• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ පුතෙක් අල්ලන්න සියල්ල ලෑස්තියි! සීල් තියපු ලිපි ගොනු 3ක් යවයි! නිලධාරීන් ඇවිත් දොරට තට්ටු කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

March 1, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

චෝදනා පිට චෝදනා

බලයට පත්ව වසර එකහමාරකට පසු ආණ්ඩුව මේ දිනවල සිටින්නේ විපක්ෂය විසින් දිගින් දිගටම එල්ල කරන බරපතළ ආකාරයේ දූෂණ චෝදනාවන්ට මුහුණ දෙමින්ය. පසුගිය කාලයේ ආණ්ඩුව මුහුණ දුන් එවැනි එක් ප්‍රබල චෝදනාවක් වූයේ කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් බහාලුම් 323ක් වරායෙන් පිටකර ඇති බවට එල්ල වූ චෝදනාවය. දෙවැනි චෝදනාව වූයේ බාල ගල් අඟුරු නැව් 8ක් ලංකාවට ගෙනැවිත් රුපියල් මිලියන 7700ක දැවැන්ත පාඩුවක් රටට සිදුකර ඇති බවට වූ චෝදනාවය. මෙවැනි බරපතළ චෝදනා දෙකක් එල්ලවී ඇති පසුබිමක ආණ්ඩුව පසුගිය කාලයේදී ඊට වාචිකව ප්‍රතිචාර දැක්වුවත් මේ වනවිට තීරණය කොට ඇත්තේ ඊට දේශපාලනික වශයෙන්ද ප්‍රතිචාර දැක්වීමටය. ඒ අනුව ආණ්ඩුව මේ දිනවල සැලසුම් කරමින් සිටින්නේ ලබන මාර්තු 08 වැනි දින කොළඹ දී දැවැන්ත දේශපාලන මෙහෙයුමක් දියත් කිරීමටය.Sri Lanka Latest News

ආණ්ඩුව මෙවැනි තීන්දුවකට එළඹ ඇත්තේ බලයට පත්ව වසර එකහමාරක් ඇතුළත ආණ්ඩුවට තිබූ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවට යම් යම් පිරිස් අනාවැකි කියන කාලවකවානුවකය. ඇතැමුන් කියන්නේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය මේ වනවිට 20%ක් දක්වා පහත වැටී ඇති බවය. තවත් සමහරු කියන්නේ එය 15% දක්වා පහත වැටී ඇති බවකි. ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාර එල්ල කරන යම් යම් පාර්ශ්ව සඳහන් කරන්නේ එය දැනටමත් කලින් පැවැති 3% දක්වා වූ ප්‍රමාණයටම පහත වැටී ඇතැයි කියාය.

නමුත් මෙවැනි ප්‍රකාශයන් විවිධ පාර්ශ්වයන් විසින් සිදු කළද ජවිපෙ හෝ මාලිමාව පසුගිය වසර එකහමාරක කාලය ඇතුළත තමන්ගේ දේශපාලන ශක්තිය රටට පෙන්වීමට කටයුතු කොට තිබුණේ නැත. ඒ, එවැන්නක් කළ නොහැකි නිසාද, සිදු කිරීමට අපහසු නිසාද, එසේත් නැත්නම් තමන්ට රට ඇතුළේ ඇති ජනප්‍රියතාව සඟවාගෙන සිටීමේ අවශ්‍යතාව නිසාද යන්න පිළිබඳවද විවිධ පාර්ශ්වයන් තුළ ඇත්තේ විවිධ අදහස්ය. එවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව තීරණය කොට ඇත්තේ එළඹෙන මාර්තු 08 වැනිදාට යෙදී ඇති කාන්තා දිනයේදී තමන්ගේ දේශපාලන ශක්තිය රටට පෙන්වීම සඳහා දැවැන්ත දේශපාලන මෙහෙයුමක් කොළඹදී දියත් කිරීමටය.

මේ සම්බන්ධයෙන් පසුගිය සති කීපය පුරාම පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ විවිධ සාකච්ඡා, අදහස් හුවමාරු කරගැනීම්, තර්ක විතර්ක සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී බොහෝ දෙනා ජවිපෙ ප්‍රධානීන්ට පෙන්වා දී තිබුණේ නිහඬව සිටි කාලය හොඳටම ප්‍රමාණවත් බවත්, වහාම ආණ්ඩුවේ දේශපාලන හයිය රටට පෙන්වීමට කුමක් හෝ දැවැන්ත වැඩසටහනක් දියත් කළ යුතු බවත්ය. ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් පසු ජවිපෙ තීන්දු කළේ මාර්තු 08 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේදී රට වටෙන්ම කාන්තාවන් කොළඹට ගෙනැවිත් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී කළාක් මෙන් දැවැන්ත රැලියක් පැවැත්වීමටය.

ගැහැනු අපි එක මිටට

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජවිපෙ සහ මාලිමාවේ ජයග්‍රහණයට විශාල පිටුබලයක් ලබාදුන්නේ කාන්තාවන්ය. සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වූ මේ දේශපාලන රැලිවලට අමතරව ‘ගැහැනු අපි එක මිටට’ යන තේමාව යටතේ කාන්තාවන් පමණක්ම සහභාගි වූ දැවැන්ත රැස්වීම් ගණනාවක් පැවැත්වීමට ජවිපෙ සහ මාලිමාව කටයුතු කොට තිබිණි. එකල එම රැලිවලට දහස් ගණන් කාන්තාවන් සහභාගි වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව දැවැන්ත කාන්තා රැලියක් කොළඹ පැවැත්වීම සඳහා අදාළ සංවිධාන කටයුතු ජවිපෙ විසින් මේ දිනවල ලහිලහියේ සිදුකරන ආකාරයක් දැකගත හැකිය. මෙම තොරතුරු මේ දක්වා කිසිදු මාධ්‍යයක පළකොට නොමැති අතර, රටට එය පළමු වතාවට දැනුම් දෙන්නේද අපගේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය.
ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය සති කීපයේම ඊට අදාළව පැවැති සාකච්ඡාවලදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත්, ආසන සංවිධායකවරුන්ටත් දැනුම් දී ඇත්තේ කාන්තාවන් 30,000ක් පමණ කොළඹට ගෙන්වීමට පක්ෂය තීන්දු කොට ඇති බවකි. ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් පක්ෂයේ සියලු යාන්ත්‍රණය දැනුවත් කිරීමට කටයුතු කොට ඇති ටිල්වින් ඊට අදාළ උපදෙස් සියලු දෙනාටම නිකුත් කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

මෙම සාකච්ඡාවලදී මතුවූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ කාන්තා දිනය ඉලක්ක කොටගෙන මාලිමා ආණ්ඩුවෙන් නිල සමුළුවක් පවත්වනවාද, එසේත් නැත්නම් ආණ්ඩුවේ නිල උත්සවයට අමතරව ජවිපෙ ප්‍රධානත්වයෙන් දැවැන්ත කාන්තා රැලියක් සංවිධාන කරනවාදැයි කියාය. එහිදී ටිල්වින් පක්ෂයට දැනුම් දී තිබුණේ කාන්තා දින නිල සැමරුම ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කුඩාවට පවත්වා ජවිපෙ සහ මාලිමාවේ ප්‍රධානත්වයෙන් කොළඹ දැවැන්ත කාන්තා සමුළුවක් පවත්වා පක්ෂයේ ශක්තිය රටට පෙන්විය යුතු බවකි.

