• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද උණුසුම අස්සේ අමෙරිකාව ලංකාවට ඇහැ ගහයි! රහස් සාකච්ඡාවේදී ලංකාව ගැන තීරණාත්මක කරුණු රැසක් කියලා! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

February 22, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

තීරණාත්මක සාකච්ඡාවක්

පසුගිය කාලය පුරාම ලංකාව කේන්ද්‍ර කරගනෙ චීනය, ඇමෙරිකාව සහ ඉන්දියාව සිදුකරන යම් යම් මෙහෙයුම් පිළිබඳ අවස්ථා ගණනාවකදී මෙම තීරයේ අපි කරුණු වාර්තා කිරීමට පියවර ගත්තෙමු. මුල් අවස්ථාවේදී චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව යන රටවල් තුනම ලංකාව ඇතුළේ සිය ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කළ ආකාරයත්, එහිදී ඉන්දියාව සහ ඇමෙරිකාව පසුකරමින් ඇතැම් අවස්ථාවල චීනය ඉදිරියට ආ ආකාරය පිළිබඳවත්, තවත් අවස්ථාවක චීනය පසුපසට ඇදදමමින් ඉන්දියාව සහ ඇමෙරිකාව ඉදිරියට ආ ආකාරය පිළිබඳවත් අපි මෙම තීරයෙන් තොරතුරු වාර්තා කළෙමු. එසේ චීනය ඉදිරියට පැමිණි අවස්ථාවක් ලෙස හම්බන්තොට වරාය සහ හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම ලබාගත් ආකාරයත්, චීනය පසුපසට තල්ලු වූ අවස්ථාවකට උදාහරණයක් ලෙස චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කළ ආකාරයත් අපි එහිදී වාර්තා කළෙමු. කෙසේ වෙතත් මේ පර්යේෂණ නෞකාවේ ප්‍රශ්නය මුල්කොට ගෙන චීනය හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම තාවකාලිකව නවත්වා ඇති බවත්, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පොරොන්දු වූ මුදල් ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් පසුගිය සතියේ අපි පෙන්වා දුන්නෙමු. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට සූදානම් වන්නේ ලංකාව කේන්ද්‍ර කරගෙන මතුව ඇති මෙම චීන, ඉන්දීය, ඇමෙරිකා ජාත්‍යන්තර තුන්කොන් සටනේ තවත් අතිශය තීරණාත්මක සිදුවීමක් පිළිබඳවය. අප අනාවරණ කරන මෙම තොරතුර සම්බන්ධයෙන් ඉදිරියේදී කුමක් සිදුවන්නේද යන්න කීමට තවමත් අපට නිශ්චිත තොරතුරක් නැත.
පසුගිය සතියේ ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ රැස්වීමක් පැවැති අතර, ඊට දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර ලේකම් පෝල් කපූර් මහතාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාව කේන්ද්‍ර වී තිබුණේ දකුණු ආසියානු කලාපය තුළ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ උපාය උපක්‍රම තේරීම සම්බන්ධයෙන්ය. මෙම සාකච්ඡාවේදී කිසිවකුත් නොසිතූ ආකාරයට ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කතාවක් මේ පෝල් කපූර්ගෙන් එළියට පැමිණියේය. එහිදී ඇමෙරිකානු බලධාරීන් ඉන්දීය සාගර කලාපය ඇතුළත දියත් කළ යුතු ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ විමසද්දී කෝල් කපූර් ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු කීපයක් අනාවරණ කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

‘මේ වෙද්දි ලංකාව ඉන්දියන් සාගරයේ සහ දකුණු ආසියානු කලාපයේ තියෙන වැදගත්ම මුහුදු මාර්ගය බවට පත්වෙලා අවසානයි. මැදපෙරදිග තෙල් නැව් විතරක් නෙවෙයි ආනයන අපනයන සිදුකරන ප්‍රධාන මුහුදු මාර්ගයන් වැටිලා තියෙන්නේ ලංකාව ආසන්නයෙන්. පහුගිය කාලෙදි වොෂින්ටන් මැප් එකේ ලංකාවටයි, ලංකාවේ මුහුදු තීරයටයි ලොකු අවධානයක් යොමුවෙලා නොතිබුණත්, මේ වෙද්දී මතුවෙලා තියෙන තත්ත්වය අනුව ලංකාව තවත් දකුණු ආසියාවේ සාමාන්‍ය රටක් විදියට පිළිගන්න බෑ. මේක කල්තියා තේරුම් අරගෙන වෙන්න ඇති චීනය බරපතළ විදියට ලංකාව ඇතුළේ බලය අත්පත් කරගන්න හදන්නේ. ඔවුන් දැනටමත් හම්බන්තොට වරාය අත්පත් කරගෙන අවසන්. ඒක ඔවුන්ට විශාල හයියක්. ඒ වගේම 2022 චීන පර්යේෂණ නෞකාවේ ලංකා ගමනත් අතිශය භයානකයි. ඒක අපිට දීපු ලොකු සංඥාවක්. ඒ නිසා මින් ඉදිරියට ඇමෙරිකාවටයි ඉන්දියාවටයි මේ ගැන ඉතා සමීපව ඇහැ ගහගෙන ඉන්න වෙනවා…’ යැයි කී කපූර් තවත් පුදුමසහගත ප්‍රකාශයක් කිරීමට මෙහිදී පියවර ගත්තේය. ඒ, චීනය මුල්කරගෙන මතුවී ඇති ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටුම දෙස ඇමෙරිකාව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවකි.

