අද ඔබ ‘සෙබළෙක්ය’ විරුවා මහමගය
ලොව කොයි අතක වුව යුද බිම ජයගන්නා
සෙබළා විරුවෙකිය ජනහද සිපගන්නා
රන් තරු පුද පුදා විරු හද සනසන්නා
සිරිතක් තිබේ ලොව ඉහළින් පිළිගන්නා
අප රට පෙළුව කුරිරුවු තිස් අවුරුද්දේ
විරුකම් පෑව පිරිසට යුදබිම මැද්දේ
සිදුකොට බෝධි පූජා නොකරම සද්දේ
පින් පිරුවෝය නගරය සහ ගම මැද්දේ
වගකිව යුතු පිරිස එදවස කර අගය
රණවිරුවාට නිසි ගෞරවෙ පිදු වගය
එනමුදු අහෝ අපගේ එඩිතර සගය
අද ඔබ ‘සෙබළෙක්ය’ විරුවා මහ මගය
දෑත් දෙපා අහිමිව සිට යුද පිටියේ
ජන හදවතෙහි රණවිරුවකු ලෙස සිටියේ
එනමුදු අහෝ නොසිතුව ලෙස හිටි හැටියේ
සෙබළකු වුණා හිඳ අපරාජිත පිටියේ
යුතුකම් කොටස නිබඳව ඉටුකෙරුවෝය
තව සමහරෙක් යුදයෙදි දිවි පිදුවෝය
අදිටන දිනා යුද ගිනි නිම කෙරුවෝය
තවමත් ‘ලක්මවට’ ඔබ රණ විරුවෝය