මෙහිදී පැනනැගුණු තවත් ප්‍රශ්නයක් වූයේ මෙම කාන්තා සමුළුව ජවිපෙ ප්‍රධානත්වයෙන් පවත්වන්නේද, එසේත් නැත්නම් මාලිමාවේ ප්‍රධානත්වයෙන් පවත්වන්නේදැයි කියාය. ඊට නිල වශයෙන් පැහැදිලි කිරීමක් සිදුවූයේ නැතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ පැහැදිලිවම ජවිපෙ නැවත ශක්තිමත් කිරීම සඳහා තබන පළමු පියවර වශයෙන් මෙම කාන්තා සමුළුව පැවැත්වීමට පක්ෂය විසින් තීන්දු කොට ඇති බවය. ඒ අනුව මාලිමාව බැනරය යටතේ මෙම කාන්තා සමුළුව පැවැත්වීමට තීරණය කළත් එය පැහැදිලිවම ජවිපෙ ඉස්මතු වන ආකාරයට පැවැත්විය යුතු බවට පැලවත්ත පක්ෂ කාර්යාලය මේ වනවිට තීන්දු කොට තිබේ.

පළාත් සභා එනවා

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණාවක්ද තිබේ. ඒ පසුගියදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිදුකළ පළමු ඉන්දීය සංචාරයෙන් අනතුරුව පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවක් පිළිබඳවය. එම සාකච්ඡාවේදී ටිල්වින් සිය ඉන්දීය සංචාරය පිළිබඳ තොරතුරු පක්ෂයට දැනුම් දෙමින් අවසානයේදී කියා සිටියේ වහාම පක්ෂය පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට සූදානම් විය යුතු යැයි කියාය. ඒ සම්බන්ධයෙන් දින වකවානු සඳහන් කිරීමට ටිල්වින් කටයුතු නොකළත් සිය කතාවේදී පැහැදිලිවම ටිල්වන් පක්ෂයට දැනුම් දී සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව මේ වනවිට තීන්දු කොට ඇතැයි කියාය. ඒ අනුව 08 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත කාන්තා දින සැමරුම හරහා ජවිපෙ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වූ පළමු පියවර තැබීමට සූදානම් වන්නේද යන ප්‍රශ්නය මේ වනවිට බොහෝ දෙනා තුළ මතුව තිබේ.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී පැලවත්තේදී පමණක් නොව, ඉන්දියාවේදීද සාකච්ඡා වට ගණනාවක් පැවැත්වී තිබිණි. ආණ්ඩුව බලයට පත්වූ දින සිටම වසර ගණනාවක් අතුරුදන් කොට ඇති පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවට පොරොන්දුවක්ද ඉන්දියාව ඇතුළු පාර්ශ්වයන් ගණනාවකට ලබාදීමටද ආණ්ඩුව පියවර ගෙන තිබිණි. ඒ අනුව හෙට අනිද්දා නොව ඇතැම් විට මේ වසර අවසානයේදී හෝ ලබන වසරේ මුල් මාස කීපය ඇතුළත අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වනවිට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඒ දක්වා වූ මාස හය හතක කාලය ඇතුළත විශාල දේශපාලන ශක්තියක් නැවත ගොඩනගා ගැනීමත්, අහිමි වී ගොස් ඇති ජනප්‍රියතාව යළි ගොඩ නගාගැනීමත් ආණ්ඩුවේ සැලසුම වී ඇති බවක්ද දැකගන්නට පුළුවන. එහිදී යම් යම් ක්ෂේත්‍රවල ආණ්ඩුවේ යම් වැටීමක් පෙන්නුම් කරන්නේ නම් එම කඩැවැටුණු ක්ෂේත්‍ර වහ වහා ගොඩනැගීමටත්, ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමටත් ජවිපෙ තීන්දුවක් ගෙන ඇති බවක්ද දැනගන්නට ඇත.

මීට හේතු වී ඇත්තේ එළියේ ඇති ආණ්ඩුවේ ජනප්‍රියතාව 20%-30%ට වැටී ඇති බවට වූ මතයේ උණුසුම ආණ්ඩුවටද දැනෙන්නට පටන්ගෙන තිබීමය. අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදී යම් පසුබෑමක් දැකගන්නට ලැබුණද එම අවස්ථාවේදී ආණ්ඩුවේ ජනප්‍රියතාව බිඳවැටී ඇති බවට වූ උණුසුම පැලවත්තට දැනී තිබුණේ නැත. නමුත් දැන් දැන් රට වටෙන් පැලවත්තට ලැබෙන තොරතුරුවලට අනුව ආණ්ඩුවේ ජනප්‍රියතාව බිඳවැටීම සම්බන්ධයෙන් යම් සංවේදනයක් දැනෙන්නට පටන්ගෙන ඇති බවක් දැනගන්නට ඇත. ලබන මාර්තු 08 වැනිදා කොළඹ දැවැන්ත කාන්තා රැලියක් පැවැත්වීමට ජවිපෙ තීරණය කොට ඇත්තේ ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. අනෙක් පැත්තෙන් ජනතාවට පොරොන්දු වූ ආකාරයට හොරු අල්ලන කටයුත්ත තීව්‍ර කිරීමටද ආණ්ඩුව මේ වනවිට දැඩි තීන්දුවක් ගෙන තිබේ. මේ සියලු පියවරයන්හි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමය.

සජබෙනුත් එනවා

මාර්තු 08 වැනිදාට යෙදී ඇති කාන්තා දිනය ඉලක්ක කරගෙන කොළඹදී දැවැන්ත රැලියක් පැවැත්වීමට ජවිපෙ තීන්දු කිරීමට පෙරාතුව මීට සති කීපයකට ඉහතදී අප මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කර සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඉදිරියේදී ලොකු වැඩක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටිනවා යැයි කියාය. අප කළ එම ඉඟියෙන් කියැවුණේ සජිත්ද කාන්තා දිනය ඉලක්ක කොට ගෙන දැවැන්ත රැස්වීමක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවය. ඒ අනුව සජිත් තීරණය කොට තිබුණේ කොළඹ නෙලුම් පොකුණේදී විපක්ෂයේ කාන්තා හයිය රටට පෙන්වමින් දැවැන්ත කාන්තා සමුළුවක් පැවැත්වීමටය. එහිදී සෑම ආසනයකින්ම කාන්තාවන් දසදහසකට අධික ප්‍රමාණයක් කොළඹට රැගෙන ඒමට සජබයද තීන්දු කොට තිබිණි. ඒ අනුව මේ වනවිට දැකගන්නට ඇත්තේ කාන්තා දිනය මුල්කොට ගෙන රටේ ප්‍රධාන පක්ෂ දෙක වන ජනතා විමුක්ති පෙරමුණත්, සමගි ජන බලවේගයත් තම තමන්ගේ දේශපාලන ශක්තිය කොළඹදී පෙන්වීමට සැලසුම් කරමින් සිටින බවය. ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් මේ ආකාරයෙන් සිය දේශපාලන බලමුළු තර කිරීමට කටයුතු කරමින් සිටියද විපක්ෂයේ අනෙකුත් කිසිදු පක්ෂයක් කාන්තා දිනය ඉලක්ක කොටගෙන මෙවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට නැත. ඒ සඳහා එම පක්ෂවලට ශක්තියක් ඇති ආකාරයක්ද දැකගන්නට නැත. නමුත් අහම්බයකින් හෝ ලබන මාර්තු 08 වැනි දින ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් කොළඹදී මුහුණට මුහුණ හැප්පීමට සූදානමින් සිටින බවක් මේ හරහා දැකගන්නට පුළුවන.

වෙරිටේ කරේ එල්ලෙයි

මේ ආකාරයට ජවිපෙ පැලවත්ත පක්ෂ මූලස්ථානය හිටිහැටියේම නින්දෙන් නැගිට්ටාක් මෙන් කටයුතු කරන්නට තීන්දු කර ඇත්තේ ඇයි?
අඩුම තරමින් පළාත් සභා මැතිවරණය මාස 06ක කාලයක් ඇතුළතදී පවත්වා අවසන් කිරීමට ජවිපෙ තීන්දු කොට ඇත්තේ ඇයි?