මොකද කරන්න ඕනෑ

ඒ අනුව සෙනට් කමිටුව කපූර්ගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියේ එසේ නම් ලංකාව නැවතත් ඇමෙරිකාව දෙසට හරවා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් මොනවාදැයි කියාය. ඊට කපූර් දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘ලංකාව මේ වෙද්දී විශාල ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් ඉන්නේ. නමුත් ඒ අයට මේ අර්බුදයට මුහුණ දෙන්න නිසි ආර්ථික සැලැස්මක් නැහැ. ඒ හින්දා අපි ඒ අයට ආර්ථික සැලැස්මක් හදන්න ඕනේ. ඒකට මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට අපි දෙන්න ඕනේ. ඒ වගේම ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක හිරවෙලයි ඉන්නේ. ආයෝජන ගලා ඒමේ ප්‍රශ්නයකත් ලංකාව හිර වෙලා ඉන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් ඉන්දියාවත් එක්ක සම්බන්ධය හදාගන්න ලංකාවට උදව් කරන්න ඕනේ.මේ වෙද්දී ලංකාව චීන ග්‍රහණයට අහුවෙලා ඉන්නේ. චීනයෙන් විශාල වශයෙන් ලංකාව ණය අරගෙන ඉන්නවා. ඒකෙන් නිදහස් වෙන්න ඔවුන්ට බැහැ. යටිතල පහසුකම්වලට විශාල වශයෙන් චීන ණය අරන් තියෙනවා. ඒ ගෙවන්න තියෙන ණය දැන් ටිකක් අඩු කරලයි තියෙන්නේ.

ඒ වගේම ලංකාව එක්ක ඇමෙරිකාව යුදමය සහයෝගිතාව ශීඝ්‍රයෙන් වැඩි කරන්න ඕනේ. මම නම් කියන්නේ ඒකට ලංකාව ඇතුළේ ඇමෙරිකානු හමුදා කඳවුරක් හදනවට වඩා ඉන්දියාවත් එකතු කරගෙන නාවික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහෙයුම් කරන්න ඕනේ කියලයි. ලංකාවට ඒකට අවශ්‍ය යුද උපකරණ ලබාදෙන්න ඕනේ…’ යනුවෙන් කපූර් එහිදී යෝජනා කර සිටියේය. ඒ හරහා කපූර් පෙන්වා දුන්නේ ඇමෙරිකානු කඳවුරක් ලංකාවේ ස්ථාපිත කරනවාට වඩා හමුදාමය පුහුණු මෙහෙයුම්, බුද්ධි සේවා, යුද උපකරණ සම්බන්ධයෙන් තවදුරටත් ලංකාව සමග ගිවිසුම්වලට එළඹිය යුතු බවකි. එමෙන්ම ඉන්දීය සාගරයේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද කපූර් මෙහිදී ඇමෙරිකානු සෙනට් කමිටුවට පෙන්වා දුන්නේය.
ඒ අනුව බැලීමේදී කපූර්ගේ මේ ප්‍රකාශය හරහා එක්තරා ආකාරයකට ලංකාවට පැහැදිලි වාසිසහගත තත්ත්වයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම ලංකාවට ආයෝජන ලබාගැනීම සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැවැන්ත සහායක් කපූර්ගේ මෙම ප්‍රකාශය හරහා උදාකර ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් දැකගත හැකිය.

අනෙක් පැත්තෙන් ලංකාව ඇමෙරිකාවේ විශාල ඉලක්කයක් බවට පත්ව ඇති ආකාරයක්ද මේ හරහා දැකගත හැකිය. යම් හෙයකින් මතුව ඇති මේ තත්ත්වය යටතේ ලංකාව ඇමෙරිකාව සමග ඉදිරි ගමනක් යෑමට තීන්දු කළහොත් ඊට චීනය කවර ආකාරයකින් ප්‍රතිචාර දක්වයිද යන්න දැන්ම තියා අනුමාන කළ නොහැක. එමෙන්ම ඇමෙරිකාව ලංකාවට සමීප වීම කලාපයේ ප්‍රබලම අසල්වැසියා වන ඉන්දියාව කවර ආකාරයකින් ගනු ඇද්ද යන්න පිළිබඳවද දැන්ම අනාවැකි පළකළ නොහැක. ඒ අනුව ඉදිරි කාලවකවානුව තුළ විදෙස් ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී ලංකාවට ඉතා සීරුමාරුවෙන් තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවක් උදාවී ඇති ආකාරයක් නම් දැකගන්නට පුළුවන.

