇති ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටුම දෙස ඇමෙරිකාව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවකි.
මොකද කරන්න ඕනෑ
ඒ අනුව සෙනට් කමිටුව කපූර්ගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියේ එසේ නම් ලංකාව නැවතත් ඇමෙරිකාව දෙසට හරවා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාදැයි කියාය. ඊට කපූර් දුන්නේ මෙවැනි පිළිතුරකි.
ලංකාව මේ වෙද්දී විශාල ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් ඉන්නේ. නමුත් ඒ අයට මේ අර්බුදයට මුහුණ දෙන්න නිසි ආර්ථික සැලැස්මක් නැහැ. ඒ හින්දා අපි ඒ අයට ආර්ථික සැලැස්මක් හදන්න ඕනේ. ඒකට මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට අපි දෙන්න ඕනේ. ඒ වගේම ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක හිරවෙලයි ඉන්නේ. ආයෝජන ගලා ඒමේ ප්‍රශ්නයකත් ලංකාව හිර වෙලා ඉන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉන්දියාවත් එක්ක සම්බන්ධය හදාගන්න ලංකාවට උදව් කරන්න ඕනේ.මේ වෙද්දී ලංකාව චීන ග්‍රහණයට අහුවෙලා ඉන්නේ. චීනයෙන් විශාල වශයෙන් ලංකාව ණය අරගෙන ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න ඔවුන්ට බැහැ. යටිතල පහසුකම්වලට විශාල වශයෙන් චීන ණය අරන් තියෙනවා. ඒ ගෙවන්න තියෙන ණය දැන් ටිකක් අඩු කරලයි තියෙන්නේ.
ඒ වගේම ලංකාව එක්ක ඇමෙරිකාව යුදමය සහයෝගිතාව ශීඝ්‍රයෙන් වැඩි කරන්න ඕනේ. මම නම් කියන්නේ ඒකට ලංකාව ඇතුළේ ඇමෙරිකානු හමුදා කඳවුරක් හදනවට වඩා ඉන්දියාවත් එකතු කරගෙන නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහෙයුම් කරන්න ඕනේ කියලයි. ලංකාවට ඒකට අවශ්‍ය යුද උපකරණ ලබාදෙන්න ඕනේ‘ යනුවෙන් කපූර් එහිදී යෝජනා කර සිටියේය. ඒ හරහා කපූර් පෙන්වා දුන්නේ ඇමෙරිකානු කඳවුරක් ලංකාවේ ස්ථාපිත කරනවාට වඩා හමුදාමය පුහුණු මෙහෙයුම්, බුද්ධි සේවා, යුද උපකරණ සම්බන්ධයෙන් තවදුරටත් ලංකාව සමග ගිවිසුම්වලට එළඹිය යුතු බවකි. එමෙන්ම ඉන්දීය සාගරයේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද කපූර් මෙහිදී ඇමෙරිකානු සෙනට් කමිටුවට පෙන්වා දුන්නේය.
ඒ අනුව බැලීමේදී කපූර්ගේ මේ ප්‍රකාශය හරහා එක්තරා ආකාරයකට ලංකාවට පැහැදිලි වාසිසහගත තත්ත්වයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ලංකාවට ආයෝජන ලබාගැනීම සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත සහායක් කපූර්ගේ මෙම ප්‍රකාශය හරහා උදාකර ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් දැකගත හැකිය.
- 2022 පෙබරවාරි 22 (රාජ්‍ය රහස්)
ගෝර් කොළඹ වරායට
ඒ අනුව ගෝර් මෙසේ හදිසියේ පැමිණියේ අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේදී සාකච්ඡා වූ පරිදි මෙරට වරායයන් තුළ ආයෝජන අවස්ථා සොයාබැලීමටද යන්න පිළිබඳ සැකයක්ද බොහෝ දෙනා තුළ මතුව තිබේ. ඊට තුඩුදෙන විශේෂ සිදුවීමක්ද, ගෝර්ගේ ශ්‍රී ලංකා ගමන තුළ සිදුවිය. ලංකාවට පැමිණීමට පෙරාතුවම ගෝර් දැනුම්දී තිබුණේ තමන්ට කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට තමන්ට අවශ්‍ය යැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරයා හමුවූ ගෝර් ඉන් අනතුරුව කෙළින්ම ගියේ කොළඹ වරායටය. ගෝර් එසේ කොළඹ වරායට පැමිණෙන බවක් කිසිවකුත් දැන නොසිටි අතර, වරායේ සේවකයන්ද ඒ බව දැනගත්තේ හදිසියේම කොළඹ වරායේ ආරක්ෂාව තරකිරීමත් සමගය.