ඒ සඳහා බලපා ඇති ප්‍රධාන කාරණාවක් වී ඇත්තේ පසුගියදා වෙරිටේ රිසර්ච් ආයතනය රටට ඉදිරිපත් කළ සිය අලුත්ම මත විමසුමේ ප්‍රතිඵලය. වෙරිටේ රිසර්ච් ආයතනය යනු රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව සිතන පතන ආකාරය පිළිබඳ මත විමසුම් සිදුකරන ජාත්‍යන්තරයෙන් ආධාර ලබන ආයතනයකි. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ නිශාන් ද මැල්ය. මේ නිශාන් ද මැල් යනු පැවැති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය වශයෙන් කටයුතු කළ තාරා ද මැල් මහත්මියගේ පුත්‍රයාය. එමෙන්ම නිශාන් චන්ද්‍රිකාගේ පාලන සමයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ මංගල සමරවීරගේ උපදේශකයකු ලෙසද කටයුතු කළ අයෙකි. නමුත් පසුව වෙරිටේ රිසර්ච් ආයතනය පිහිටුවීමෙන් පසු නිශාන් පැවැති ආණ්ඩු කීපයක් සම්බන්ධයෙන්ම මත විමසුම් සිදුකොට ජනගත කිරීමට කටයුතු කොට තිබිණි. එහිදී වරක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් සිදුකළ මත විමසුමක ප්‍රතිඵලය ලෙස ඔවුන් දැනුම්දී තිබුණේ ජනතාවගෙන් 50%කට අධික ප්‍රමාණයක් ගෝඨාගේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිගන්නා බවය. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදීද මෙවැනිම මත විමසුමක් සිදුකරමින් ආණ්ඩුවේ හොඳ කීමට වෙරිටේ රිසර්ච් කටයුතු කොට තිබිණි. නමුත් අවසානයේදී ගෝඨාගේ ආණ්ඩු සමයේදී රටේ ආර්ථිකය බින්දුවටම වැටී බංකොලොත් වූ අතර, ඇතිවූ ජනතා නැගිටීම හමුවේ අවසානයේ ගෝඨාභයට සිදුවූයේ ජනාධිපති මන්දිරයේ පස්සා දොරෙන් කාටත් හොරා පැන යෑමටය. රනිල්ද ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී ගෙදර ගියේය.
ඒ අනුව මෙවර වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කළ සිය අලුත්ම මත විමසුමෙන් කියා තිබුණේ 65%ක ප්‍රමාණයක් ආණ්ඩුවේ වැඩපිළිවෙළ තහවුරු කොට ඇති බවය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වැට උඩ සිටි ආණ්ඩුවට මැතිවරණය පැවැත්වීම සඳහා ඔක්සිජන් ලැබුණේ වෙරිටේ රිසර්ච් ආයතනය මගින් ලබාදුන් මේ සහතිකයය. ඒ අනුව ජවිපෙද මේ වනවිට සිතාගෙන සිටින්නේ ආණ්ඩුවට රට ඇතුළේ තවමත් දැවැන්ත ජනප්‍රියතාවක් ඇතැයි කියාය.

එමෙන්ම පසුගිය කාලයේදී සජබ මන්ත්‍රීවරුන්ට ආර්ථික දේශන පැවැත්වීමට පැමිණ තිබුණේද මේ කියන නිශාන් ද මැල්මය. නමුත් නිශාන් ද මැල්ගේ වෙරිටේ රිසර්ච් ආයතනය මෙම වාර්තාව ජවිපෙට ලබාදීමත් සමග මේ වනවිට සජබය ඇතුළේ නිශාන් ද මැල්ට එරෙහිව දැවැන්ත විරෝධයක් ගොඩනැගෙමින් ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ සම්බන්ධයෙන් පසුගිය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ සටහනක් තැබීමටද අපි කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නිශාන් ද මැල් ඉලක්ක කොට සුජීව සේනසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් කීප දෙනකු බරපතළ ප්‍රහාරයක් එල්ල කොට තිබූ බවය. නිශාන් ද මැල් යනු දේශපාලන කොන්ත්‍රාත් සිදුකරන අයකු බවට එහිදී හඳුන්වා දී තිබූ මෙම මන්ත්‍රීවරුන් මින් ඉදිරියට සජබයේ කිසිදු කටයුත්තකට නිශාන් ද මැල් සහභාගි කර නොගන්නා ලෙසටත්, පක්ෂය පැත්ත පළාතේ වැද්දා නොගන්නට ලෙසටත් සජිත්ට දැනුම් දීමටද එම මන්ත්‍රීවරුන් පියවර ගෙන තිබිණි.

සලේත් සැලැස්මේ කොටසක්ද?

වත්මන් මාලිමා ආණ්ඩුව පිහිටුවීමේදී ජවිපෙ මාලිමා ප්‍රධානීන් රට හමුවේ තැබූ ප්‍රධානම පොරොන්දුවක් වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ඊට සම්බන්ධ සියලු දෙනාම නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් කිරීමට කටයුතු කරනවා යැයි කියාය. මාලිමා ආණ්ඩුව බලයට පත්වී ගෙවුණු වසර එකහමාර තුළද පාස්කු ප්‍රහාරයේ විමර්ශන මුල්කරගෙන යම් යම් සිදුවීම් සිදුවුවද, එම ප්‍රහාරයේ මහමොළකරුවන් අනාවරණ කිරීමේ සූදානමක් තිබූ බවක් ජනතාවට දැකගන්නට තිබුණේ නැත. ඒ අනුව ලබන අප්‍රේල් 21 වැනි දිනට පාස්කු ප්‍රහාරයට වසර 7ක් සපිරෙන මොහොතේ විපක්ෂය පමණක් නොව වෙනත් පාර්ශ්ව පවා සූදානමින් සිටියේ ‘කෝ මහමොළකරුවා ඇල්ලුවාද?’ යනුවෙන් කියමින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමටය. එවැනි පසුබිමක් යටතේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන මුල්කරගෙන පසුගිය සතියේ හිටිහැටියේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වූ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. මේ වනවිට බොහෝ දෙනා සැක මතු කරන්නේ මෙම සිදුවීමද පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ආණ්ඩුවේ මාස හයේ වැඩපිළිවෙළේ තවත් එක් කොටසක්දැයි කියාය.

මේ අතරවාරයේ කවුරුත් නොදන්නා තවත් සුවිශේෂ සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. ඒ, ලංකාවේදී නොව, ලංකාවට සැතපුම් දසදහස් ගණනක් දුරින් පිහිටි ඇමෙරිකාවේදීය. ඊට මූලික වී තිබුණේ මේ වනවිට දූෂණ චෝදනාවකට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කොට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට ඇති හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා මුල්කරගෙනය. පසුගිය කාලයේදී ආණ්ඩුව පිටරට සඟවා ඇති මුදල් සහ වත්කම් සම්බන්ධයෙන් සහ මූල්‍ය වංචාවලට චෝදනා ලබා විදෙස්ගතව සැඟව සිටින යම් යම් දේශපාලනඥයන් සහ දේශපාලන සබඳතා ඇති පුද්ගලයන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධනේ විශාල මෙහෙයුමක් ආරම්භ කොට තිබිණි. එම ලැයිස්තුවේ ඉහළින්ම පැවැති නමක් වූයේ මේ කියන චමල් රාජපක්ෂයේ දෙවැනි පුත්‍රයා වූ ශමීන්ද්‍ර රාජපක්ෂගේ නමය. මේ කියන ශමීන්ද්‍ර ඇමෙරිකාවේ පුරවැසියකුද වීම නිසා වරෙන්තු නිකුත් කළද, එම වරෙන්තුව ලබාදීමට ශමීන්ද්‍ර සිටින තැනක් සොයාගැනීමට කිසිවකුටත් හැකියාවක් ලැබී තිබුණේ නැත. ඔහු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන බව පමණක් වාර්තා වුවද ඔහු සිටින තැනක ලිපිනයක් හෝ ඔහු සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් හෝ කිසිවකු සතුව තිබුණේ නැත. සාමාන්‍ය කතාවට නම් කියන්නේ මේ කියන ශමීන්ද්‍රගේ නමට විශාල දේපළක් ඇමෙරිකාවේ ඇතැයි කියාය. කලක් හිටපු ජනාධිපති මහින්ද රාපජක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබීම නිසා ශමීන්ද්‍ර රාජපක්ෂට ප්‍රබල දේශපාලන සබඳතා තිබූ බවටද මතයක් විය.