යුද නායකයා ලංකාවට ආවා

මේ ආකාරයට ඇමෙරිකානු සෙනට් සභිකයන්ගේ කමිටුව හමුවේ පෝල් කපූර් මහතා ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකොට දින කීපයක් ඉක්මගිය තැන තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණ දෙන අද්මිරාල් ස්ටීව් කේලර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමය. දින 3ක කාලයකට ලංකාවට පැමිණි කේලර් සිය සංචාරය අතරතුරදී රජයේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් සමග සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපයේ ස්ථාවරත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, දෙරට හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි. 2024 අප්‍රේල් 04 වැනි දින එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණ දෙන නිලධාරියා ලෙස වැඩ භාරගැනීමෙන් පසු කේලර් 2024 ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංචාරයක නිරත විය. ඒ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව මාසයකටත් වඩා අඩු කාලයකදීය. ඒ අනුව කේලර්ගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය වන්නේ මෙයය.

එමෙන්ම කේලර් ලංකාවට පැමිණියේ පෙන්ටගනය විසින් ඉරානයට පහරදීමට අවශ්‍ය සියලු බළමුළු සූදානම් කර ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත දැනුම් දී පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් වීමද විශේෂ සිදුවීමකි. පෙන්ටගනය කළ මෙම දැනුම්දීමෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් සඳහන් කොට තිබුණේ සාම ගිවිසුමකට එළැඹීම සඳහා ඉරානයට දින 10ත් 15ත් අතර කාලසීමාවක් ලබාදෙන බවත්, එම කාලය අතරතුරදී ඉරානය සාම ක්‍රියාවලියට එක් නොවන්නේ නම්, යුදමය ක්‍රියාවලියකට යොමුවීමට ඇමෙරිකාව සූදානම් බවත්ය. එවැනි පසුබිමක් යටතේ අද්මිරාල් කේලර්ගේ හදිසි ලංකා ගමන පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බවක් දැකගන්නට පුළුවන.

මේ අතර, ඒ.අයි. සමුළුවට සහභාගි වීම සඳහා දිල්ලියට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා පත්කොට ඇති විශේෂ නියෝජිත, ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් මහතා හමුවී සාකච්ඡා කිරීමටද පියවර ගෙන තිබිණි. මීට පෙර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගිය අවස්ථාවේදීද මේ කියන සර්ජියෝ ගෝර් හමුවී සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළේය. එහිදී ගෝර් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී තමන්ට කතාකරන ලෙසත්, ඇමෙරිකාව ඕනෑම අවස්ථාවකදී ලංකාවට උදව් උපකාර කිරීමට සූදානමින් සිටින බවත්ය. මේ බව අප එකල ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. ඒ අනුව පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ වැඩි අවධානය යොමුවූ සතියක් බවට පත්ව තිබූ ආකාරයක් දැකගත හැකිය.

හර්ෂට මොකද වුණේ?