මෙසේ කොළඹ වරායට පැමිණී ගෝර් කෙළින්ම ගියේ වරායේ ග්‍රැන්ටි දොඹකර සවිකර ඇති ස්ථානයටය. එසේ ගිය ගෝර් එම ග්‍රැන්ටි දොඹකරයේ උඩටම නැග ඉන්දීය සාගරයේ පිහිටීමත්, කොළඹ වරායේ පිහිටීමත් බොහෝ වේලා නිරීක්ෂණය කිරීමට පියවර ගත්තේය. එම නිරීක්ෂණයෙන් අනතුරුව ගෝර් ඊළඟට ගියේ කොළඹ වරායේ ‘පයිලට් ස්ටේෂන්’ නමැති ස්ථානයටය. එහි සිටද කොළඹ වරායේ වටපිටාව බොහෝ වෙලාවක් නිරීක්ෂණය කිරීමට ගෝර් කටයුතු කළේය. ඉන් අනතුරුව වරායේ නැගෙනහිර පර්යන්තයටත්, ඉන්දියාවේ අදානි සමාගම සතුව තිබූ බටහිර පර්යන්තයටත් ගිය ගෝර් බොහෝ වෙලාවක් එහිද නිරීක්ෂණ කටයුතුවල නිරත විය.
ඒ අනුව මේ වනවිට බොහෝ දෙනාට මතුව ඇති ප්‍රශ්නයක් වී ඇත්තේ හදිසියේම ලංකාවට පැමිණී ගෝර් කිසිවකුටත් දැනුම් නොදී මෙසේ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ මන්දැයි කියාය. වරායේ දොඹකරවලට නැගී බොහෝ වෙලාවක් ඉන්දීය සාගරයත්, වටපිටාවත් නිරීක්ෂණය කළේ මන්දැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා සැක මතුකරන්නේ මැදපෙරදිග යුද්ධය ඉතා තීරණාත්මක තැනකට පත්වුවහොත් හදිසි අවස්ථාවකදී ඇමෙරිකානු යුද නෞකා ලංකාවට ගෙන ඒමට ඇමෙරිකාව සූදානම් වනවාදැයි කියාය. එමෙන්ම ගෝර් මේ ආකාරයටම හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සූදානමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ඇමැතිත් අමෙරිකාවේ
මේ ආකාරයට ගෝර් කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම හා සම්බන්ධ තවත් සුවිශේෂ සිදුවීමක් පසුගිය මාර්තු 14 වැනි දින සිදුව තිබිණි. ඒ, වොෂිංටනයේ පිහිටි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදීය. එදින වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර බියුරෝවේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණේ ශ්‍රී ලංකාවේ පිහිටි වරායයන් සහ ගුවන් සේවාව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්ය. මෙහිදී ඇමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකාවේ වරායයන්වල සහ ගුවන් තොටුපළවල යටිතල පහසුකම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ගෝර් ලංකාවට පැමිණ කොළඹ සහ හම්බන්තොට වරායන්වල නිරීක්ෂණ චාරිකාවල නිරත වූයේ එහි ඉදිරි පියවරක් ලෙසට බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
මේ ආකාරයට ගෝර්ගේ හදිසි ලංකා ගමන ගැන තොරතුරු වාර්තා වුවත් ගෝර් සමගම පැමිණි මයිකල් ජෙරමියා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් එළියට නොපැමිණීම විශේෂ සිදුවීමකි. මේ හේතුව නිසාම සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ කියන මයිකල් ජෙරමියා පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටීමටද පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් මැදපෙරදිග යුද්ධය පවතින අවස්ථාවේදී මෙම ඇමෙරිකානු ආයෝජනයන් ලංකාවට වාසියක් ගෙන දේද, එසේත් නැත්නම් අවාසියක් ගෙනදේද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ සැක මතුව ඇත. ඇතමුන් පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය අනුව මෙවැනි ආයෝජන හරහා රට බරපතළ අවදානමකට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවකි. ඇමෙරිකාව මුල සිටම චීනය වැනි රටවල් ලංකාවේ වරායන්වල සිදුකෙරෙන ආයෝජනවලට දැක්වූයේ ප්‍රසිද්ධ විරෝධයකි. ඒ අනුව චීනය මෙම ඇමෙරිකානු ආයෝජන දෙස කුමන අයුරින් බලනු ඇද්ද යන්න සම්බන්ධයෙන් ඇත්තේද බරපතළ ප්‍රශ්නයකි. අනෙක් අතට ඉන්දියාවද මෙම ඇමෙරිකානු ප්‍රවේශය සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වයිද යන්න සම්බන්ධයෙන්ද බොහෝ දෙනාට සැක මතුවී තිබේ. එමෙන්ම ඉරානයට පක්ෂ රටවල් ලංකාව තුළ සිදුකරන මෙම ඇමෙරිකානු ආයෝජන කවර ආකාරයකින් ගනු ඇද්ද යන්න පිළිබඳවද ඇත්තේ බරපතළ ගැටලුවකි.