රාජපක්ෂ පුතෙකුට කිට්ටු කරයි

කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ආරම්භ කොට තිබූ අතිශය සංවේදී විමර්ශන කිහිපයකට අදාළව ශමීන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කිරීමට නීති අංශ කටයුතු කොට තිබිණි. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මේ කියන ශමීන්ද්‍ර ලොස් ඇන්ජලීස්වල අතිශය රහසිගත ජීවිතයක් ගතකරන බවය. ඒ අනුව ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙරට නීති අංශ ඇමෙරිකාවේ නීති අංශ සමග අතිශය රහසිගත සාකච්ඡා වටයක් ආරම්භ කොට තිබිණි. ඒ අනුව මුද්‍රා තබන ලද රහසිගත ලිපිගොනු 3ක් මෙරට නීති අංශ විසින් ඇමෙරිකාවේ නීති අංශ වෙත ලබාදී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම මුද්‍රා තැබූ රහසිගත ලිපිගොනු තුන නියත වශයෙන්ම ඇමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික පුද්ගලයන් තුන්දෙනකු සම්බන්ධයෙන් හෝ ප්‍රබල සිදුවීම් තුනකට අදාළ ලිපිගොනු තුනක් විය යුතුය. ඒ අනුව මෙරටින් ලැබුණු මෙම රහසිගත ලිපිගොනු තුනට පසුගිය මාස කීපය පුරාම ඇමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වා ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට අධිකරණයක් තුළින් වරෙන්තු නිකුත් වුවද ඇමෙරිකාවේ සිටින විට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලංකාවෙන් නිකුත් වූ වරෙන්තුව ප්‍රමාණවත් නැත. එසේ නම් ඊට ඉන්ටර්පෝල් ආයතනය හරහා ලබාගත් ජාත්‍යන්තර රතු වරෙන්තුවක් අවශ්‍යය. ඒ අනුව මෙරට නීති අංශ පළමුව කළේ ශමීන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට අධිකරණය නිකුත් කළ වරෙන්තුව ඇමෙරිකාවට යැවීමය. ඒ අනුව එහිදී සිදුකෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් කිසිවකුත් නොදැන සිටි ශමීන්ද්‍ර රාජපක්ෂ වාසය කරන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි නිවසේ ලිපිනය සොයාගැනීමට එරට විමර්ශන කණ්ඩායම්වලට හැකියාව ලැබී තිබිණ. ඒ අනුව මෙවර රාජ්‍ය රහස් තීරයේ මේ සම්බන්ධයෙන් තවත් සුවිශේෂ පුවතක් වාර්තා කිරීමට අප සූදානම්ය.

ඒ අනුව පසුගිය සතියේ කිසිවකුත් නොසිතූ ආකාරයට උදේ පාන්දරම අමෙරිකානු විමර්ශන නිලධාරීන් ගොස් ශමීන්ද්‍ර රාජපක්ෂගේ ඇමෙරිකාවේ පිහිටි නිවසේ දොරට තට්ටු කොට ඇති බවත්, එහිදී ශමීන්ද්‍ර රාජපක්ෂම නිවසේ දොර විවෘත කිරීමට පැමිණ ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. එහිදී ශමීන්ද්‍ර රාජපක්ෂ නිවසේ දොර විවෘත කරද්දීම ඇමෙරිකානු නීති අංශ නිලධාරීන් ශමීන්ද්‍ර රාජපක්ෂගේ අතටම ලංකාවේ අධිකරණය නිකුත් කළ වරෙන්තුව භාරදීමට කටයුතු කොට තිබේ. එහිදී ශමීන්ද්‍ර රාජපක්ෂද වෙන්නේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිව තුෂ්නිම්භූතව සිටි බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. මේ ආකාරයට ශමීන්ද්‍ර රාජපක්ෂට අදාළ වරෙන්තුව ඔහුගේ අතටම ලබාදීමත් සමගම බොහෝ කලබලයට පත්ව ඇති රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් මේ දිනවල ශමීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටීම සඳහා ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනකුගේම සහාය ලබාගෙන ඇති බවක් දැනගන්නට ඇත. ඉන් එක් ජනාධිපති නීතිඥවරයකු ගෝඨාගේ ආණ්ඩු සමයේදී දේශපාලනයට පැමිණි ජනප්‍රිය අයකු බවද ආරංචිය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඉදිරි දින කීපය ඇතුළත මෙම ජනාධිපති නීතිඥවරුන් ප්‍රංශය බලා පිටත්ව යෑමට සැලසුම් කොට ඇති බවකි. ඒ, ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්හි ඉහළ නිලධාරීන් හමුවී ශමීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව නිකුත් වීමට නියමිත රතු වරෙන්තුව නවත්වා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහාය. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එය සිතන තරම් පහසු කටයුත්තක් නොවනු ඇතැයි කියාය.

රාජපක්ෂලා කොටු කරයි

ඒ කොයි හැටි වෙතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වූ මාස හයේ සැලසුමේ තවත් එක් පියවරක් ලෙස මේ හොරු ඇල්ලීමේ පොරොන්දුව දැකගැනීමට පුළුවන. ඒ අනුව ආණ්ඩුව එම මෙහෙයම සාර්ථක කරගැනීම සඳහා සිය උපරිම ශක්තිය යොදවමින් සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන. එහිදී ආණ්ඩුවේ උත්සාහය වී ඇත්තේ බරපතළ චෝදනාවට ලක්ව විදෙස්ගතව සැඟවී සිටින රාජපක්ෂවරුන් කෙසේ හෝ යළි ලංකාවට ගෙන්වා ගැනීමය. යම් හෙයකින් එය මේ මාස හය ඇතුළත සාර්ථක කරගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණහොත් ඉදිරි මැතිවරණය ඉලක්ක කොටගෙන ඒ හරහා විශාල වාසියක් ලබාගැනීමට ආණ්ඩුවට හැකිවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

මීට අමතරව මාතර බ්‍රවුන්ස් හිල්හි පිහිටි බැසිල් රාජපක්ෂට අයත් ඉඩමක් සම්බන්ධයෙන් වූ නඩුවද මේ දිනවල අධිකරණයේ විභාග වෙමින් පවතී. කෙසේ වෙතත් මේ වනවිට යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අංශ සැලසුම් කොට ඇත්තේ බැසිල්ට එරෙහිව තවත් නඩු කීපයක් අධිකරණය හමුවේ ගොනුකිරීමටය. ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ තවත් නඩු කීපයක්ද හෙට අනිද්දා වන විට බැසිල්ට එරෙහිව අධිකරණය හමුවේ ගොනුවීමට නියමිතය.

මීට අමතරව අප වෙත ඇති තවත් තොරතුරකින් කියැවෙන්නේ කිසියම් විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියටද විමර්ශන අංශවලින් යම් ඉදිරියේදී නැවත කැඳවීමක් සිදුකිරීමට නියමිතව ඇතැයි කියාය. එහිදී විශේෂ යමක් සිදුවීමට බොහෝ ඉඩකඩක් ඇති බවක්ද දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන රාවයන්ගෙන් කියැවේ. එහි ඇත්ත නැත්ත කුමක්ද යන්න තහවුරු වී නැතත් පෙළගැසෙමින් පවතින මේ සෑම සිදුවීමකින්ම කියැවෙන්නේ යම් සැලැස්මකට සහ කාල රාමුවකට අනුව කිසියම් පිළිවෙළකට මෙම සිදුවීම් පෙළගැසෙමින් තිබෙන බවය.

සාකච්ඡා චකබ්ලාස්ද?

මේ ආකාරයට ආණ්ඩුව යම් සැලසුම්සහගත දේශපාලන ගමන් මගක යන ආකාරයක් පෙන්නුම් කරද්දී ප්‍රධාන විපක්ෂය වූ සජබය කරන්නේ කුමක්ද?
සජබය සහ එජාපය අතර ආරම්භ වූ සාම සාකච්ඡාවන්ගේ අලුත්ම තත්ත්වය කුමක්ද?
එම සාම සාකච්ඡා බිඳවැටී චකබ්ලාස් වෙලාද?

සජබය සහ එජාපය අතර ඒකාබද්ධ වීමේ සාකච්ඡා ආරම්භ වන විටම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පැහැදිලිවම සඳහන් කර සිටියේ එජාපයේ සහ සජබයේ සිටින තුන් හතර දෙනකුට හැරෙන්නට අනෙක් සියලු නායකයන්ටත්, පක්ෂ දෙකේම පාක්ෂිකයන්ටත් මේ දෙක එකතු විය යුතු බවට වූ ස්ථාවරයේ සිටිනවා යැයි කියාය. දෙතුන් දෙනකුට පමණක් මේ සමගිය සහ එකමුතුව කැඩීමට අවශ්‍යව ඇතැයි කියාය. වරෙක අප කී එම තොරතුර තහවුරු කරමින් එජාපයේ හිටපු උපනායකයකු වූ රවී කරුණානායක මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ එජාපය විනාශ කරන භූතයන් දෙදෙනකු සිටින බවත්, ඔවුන් මේ එජාප – සජබ එකමුතුවට අකුල් හෙළන බවත්ය. අපද වරින් වර එජාපය ඇතුළේ සිටින මේ භූතයන් සහ දේශපාලන පිල්ලි සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් සහ සිදුවීම් ප්‍රමාණයක් වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ මේ දේශපාලන භූතයන්ගේ සහ පිල්ලිවල අරමුණ වී අත්තේ පක්ෂ දෙක එකමුතු කරන සාකච්ඡාවලට මුවා වෙමින් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් වැට්ටවීමේ කුමන්ත්‍රණයක නිරතව සිටිනවා යැයි කියාය. දේශපාලනය දන්නා සහ දේශපාලනය තේරෙන සියලු දෙනාටම අප කී එම කරුණු වටහා ගැනීමට හැකි වුවත් සජබයේ ඉහළ පුටුවල සිටින දේශපාලන ඔළමොට්ටලයන් දෙතුන් දෙනකුට මේ කතාව තවමත් වැටහී ඇති ආකාරයක් දැකගන්නට නැත. දැනටමත් එජාපය පැත්තෙන් මේ සිදුකරන සාකච්ඡා ඉක්මනින් අවසන් කොට කුමක් හෝ ගිවිසුමකට අස්සන් තැබීමේ වුවමනාවක් මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ නිසා අවස්ථා කීපයකදීම එජාපයේ නායකයන් මේ සාම සාකච්ඡා වහා අවසන් කළ යුතු බවට ප්‍රකාශයන් නිකුත් කරන ආකාරයක්ද දැකගැනීමට හැකි විය.

ඒ ආකාරයට එජාපය පැත්තෙන් මෙම සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කළ යුතු බවට යෝජනාවක් ගෙන එන්නේ වෙන මොකකටවත් නොව සජබය සහ එජාපය අතර අස්සන් කරන එවැනි ඒකාබද්ධ වීමේ ගිවිසුමක් පෙන්වා රනිල්ට එරෙහිව ඇති නඩුවට යම් වාසියක් ලබාගැනීමටය. මේ බව සජබයේ අතිබහුතරයක් වූ මන්ත්‍රීවරුන්ටත්, සජබයේ සිටින නායකයන්ටත් වැටහී ගොස් තිබුණද, ඉහළ පුටුවල සිටින දේශපාලනය නොතේරෙන ඔළමොට්ටලයන් දෙතුන් දෙනකුද මේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කළ යුතු බවට වූ ස්ථාවරයේ සිටින ආකාරයක් දැකගන්නට පුළුවන.

දේශපාලන කල්යල් බැලීම

සාමාන්‍යයෙන් පක්ෂ දෙකක් එකතුව නව පක්ෂයක් හෝ නව දේශපාලන සන්ධානයක් හෝ ගොඩනගන්නේ ප්‍රධාන ඡන්දයක් පේන තෙක් මානයක නොමැති, දේශපාලන වශයෙන් ඇල්මැරුණු කාලසීමාවකදී නොවේ. ප්‍රධාන පක්ෂ දෙකක් එවැනි දැවැන්ත තීන්දුවකට යන්නේ ඡන්දයක් ඉලක්ක කරගෙන ගසන අවසාන තුරුම්පුවක් ලෙසටය. සජබයටත්, එජාපයටත් එය පොදු දේශපාලන සිද්ධියකි. සජබය සහ එජාපය එකතු වන බවට මේ මොහොතේ ගිවිසුම්ගත වුවහොත් එය තවත් එක් මාතෘකාවක් පමණක් වනවා විනා දේශපාලන වාසියක් ලබාගැනීමට ඒ හරහා ඉඩක් ඇත්තේ නැත. පක්ෂ දෙකේ පාක්ෂිකයන් එළියට ගැනීමටද ඒ හරහා මග පෑදෙන්නේ නැත. ජනතාව ඒ පිළිබඳ දින දෙක තුනක් කතාකරන ආකාරයක් දැකගන්නට හැකි වුවද වසර කීපයකින් ජාතික මැතිවරණයක් පවත්වන විට පක්ෂ දෙක එකතු වූ මාතෘකාව පිළුණු වී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ අනුව සජබ නායක සජිත්ගේත්, අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් ස්ථාවරය වී ඇත්තේ දුරදිග බලා සැලසුමකට අනුව මෙම සාකච්ඡා පියවරෙන් පියවර ඉදිරියට ගෙන යා යුතු බවත්, ඉතා තීරණාත්මක අවස්ථාවකදී පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් ගිවිසුම්ගත විය යුතු බවත්ය.
නමුත් එජාපයේ ඇතැම් පිරිස් සූදානම් වන්නේ පක්ෂ දෙකේ මෙම එකමුතුව හැකි ඉක්මනින් සිදුකොට ඒ හරහා රනිල්ගේ නඩුවට යම් වාසියක් ලබාගැනීමටය. තමන් දේශපාලනයෙන් ඉවත්වී ඇති බවටත්, තමන් විශ්‍රාම ගොස් ඇති බවටත් රනිල් තැන් තැන්වල ප්‍රසිද්ධියේ විවිධ කතා කියා සිටියද, තවමත් රනිල්ගේ එකම අභිප්‍රාය වී ඇත්තේ දේශපාලන වශයෙන් අවස්ථාවක් ලද සැණින් සජිත්ව බිමට ඇද දමා ඒ වාසිය තමන් සතුකර ගැනීමටය. ඒ බව හොඳින්ම තහවුරු වන සිදුවීමක් පසුගිය සතියේ එජාපය ඇතුළේ සිදුවිය. එහිදී පැවැති සාකච්ඡාවකදී රනිල් ප්‍රසිද්ධියේම සඳහන් කොට ඇත්තේ පක්ෂ දෙක එකතු කිරීමට සජිත්ට වුවමනාවක් නැතැයි කියාය.