අනුරව ඇන්දුවාද?
මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ගණන් රුපියල් 24කින් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා තීන්දු කළ සාකච්ඡාව පිළිබඳ පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විශේෂ වාර්තාවක් රැගෙන ආවෙමු. එහිදී අප කියා සිටියේ නිලධාරීන් රුපියල් 80කින් ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවට යෝජනා කර තිබුණද, ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදීම ඊට විරෝධය පළකර රුපියල් 24 දක්වා එය පහළ දැමූ බවද අප එහිදී සඳහන් කළෙමු. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට නිලධාරීන් විසින් ලබාදුන් වැරැදි උපදෙස් පිළිබඳවද මේ වනවිට ‘රාජ්‍ය රහස්’ වෙත තොරතුරු වාර්තා වී තිබේ.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉන්ධන භාවිතය සීමාකිරීම සඳහා කිව්.ආර්. කේතය යළිත් හඳුන්වා දියයුතු බවට යෝජනා කොට තිබුණද, නිලධාරීන් විසින් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් පළකොට ඇති බවක් ආරංචිය. එහිදී අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ජනාධිපතිවරයාට එය නිෂ්ඵල කාර්යයක් ලෙස පෙන්වා දී ඇති බවකි. 2022 ඉන්ධන පෝලිම් ඇතිවූ අවස්ථාවේදී කිව්.ආර්. කේතය හඳුන්වා දී තිබුණේ ඉන්ධන භාවිතය සීමා කිරීමට වුවත් එය එසේ නොවූ බව එම නිලධාරීන් විසින් ගණන් හිලව් සහිතව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවක් දැනගන්නට ඇත.
නමුත් නිලධාරීන් එසේ කියා සිටියද ඊට දින 3කට පමණ පසු ජනාධිපතිවරයා ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා වහාම කිව්.ආර්. කේතය යළිත් හඳුන්වා දීමට පියවර ගත්තේය. ඒ අනුව මේ වනවිට මතුවන බරපතළ ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා කලින් මෙම කිව්.ආර්. කේතය හඳුන්වා දීමට සූදානම් වෙද්දී එය සිදු නොකිරීමට නිලධාරීන් උපදෙස් ලබාදුන්නේ මන්දැයි කියාය. ඒ සඳහා බොරු සංඛ්‍යාලේඛන ජනාධිපතිවරයාට පෙන්වා දීමට කටයුතු කළේ කවුරුන්දැයි කියාය. ඒ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා වෙත තොරතුරු රැසක් වාර්තා වී ඇති බවක්ද ආරංචිය.
එමෙන්ම කිව්.ආර්. කේතය හඳුන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රසිද්ධියේම කියා සිටියේ ප්‍රශ්න ඇති බවක් දැන දැනම එය යළි ගෙන ඒමට කටයුතු කළා යැයි කියාය. ඒ අනුව කිසිදු පෙර සූදානමකින් සහ සැලැස්මකින් තොරව මෙම කිව්.ආර්. කේතය හඳුන්වා දීමට ආණ්ඩුව තීන්දු කළ බවක් ජනාධිපතිවරයාගේ පිළිතුර හරහා දැකගත හැකි විය. එය වඩාත් තහවුරු වූයේ කිව්.ආර්. කේතය හඳුන්වා දී දින කිහිපයත් ගතවන තුරුත් ජනතාව ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුව තිබීම නිසාය.
රනිල්ගේ සැත්කම
පසුගිය සතියේ අප වාර්තා කළ තවත් පුවතකින් කියැවුණේ මෙම සතියේදී සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත් එකම වේදිකාවකදී හමුවීමට නියමිතව ඇතැයි කියාය. අප මෙම තොරතුරු වාර්තා කිරීමෙන් පසු බොහෝ සජබ පාක්ෂිකයනුත්, එජාප පාක්ෂිකයනුත් අපට ඇමතුම් ලබාදෙමින් එහි තොරතුරු විමසා සිටි අතර, එහිදී අප ඔවුන්ට කියා සිටියේ නවීන් දිසානායක මහතා විසින් සංවිධාන කරනු ලබන ගාමිණී දිසානායක අනුස්මරණ සැමරුම් උත්සවයේදී මෙසේ සජිත් සහ රනිල් මුහුණට මුහුණ හමුවීමකට සැලසුම් කොට ඇති බවකි. කෙසේ වෙතත් අප මෙම තොරතුරු වාර්තා කරන විටද රනිල් සිටියේ කොළඹ කිංග්ස් රෝහලේ පපුව සම්බන්ධ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගනිමිනි. රනිල්ගේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ පළමු වරට රටට තොරතුරු අනාවරණ වූයේ අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ඒ අවස්ථාවේදී නීතිඥවරුන් රනිල්ගේ හෘදයෙහි කාලයක් තිස්සේ ඇති රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු වාර්තා කර තිබිණි. ඊට සම්බන්ධ වෛද්‍ය වාර්තාවන්ද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණී.
ඒ කොයිහැටි වෙතත් පසුගිය සතිය වනවිට රනිල්ගේ මෙම හෘදය වස්තුව සම්බන්ධ රෝගී තත්ත්වය තරමක් උත්සන්න වී ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව කිංග්ස් රෝහලේ නේවාසිකව සතියක පමණ කාලයක් ප්‍රතිකාර ගැනීමට රනිල් කටයුතු කර තිබූ අතර, එහිදී වෛද්‍යවරුන්ගේ උපදෙස වී තිබුණේ හෘද සැත්කමක් රනිල්ට සිදුකළ යුතුව ඇති බවකි. ඒ අනුව රනිල්ගේ පවුලේ ඥාතීන් තීරණය කළේ එම සැත්කම ලංකාවේ සිදු නොකොට සිංගප්පූරුවේ සිදුකිරීමටය. ඒ අනුව වහාම රනිල්ව සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර රනිල්ගේ තත්ත්වය නිරීක්ෂණය කළ මවුන්ට් එලිසබත් වෛද්‍යවරුන් තීරණය කළේ වහාම රනිල්ට හෘද සැත්කමක් සිදුකිරීමටය.
අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එය පැය 9ක් පුරා සිදුකළ ඉතා බැරෑරුම් සැත්කමක් බවකි. අවස්ථාවේ බරපතළකම නිසාම රනිල්ගේ සහෝදරයාත්, සහෝදරියත් සිංගප්පූරුව බලා ගොස් සිටි අතර, එජාපයේ ප්‍රධානීන් වූ වජිර අබේවර්ධන, සාගල රත්නායක සහ තලතා අතුකෝරලද මවුන්ට් එලිසබත් රෝහලට ගොස් සිටියහ. එහිදී ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති තොරතුරුවලින් කියැවුණේ වෛද්‍යවරුන් විසින් රනිල්ගේ හදවතට සම්බන්ධ පිට තැනක මෙම ශල්‍යකර්මය සිදුකොට ඇති බවකි. එමෙන්ම ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් තදින්ම උපදෙස් ලබාදී ඇත්තේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම සීමා කරන ලෙසත්, ආතතියට ලක්වන ආකාරයේ කිසිදු කටයුත්තක නොයෙදෙන ලෙසත්ය. එමෙන්ම තවත් සති 3ක් රෝහලේ විවේක සුවයෙන් සිටින ලෙසද වෛද්‍යවරුන් රනිල්ට උපදෙස් ලබාදී ඇති බවක් දැනගන්නට තිබේ.
ශල්‍යකර්මය සාර්ථකව අවසන් කිරීමත් සමග එය රටට ප්‍රසිද්ධියේම දැනුම් දුන්නේ රවී කරුණානායක මහතාය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රවී කියා සිටියේ පැය 9ක අසීරු ශල්‍යකර්මයකට රනිල් මුහුණ දුන් බවත්, මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇති බවත්ය. කෙසේ වෙතත් රනිල්ට සිදුකළ මෙම ශල්‍යකර්මය හේතුකොට ගෙන ගාමිණී දිසානායක ගුණසමරුවට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් ඔහුට උදාවී තිබේ. එමෙන්ම මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී රනිල් සිය දේශපාලන කටයුතු දැඩි ලෙස සීමා කිරීමේ තත්ත්වයක්ද මතුවීම අනිවාර්යය. එවැනි පසුබිමක් යටතේ එජාපයටද ඉතිරිව ඇති එකම විකල්පය වී ඇත්තේ සමගි ජන බලවේගය සමග එක්ව නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමය. ඒ අනුව ගාමිණී දිසානායක ගුණ සමරුවෙන් පසු සජබ-එජාප සාකච්ඡා බොහෝ දුරට ඉක්මන් අවසානයක් කරා ගෙන යෑමට සියලු දෙනා කටයුතු කරනු ඇති බවක්ද දැනගන්නට ඇත.