‘මේක කරන්න සජිත්ට කිසිම වුවමනාවක් නෑ. එයා මේක ඇදගෙන යන්නයි බලන්නේ…’ යනුවෙන් කියමින් රනිල් එහිදී සජිත් සමග සාකච්ඡාවට ගිය එජාප ප්‍රධානීන්ට පවා දොස් තබන ස්වරූපයෙන් අදහස් දැකීවීමට කටයුතු කොට ඇති බවක් ආරංචිය. ඒ හරහා අප මෙම තීරයෙන් වාර්තා කළ කරුණු අතිශය නිවැරැදි බව පැහැදිලිවම දැකගන්නට තිබේ. අප ඒ පැරැණි සිදුවීම් යළි යළිත් සිහිපත් කරන්නේ මුල සිටම අප අනාවරණ කළ තොරතුරු නිවැරැදි බවට අප පාඨකයන් දැනුවත් කිරීම සඳහාය.

මීට අමතරව පසුගිය සතියේ අප කියන මේ කතාව තහවුරු කරන තවත් සිදුවීමක් සිදුවිය. ඊට සම්බන්ධ වී සිටියේ එජාපය ඇතුළේ මේ වනවිට විශාල වශයෙන් අප්‍රසාදයට ලක්ව සිටින, රවීගේ වචනයෙන් කියන භූතයන් දෙදෙනාගෙන් එක් අයෙකි. එහිදී එක් සජබ මන්ත්‍රීවරයකු සමග මෙම එජාපයේ භූතයා විශේෂ හමුවක් පවත්වා එක්තරා සුවිශේෂ යෝජනාවක් සිදුකොට තිබිණ.

‘පක්ෂ දෙක එකතු කරන මේ සාකච්ඡා අපි ඉක්මනටම අවසන් කරන්න ඕනේ. හැබැයි සජිත් මේ වැඩේ පරක්කු කර කර ඇදගෙන යනවා. මේක අපිට ඉවර කරගන්න බැරි වුණොත් අපි දෙගොල්ලොම ඉවරයි. ඒ හින්දා අපි ඉක්මනින්ම ගිවිසුමකට එන්න ඕනේ. මොකද අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව ආයෙමත් රට ලොකු ආර්ථික අර්බුදයකට යන්නයි හදන්නේ. ඒ නිසා ඉදිරි අවුරුදු පහ ඇතුළත ආයෙමත් අර්බුදයක් ඇවිත් අපිට ආණ්ඩුව භාරගන්න සිද්ධ වුණොත් එතැනදී ජනාධිපති ධුරය රනිල්ට දෙන්න ඕනේ. ඊට පස්සේ 2029 ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට දෙන්න අපිට පුළුවන්….’ යනුවෙන් එහිදී මෙම එජාප භූතයා සජබ මන්ත්‍රීවරයාට යෝජනා කොට ඇති බවක් ආරංචිය.

ඒ අනුව ආරම්භයේ සිටම අප කළ අනාවරණයන් 100%ක්ම තහවුරු කරමින් එජාපයේ බළලා මල්ලෙන් එළියට පැන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. අප කී අයුරින්ම රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා කතා, ගෙදර යන කතා බොරු වී ඇති බවක් තහවුරු වී තිබේ.
මෙහිදී එජාප නායකත්වයටත්, එජාපයේ සිටින භූතයන්ටත් ලොකු ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන් සමග සාකච්ඡා නොකොට සජිත් එජාපයේ දැනට ඉතිරිව සිටින ජනතාව පිළිගන්නා, ජන පදනමක් ඇති දෙවැනි පෙළ තරුණ නායකයන් සමග සාකච්ඡා ආරම්භ කිරීමය. සජිත් ගත් එම ක්‍රියාමාර්ගය හරහා පක්ෂ දෙක එකතු වන බවට වූ ඉඟිය මේ වනවිට එජාප නායකන්ගේත්, එජාපයේ සාමාජිකයන්ගේත්, සජබ සාමාජිකයන්ගේත් ඇඟට දැනී තිබේ. එමෙන්ම ඒ හරහා පක්ෂ දෙක එක ස්ථාවරයකට ගැනීමටද සජිත් සමත්ව තිබේ. එම එකමුතුව කැඩීමට මේ මොහොතේ උත්සාහ දරන ඕනෑම කෙනකු හෙට දිනයේදී ද්‍රෝහීන් බවට පත්වීම වැළැක්විය නොහැකි බව අපගේ විශ්වාසයය. ඔවුන්ට පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වීමද වැළැක්විය නොහැක. ඒ අනුව රනිල්ගේ න්‍යාය පත්‍රයට හසුවී සජබයේ සිටින ඔළමොට්ටල මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු මේ වනවිට පක්ෂ දෙක එකතු කිරීමේ සාකච්ඡා ඉක්මන් කරන ලෙස සජිත්ට බලපෑම් කළත් සජිත් තීරණය කොට ඇත්තේ කාගේවත් න්‍යාය පත්‍රවලට නොව පක්ෂ දෙකේ සාමාජිකයන්ගේ සහ රටේ න්‍යාය පත්‍රයට අනුව මේ පක්ෂ දෙක එකතු කිරීමේ වැඩකටයුතු සිදුකරන්නටය.

හර්ෂ ගැන කතාවක්

ඒ කොයි හැටි වෙතත් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ සජබය ඇතුළේ සිටින රනිල්ගේ න්‍යාපත්‍රයට වැඩ කරන මන්ත්‍රීවරයකු නම් වශයෙන්ම සඳහන් කිරීමට අපි කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ සජබයේ හර්ෂ ද සිල්වා අවස්ථා ගණනාවකදීම රනිල්ගේ න්‍යායපත්‍රයට කටයුතු කරමින් සජබයත්, සජබ නායකත්වයත් අපහසුතාවට පත්කිරීමට කටයුතු කළ බවකි. ඉකුත් ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජබ නායකත්වයෙන් සජිත් ඉවත් කිරීමට හර්ෂ දියත් කොට තිබූ කුමන්ත්‍රණයක් පිළිබඳවද අපි එහිදී අනාවරණ කළෙමු. ඊට උල්පන්දම් දුන් දෙතුන් දෙනාගේ නම් පවා පළමු වරට අනාවරණ කිරීමට එහිදී අප පියවර ගත්තෙමු. මේ දෙතුන් දෙනාට වුවමනා වී ඇත්තේ සජබය සහ එජාපය එකමුතු වීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කොට රනිල්ගේ න්‍යායපත්‍රය සජබය ඇතුළේ දියත් කිරීමටය. නමුත් එහිදී හර්ෂට එරෙහිව පළමු වතාවට ගමේ සජබ නායකයකු වූ පොළොන්නරුවේ කිංස් නෙල්සන් දරුණු ප්‍රහාරයක් දියත් කළ ආකාරයද අප මෙම තීරයේ වාර්තා කර සිටියෙමු. අනෙකුත් මන්ත්‍රීවරුන් හර්ෂගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිහඬව සිටියද ඊට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට කිංස් නෙල්සන්ට තිබූ කොන්ද පිළිබඳ මෙහිදී යමක් සඳහන් කළ යුතුය. ඇතැම් විට අසාධාරණයට එරෙහි සටනට සිය පියා වූ එච්.ජී.පී. නෙල්සන්ගේ ජාන කිංස්ටද තිබීම ඊට හේතුවිය හැකිය. හර්ෂ සජබයට සිදුකරන මේ විනාශය කල් තියාම දැක කිංස් හර්ෂට එරෙහිව අදහස් දැක්වූයේ ඒ නිසා විය යුතුය. කිංස් සිදුකළ මෙම ප්‍රහාරයෙන් පසු සහ අප මෙම සිද්ධිය අනාවරණ කිරීමෙන් පසු මේ වනවිට සජබයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටද, ආසන සංවිධායකවරුන්ටද හර්ෂගේ සැබෑ මුහුණ දැකගැනීමට හැකිවී ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව සිරිකොතේ න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන සජබයේ දෙතුන් දෙනා මේ වනවිට අපගේ හෙළිදරව්වෙන් පසු නිහඬව සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන.