සජිත් වගකීම ගන්න ලෑස්තියි
පසුගිය සිකුරාදා දිනයේ ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේ මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන මතුව ඇති වාතාවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහාය. ඒ අනුව ජනාධිපතිවරයා දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුවේ සිය කතාව සිදුකිරීමෙන් අනතුරුව පක්ෂ නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද තීන්දු කර ඇතැයි කියාය. ඒ අනුව මුලින්ම දැනුම්දී තිබුණේ පස්වරු 1ට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතන බවත්, එම කතාව අවසන් වනවාත් සමගම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
මෙම තොරතුර වාර්තා වීමත් සමග ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය විරෝධය පළකරමින් දැනුම්දී සිටියේ ජනාධිපතිවරයා සිදුකරනු ලබන කතාවට පිළිතුරු ලබාදීමට අවශ්‍යව ඇති නිසා පක්ෂ නායක රැස්වීම පැය භාගයකින් පමණ ප්‍රමාද කරන ලෙසටය. ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සභානායක බිමල් රත්නායක මහතා හමුවීමටද සජිත් මුලින් තීරණය කොට තිබිණී.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අවසානයේදී වේලාව වෙනස් කොට සිකුරාදා පෙරවරු 11ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ සිය කතාව සිදුකිරීමට පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයාගේ කතාව අවසන් වනවාත් සමගම නැගී සිටි සජිත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු ලබාදීමට අවශ්‍යව ඇති නිසා තමන් පක්ෂ නායක රැස්වීමට ප්‍රමාද වී සහභාගි වන බවත්, එතෙක් සජබය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගි වන බවත්ය. එසේ කී සජිත් ජනාධිපතිවරයා කළ කරුණු දැක්වීමට ඒ අවස්ථාවේදීම දැඩි පිළිතුරක් ලබාදීමටද පියවර ගත්තේය.
මේ අතර පසුගිය සතියේ සජබයේ විශේෂ කළමනාකරණ රැස්වීමක් කැඳවීමට සජිත් පියවර ගෙන තිබිණි. එම සාකච්ඡාවේ අරමුණ වී තිබුණේ මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන නැවත වතාවක් රට ආර්ථික අර්බුදයකට ගොස් 2022 වසරේදී සිදුවූ පරිදි බරපතළ තත්ත්වයකට තල්ලු වුවහොත් සජබය ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමය. එහිදී වගකිවයුතු විපක්ෂයක් ලෙස අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ගතයුතු උපායමාර්ග සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට සජිත් කටයුතු කළේය. එම කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් පත්කිරීමටද පියවර ගැනිණි. යම් හෙයකින් අර්බුදය බරපතළ වුවහොත් එය සමනය කරගැනීම සඳහා ගතයුතු කෙටිකාලීන ක්‍රියාමාර්ග මෙන්ම දිගුකාලීන ක්‍රියාමාර්ග මොනවාද යන්න පක්ෂයට වාර්තා කිරීම මෙම කමිටුව පත්කිරීමේ අරමුණය.
ජයකොඩිත් කැන්සල්
මේ දිනවල ආණ්ඩුව ඇතුළේ විශාල දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින අමාත්‍යවරයා වන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාය. පොහොර සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ සිදුවූ සිද්ධියක් මුල්කරගෙන අල්ලස් කොමිසම විසින් මේ වනවිට කුමාර ජයකොඩිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇති අතර, බාල ගල්අඟුරු ගෙන්වීමේ චෝදනාව මත විපක්ෂය විසින් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කිරීමට කටයුතු කොට ඇත. ඊට අමතරව විපක්ෂය මේ වනවිට කුමාර ජයකොඩි අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද කතානායකවරයාට භාරදී තිබේ. ඊට අමතරව යුද්ධය හේතුකොට ගෙන රට තුළ මතුව ඇති තෙල් අර්බුදයටද මුහුණ දීමට සිදුව ඇත්තේ කුමාර ජයකොඩිටමය.
මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ කුමාර ජයකොඩි දින 6ක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටියේය. ඉන්දීය රජයේ බලධාරීන් සමගද මෙම සංචාරය පිළිබඳ කල්තියාම සාකච්ඡා කොට ඊට අවශ්‍ය කාලසටහන් සකස් කරගැනීමට කුමාර ජයකොඩි කටයුතු කොට තිබිණි. නමුත් මේ වනවිට මැදපෙරදිග යුද්ධය හමුවේ ඉන්දියාවද මුහුණදී සිටින්නේ සුළුපටු අර්බුදයකට නොවේ. ඒ අනුව ඉන්දියාවෙන් කුමාර ජයකොඩිට දැනුම්දී තිබුණේ පවතින වාතාවරණය යටතේ අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය සඳහා පහසුකම් සැලසීමේ ගැටලුවක් මතුව ඇති බවකි.
නමුත් ගැටලුව වී තිබුණේ ඒ වනවිටත් කුමාර ජයකොඩි සිය ඉන්දීය සංචාරය සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රද වෙන්කරවාගෙන තිබීම නිසාය. කෙසේ වෙතත් සාකච්ඡා වට ගණනාවකින් පසු සංචාරයට අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට නොහැකි වීම නිසා සිය ගමනට පැය භාගයකට පෙරාතුව ඉන්දීය සංචාරය අවලංගු කිරීමට අවසන් මොහොතේ කුමාර ජයකොඩිට සිදුව තිබිණි.
නාමල් ජාත්‍යන්තරයට
පසුගිය සතියේ අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීමකින් දේශපාලන ක්ෂේත්‍රය හිටිහැටියේම ගිනිගත් ආකාරයක් දැකගත හැකි විය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් සිදුකළ බව කියන ප්‍රකාශයක් අල්ලස් කොමිසම විසින් අධිකරණයට වාර්තා කරමින් කියා තිබුණේ ගුවන් සමාගම සිදුකළ එයාර් බස් ගනුදෙනුවකදී ලැබුණු බව කියන අල්ලස් මුදලින් මිලියන 60ක මුදලක් අවස්ථා තුනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත්, තවත් මුදල් ප්‍රමාණයක් හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට සහ චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන ශමීන්ද්‍ර රාජපක්ෂ හට ලබාදුන් බවත්ය. එම පුවතට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු ආකාරයක්ද එහිදී දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙම තොරතුර මාධ්‍ය විසින් වාර්තා කොට පැය කීපයක් යෑමට මත්තෙන් තවත් විශේෂ පුවතක් මාධ්‍යවල පළවිය. ඉන් කියැවුණේ කපිල චන්ද්‍රසේන මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් බලපෑම් කොට ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් ඒ මහතා විසින් අධිකරණය වෙත ලබාදී ඇති බවකි. පොහොට්ටු මන්ත්‍රී චානක මාදුගොඩ ඒ බව පාර්ලිමේන්තුවේදීද සඳහන් කළ අතර, ඊට අදාළ දිවුරුම් ප්‍රකාශයද මාධ්‍යයට නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම තොරතුරු වාර්තා වනවිට මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිටියේ නවදිල්ලියේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. ඒ අනුව නවදිල්ලියේ සිටම මේ පිළිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අදහස් හුවමාරු කරගත් නාමල්, මේ වනවිට තීන්දු කොට ඇත්තේ කපිල චන්ද්‍රසේනට සිදුකර ඇති බලපෑම ජාත්‍යන්තරයට රැගෙන යෑමටය. ඒ අනුව ජිනීවා මානව හිමිකම් කොමිසමටත්, අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නාමල් මේ වනවිට තීරණය කොට ඇත.
සිය ඉන්දීය සංචාරය නිමවා ලංකාවට පැමිණි නාමල් මේ වනවිට රට තුළ මතුව ඇති අර්බුදය පිළිබඳවද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය. එහිදී නාමල් ඔවුන්ට දැනුම්දී සිටියේ ලබන ජුනි-ජූලි මාස වනවිට දැනට පවතින අර්බුදය තවත් උග්‍ර වනු ඇති බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇතැයි කියාය. එමෙන්ම විදෙස් රටක නමක් සඳහන් කරමින් නාමල් කියා සිටියේ රටේ සියලු පාර්ශ්වයන් එක්ව ඊට මුහුණ දීම සඳහා ආණ්ඩුවත් සමග කටයුතු කරන ලෙසට තමන්ට එම රටින් උපදෙස් ලැබුණු බවකි.