අනුර හොල්මන් වෙයි

ජනාධිපතිවරයාගේ නවදිල්ලි සංචාරය පිළිබඳ කිසිදු මාධ්‍යයක පළ නොවූ තොරතුරු කිහිපයක් අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකිරීමට පියවර ගත්තෙමු. නමුත් මේ සතිය වනවිට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ තවත් සුවිශේෂ තොරතුරු රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය වෙත ලැබී තිබේ. ඉන් පළමු සිදුවීම වාර්තා වන්නේ ජනාධිපතිවරයා නවදිල්ලිය බලා පිටත්වූ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යානය නවදිල්ලි ගුවන් තොටුපළට ගොඩබෑමෙන් අනතුරුවය. වෙනදා නම් විදෙස් රාජ්‍ය නායකයකු නවදිල්ලියට පැමිණි විට ගුවන් යානයෙන් බැස රතු පලස මතින් පැමිණීමෙන් අනතුරුව එරට රාජ්‍ය නායකයා විසින් පිළිගැනීම සාමාන්‍ය සම්ප්‍රදායය. නමුත් එදින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපතිවරයා වෙනුවෙන් වෙනත් කිසිදු රාජ්‍ය නායකයකුට සිදු නොකරන සුවිශේෂ යමක් සිදුකොට තිබිණි. ඒ, ශ්‍රී ලංකන් ගුවන් යානයේ දොරටුව අසලටම ආරක්ෂකයන් රැගත් විශේෂ රථ පෙළක් ජනාධිපතිවරයා රැගෙන යෑම සඳහා එවා තිබීමය. එමෙන්ම නවදිල්ලි ගුවන් තොටුපළ ඇතුළත ජනාධිපතිවරයා වෙනුවෙන්ම සුවිශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද දියත් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරයා ඉන්දියාවට ගොඩබැසීමේදී පමණක් නොව, යළිත් ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානයට පැමිණෙද්දීද ඒ ආකාරයටම ජනාධිපතිවරයා රැගත් නිල රථ පෙළ ගුවන් යානය අසලටම රැගෙන ඒමට කටයුතු යොදා තිබිණි. සාමාන්‍යයෙන් ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයකුට ඉන්දියාවෙන් එවැනි ආකාරයේ පිළිගැනීමක් මීට පෙර ලැබී නොතිබීම විශේෂිතය.

මෙය හොඳටම පැහැදිලි වූයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් යානයේ නැග නැවත ලංකාවට පැමිණෙමින් සිටියදීය. ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ගුවන්ගත වී මොහොතකට පසු ප්‍රධාන ගුවන් නියමුවා යානයේ පාලනය සෙසු පිරිසට භාරදී නියමු කුටියෙන් එළියට පැමිණ ජනාධිපතිවරයා සමග සුහද සාකච්ඡාවක නිරත වීමට පියවර ගත්තේය. එහිදී ගුවන් නියමුවා කිසිවකුත් නොදැන සිටි විශේෂ කතාවක් ජනාධිපතිවරයාට දැනුම දීමට පියවර ගත්තේය.

‘සර් මට හරි ආඩම්බරයි. මේ වගේ විශේෂ සැලකීමක් අපේ රටේ ජනාධිපතිවරයකුට ඉන්දියාවෙන් ලැබිම ගැන. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් යානයකටත් මේ විදිහේ විශේෂ සැලකීමක් ලැබිච්ච පළමුවැනි අවස්ථාව මේක. මීට කලින් මම ජනාධිපතිවරු හයදෙනෙක් අරගෙන ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කිසිම අවස්ථාවක අපේ කිසිම ජනාධිපතිවරයකුට මේ වගේ විශේෂ පිළිගැනීමක් ඉන්දියාවෙන් ලැබුණේ නෑ…’ යැයි කී ශ්‍රී ලංකන් යානයේ ගුවන් නියමුවා ජනාධිපතිවරයාට අතට අත දී සුබ පැතීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයාද ගුවන් නියමුවාගේ සුබ පැතුම් පිළිගත්තේ ‘ආ… ඇත්තද…?’ යැයි කියමින් මද සිනහවකින් යුක්තවයි.

මෝදිගේ ඉල්ලීම

මීට අමතරව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ප්‍රසිද්ධියේ දැකගන්නට තිබුණාට වඩා බොහෝ දේවල් අප්‍රසිද්ධියේ සිදුව තිබිණි. ඉන් එක් සුවිශේෂ සිදුවීමක් වූයේ ජනාධිපතිවරයාත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියාවාත් අතර පැවැති විශේෂ සාකච්ඡාවය. ප්‍රධාන න්‍යායපත්‍රයට අමතරව මෙම විශේෂ සාකච්ඡාව සංවිධාන කිරීමට මෝදි කටයුතු කර තිබීම නිසා ඊට විශේෂ අවධානයක් යොමුව තිබුණේ නැත. එහිදී ශ්‍රී ලංකාව සහ ජනාධිපතිවරයා වෙනුවෙන් මෝදි මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගෙන් කවුරුත් නොසිතන විශේෂ ඉල්ලීමක් සිදුකිරීමට පියවර ගත්තේය.

‘මම මෙහෙම ඉල්ලීමක් කවදාවත් කරලා නෑ. මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පත්වෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න උදව් උපකාර කරන්න ඕනේ….’ යනුවෙන් කියමින් එහිදී මෝදි ජෝජියාවාගෙන් ඉල්ලා සිටිද්දී ජනාධිපතිවරයාද පුදුමයට පත්ව එදෙස බලා සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. සාමාන්‍යයෙන් මෝදි වැනි ප්‍රබල නායකයකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒ ආකාරයේ ඉල්ලීමක් කිරීම ජනාධිපතිවරයාත්, ලංකාවත් සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා ලබාදුන් සහතිකයක් හා සමානය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී ජෝජියාවා විසින්ද ජනාධිපතිවරයා වෙත විශේෂ කාරණාවක් දැනුම් දී සිටියාය. එහිදී ඇය කියා සිටියේ ලබන මාර්තු මාසයේ මූල්‍ය අරමුදලේ තවත් විශේෂ කණ්ඩායමක් ලංකාවට එවීමට කටයතු කරන බවත්, දැනට අත්හිටුවා ඇති පස්වැනි ණය වාරිකය සහ හයවැනි ණය වාරිකය ලංකාවට හැකි ඉක්මනින් ලබාදීමට සාකච්ඡා අරඹන බවත්ය.

මැක්රොන්ගෙන් ආරාධනාවක්

ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ සංචාරයේ සිදුවූ විශේෂම සිදුවීම වූයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සමග පැවැති සාකච්ඡාවය. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මැක්රොන්ට දැනුම් දී සිටියේ තමන්ට ප්‍රංශයෙන් ආරාධනාවක් ලැබී ඇති බවත්, එම ආරාධනාවට අනුව ඉදිරියේදී ප්‍රංශයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවත්ය.

ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම සිදුකිරීමත් සමග මැක්රොන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයද ජනාධිපතිවරයා කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවීය. එහිදී මැක්රොන් කියා සිටියේ එම සංචාරය රාජ්‍ය සංචාරයක් ලෙස සිදුකරන ලෙසට තමන් ආරාධනා කරන බවය. ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් ලැබුණු එම අනපේක්ෂිත ප්‍රතිචාරයට සිනාසී ස්තුතිය පළකිරීමටද ජනාධිපතිවරයා එහිදී පියවර ගෙන තිබිණි.

ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් ලැබුණු මෙම ආරාධනාවේ විශේෂත්වය වන්නේ ඒ ආකාරයට ප්‍රංශ රජයේ නිල ආරාධනාව අනුව රාජ්‍ය සංචාරයක ශ්‍රී ලංකාවේ එක් ජනාධිපතිවයෙක් පමණක් මේ දක්වා නිරත වී තිබීමය. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකය. ඇය 2001 වසරේ දී එවක ප්‍රංශ ජනාධිපති ජැක් ෂිරාක්ගේ ආරාධනාවකට අනුව ප්‍රංශ නිල සංචරයක නිරත වූවාය. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රංශ සංචාරයක නිරත වුවද එය ගියේ එරටින් ලැබුණු නිල ආරාධනාවකට අනුව නොව, එම වසරේ ප්‍රංශයේ පැවැති සමුළුවකට සහභාගි වීම සඳහාය. එහිදී ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවී සාකච්ඡා කිරීමටද රනිල් කටයුතු කොට තිබිණි.

ගෝර් එනවා

මීට අමතරව ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරයේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් මහතාද හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. මීට පෙරද අප මෙම තීරයේ වාර්තා කර සිටියේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඇමතීම සඳහා පසුගිය සැප්තැම්බරයේදී නිව්යෝර්ක් නුවරට ගිය අවස්ථාවේදීද මේ කියන සර්ජියෝ ගෝර් හමුවී සකාච්ඡා සිදුකොට තිබූ බවකි. එහිදී සර්ජියෝ ගෝර් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ තමන්ට ඕනෑම අවස්ථාවකදී ජනාධිපති ඩොලන්ට් ට්‍රම්ප් මහතා සමග සාකච්ඡා කළ හැකි බවත්, අවශ්‍යතාවක් ඇත්නම් ඕනෑම අවස්ථාවක තමන්ට ඇමතුමක් ලබාදෙන ලෙසත්ය. ඒ බව අප එවකදී රාජ්‍ය රහස් තීරයෙන් වාර්තා කිරීමට පියවර ගත්තෙමු.

කෙසේ වෙතත් නවදිල්ලියේදීද දුරකතනය ඔස්සේ කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා හා ගෝර් අතර විශේෂ හමුවක් සංවිධාන විය. එම හමුවේදී තීරණාත්මක කරුණු කීපයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෝර් ජනාධිපතිවරයාට විශේෂ සඳහනක් කිරීමට පියවර ගත්තේය. ඒ, තමන් ලබන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කොට ඇතැයි කියාය. මේ වනවිට ඇමෙරිකානු රජයෙන් වෙරළාරක්ෂක නෞකා කීපයක් ලංකාවට ලබාදී ඇති අතර ඊළඟ වෙරළාරක්ෂක නෞකාව ලබාදෙන දිනයේදී සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවක් ඒ අනුව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ සාකච්ඡාවේදී දෙදෙනා අතර කතාබහට ලක්වූයේ මොනවාද යන්න ගැන තොරතුරු නැතත් පැය භාගයකට අධික කාලයක් පුරා දෙදෙනා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැති බවක් නම් පැහැදිලිය.

නවීන් ලොකු වැඩක

සමගි ජන බලවේගය සහ එජාපය අතර ගොඩනැගෙමින් පවතින එකමුතුකම සහ සමගිය බිඳහෙළීම සඳහා පක්ෂ දෙකේම සිටින අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසක් විවිධ පිල්ලි එවද්දී පක්ෂ දෙකේ එකමුතුව වෙනුවෙන් අවංකවම කැපවී කටයුතු කරන කණ්ඩායමක්ද එජාපයේ නැතුවා නොවේ. ඉන් ඉදිරියෙන්ම සිටින එක් අයකු වන්නේ උපසභාපති නවීන් දිසානායකය. මේ හේතුවෙන්ම ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බෝ ක්ලබ්හි පක්ෂ දෙකේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේ නවීන්ටද ඉඩක් වෙන්ව තිබිණ.

මේ දිනවල නවීන් සිටින්නේ සිය පියාණන් වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට සූදානම් වෙමිනි. එමෙන්ම පසුගිය සතියේ කෝ⁣ට්ටේ ශ්‍රී ජයවර්ධනාරාම මහා විහාරස්ථානයේ පැවැති විශේෂ උත්සවයකටද නවීන් එක්ව සිටියේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට සජබ නායක සජිත් ප්‍රේමදාසත්, එජාපයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාත් එක්ව සිටීමය. මෙහිදී සජිත් සහ නවීන් අතර පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් සාධනීය සාකච්ඡාවක් පැවැති අතර, කරුගේ ආශීර්වාදයද ඊට හිමිවූ ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මෙවර නවීන් සිය පියාණන්ගේ ජන්ම දින සැමරුම පැවැත්වීමට සූදානම් වන්නේ තවත් එක් ජන්ම දින සැමරුමක් ලෙස නම් නොවේ. නවීන් සැලසුම් කර ඇත්තේ එය ජන්ම දින සැමරුමකට එහා ගිය සජබ සහ එජාපය එකමුතු කිරීමේ තීරණාත්මක උත්සවයක් ලෙසට මෙම අවස්ථාව පත්කිරීමටය. ඒ අනුව පක්ෂ දෙකේම ඉදිරි පෙළ නායකයන් හට එම උත්සවයට ආරාධනා කිරීමටත්, පක්ෂ දෙකේ එකමුතුව නියත බව ඒ හරහා සංකේතාත්මකව රටට පෙන්වීමටත් නවීන් සැලසුම් කොට ඇති බවක් ආරංචිය.

සජබයන් යෝජනාවක්

මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටින අතර එය පවත්වන්නේ කුමන මැතිවරණ ක්‍රමයකටද යන්න සොයාබැලීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කිරීමටද ආණ්ඩුව කටයුතු කොට ඇත. ඒ අනුව මේ වනවිට විපක්ෂය සැලසුම් කොට ඇත්තේ මෙම පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව රැස්වූ වහා ඊට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමටය. ඒ, පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත්, එවැනි යෝජනාවකට සහාය දැක්වීමට විපක්ෂය සූදානම් බවත්ය.

මීට අමතරව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ විශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ හතරම පවත්වන මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරකසභාවක් පත්කළ යුතු බවට රවී කරුණානායක මහතා ගෙනැවිත් තිබූ පෞද්ගලික යෝජනාවක් සාකච්ඡාවට ගැනීමේදී කිසියම් මතභේදාත්මක තත්ත්වයක් මතුවූ බවකි. ඒ, දැනටමත් ආණ්ඩුව පළාත් සභා ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පත්කොට ඇති තේරීම් කාරකසභාව අභිභවා යන ලෙසට රවී තේරීම් කාරකසභාවක් ගෙන ආ යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබීම නිසාය. දැනට පත්කොට ඇති කාරකසභාව මාස 3ක් ඇතුළත පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර, රවී ඉදිරිපත් කර තිබූ යෝජනාවෙන් කියැවුණේ වසරක කාලයක් ඒ සඳහා ලබාදිය යුතු බවකි.

කෙසේ වෙතත් රවී මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබුණේ මීට මාස 13කට පෙරාතුවය. ඒ අවස්ථාවේදී පැවැති දේශපාලනික වටපිටාව මත රවී ඉදිරිපත් කොට තිබූ යෝජනාව ගැලපුණත් වර්තමානය වනවිට පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සොයාබැලීම සඳහා දැනටමත් තේරීම් කාරකසභාවක් පත්කර ඇති බැවින් මෙම යෝජනාවේ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබිණි. ඒ අනුව මෙම තත්ත්වය තමිල් අරසු කච්චි පක්ෂය විසින් පෙන්වා දීමෙන් අනතුරුව සිය යෝජනාවෙන් පළාත් සභ මැතිවරණ ක්‍රමය ඉවත් කිරීමට රවී එකඟතාව පළ කොට තිබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සජබය ප්‍රමුඛ විපක්ෂය හිරියාලේ බලය අල්ලයි! 85ක් ගනිද්දී මාලිමාව ගත්තේ 15යි! I Sri Lanka Latest News

Next Post

කමේනිගේ සිරුර සොයාගනී! මුලින්ම ට්‍රම්ප්ටයි නෙතන්යාහුටයි පෙන්වයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.