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ගොඩනැගෙමින් පැවැති සබඳතාව සහ එම සබඳතාව බිඳදැමීම සඳහා පක්ෂ දෙකේම ඇතුළෙන් සහ එළියෙන් ක්‍රියාත්මක වූ පිල්ලි සම්බන්ධයෙන් වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරයේ කරුණු අනාවරණ කිරීමට අපි කටයුතු කළෙමු. එහිදී එළිපිට මෙන්ම කොළඹ 7 නිවෙස් ඇතුළේ සිදුකළ කුමන්ත්‍රණ පිළිබඳ සාක්ෂි සාධක සහිතව තොරතුරු අනාවරණ කිරීමටද අපි කටයුතු කළෙමු. පක්ෂ දෙකේ මෙම එකමුතුව කැඩීමට අමතරව කාලයක් තිස්සේ සමගි ජන බලවේගයේ නායකත්වයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කොට එම පක්ෂයේ නායකත්වය අත්පත් කරගැනීම සඳහා යම් යම් පිරිස් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳවද අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු. ඉකුත් වතාවන්හිදී එම පිරිස් කවුරුන්ද යන්න පිළිබඳ යම් යම් ඉඟි පළකරමින් අප එම තොරතුරු අනාවරණ කළද, මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ ඒ පිරිස් කවුරුන්ද, ඒවාට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳ නම් ගම් සහිතවම රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. ඊට හේතුව පසුගිය සතියේ තවත් අලුත් වටයකින් සජබ නායකත්වයෙන් සජිත් ඉවත් කොට එහි බලය ඇල්ලීමේ මෙහෙයුමක් දියත්ව තිබීම නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ලැබූ දේශපාලන පරාජයන් සහ රනිල් වික්‍රමසිංහ මහතා වසර 32කට අධික කාලයක් තිස්සේ එජාප නායකත්වය දරමින් පක්ෂය බිංදුවටම වැට්ටවීමෙන් අනතුරුව වෙනත් විකල්පයක් නොවුණු තැන සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට පියවර ගත්තේය. ඒ, 2019 ජනාධිපතිවරණයෙන් අනතුරුවය. සජබය පිහිටුවීමෙන් පසු පැවැති පළමු මහමැතිවරණයේදීම ලක්ෂ 25 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට සජබයට හැකියාව ලැබුණු අතර, බොහෝ දෙනාගේ විග්‍රහය වූයේ එය තනිකරම ප්‍රේමදාස නාමය මුල්කරගෙන ලැබුණු ඡන්ද ප්‍රමාණයක් යැයි කියාය. එසේ නැත්නම් සජිත් සාධකය මුල්කරගෙන ලැබුණු ඡන්ද ප්‍රමාණයක් යැයි කියාය. සජබය පිහිටුවීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවකදීම සජබය ඇතුළේ අර්බුද ඇතිකොට සජබය දෙකට තුනට කඩා මන්ත්‍රීවරුන් යළි එජාපය වෙත ගැනීමට උත්සාහ කළත් ජන පදනම ඇත්තේ සජිත් සතුව නිසා ඇතැම් මන්ත්‍රීවරුන් රනිල් සමග හොර රහසේ හිතවත්කම් පැවැත්වුවද යළිත් එජාපයට එක්වීමට කටයුතු කළේ නැත. ඊට හොඳම උදාහරණය වන්නේ 2022 අරගලයෙන් පසු රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහායෙන් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ලෙස පත්වීමෙන් පසු විවිධ වරදාන වරප්‍රසාද සජබ මන්ත්‍රීවරුන්ට ලබාදී සජබය දෙකඩ කිරීමට දැවැන්ත උත්සාහයක් දැරීමය. ඇතැම් තෝරාගත් සජබ මන්ත්‍රීවරුන්ට පමණක් විමධ්‍යගත අරමුදලෙන් රුපියල් කෝටි ගණන් ලබාදීමට රනිල් එහිදී කටයුතු කළේය. ඇතැම් සජබ මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර පමණක් නොව, මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර පවා ලබාදීමට රනිල් පියවර ගත්තේය. ඇතැම් සජබ මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු ලබාදී ආණ්ඩුවට එක්කර ගැනීමට රනිල් කටයුතු කළේය. මෙහිදී සජබ මන්ත්‍රීවරුන් තුන් හතර දෙනකු ඇමැති තනතුරු ගෙන රනිල්ගේ ආණ්ඩුවට එක්වුවද රනිල්ගෙන් වරප්‍රසාද ගත් ඇතැම් සජබ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් නොවී දිගටම සජබයේ රැඳී සිටීමට පියවර ගත්හ. ඊට හේතු වූයේ රනිල් ජනාධිපති වුවද, රනිල්ට ඡන්ද පදනමක් නොමැති වීම නිසාත්, ජන පදනම ඇත්තේ සජිත්ට සහ සජබයට වීම නිසාත්ය. එය හොඳහැටි තහවුරු වූයේ ඇමැතිකම් ගෙන රනිල්ගේ ආණ්ඩුවට එක්වූ සියලු දෙනාටම ඊළඟ මහ මැතිවරණයෙන් ගෙදර යෑමට සිදුව තිබීම නිසාය. රනිල්ගෙන් වරප්‍රසාද ගත්තත් ආණ්ඩුවට එක් නොවූ සජබ මන්ත්‍රීවරුන්ටද යළිත් වතාවක් සිය මන්ත්‍රී ධුරය ආරක්ෂා කරගැනීමට හැකි වූයේ සජබයට සහ සජිත්ට තිබූ මෙම ඡන්ද පදනමට පින් සිදුවන්නටය.

ඔස්තාර්ලාගේ ‘බ්ලූ ප්‍රින්ට්‘

කෙසේ වෙතත් මේ මැතිවරණ පරාජයන්වලදී සජබය ඇතුළේ පවා බොහෝ දෙනෙක් එම පරාජයේ වගකීම තැබූයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිටය. සජිත්ද එම පරාජයේ වගකීම අවංකව භාරගත්තද, කිසිදු අවස්ථාවක එම චෝදනාව අන් අය පිටේ තැබීමට කටයුතු කළේ නැත. නමුත් ඇත්ත කතාව එය නොවේ. ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද රටේ ජනතාව වැඩි බරක් තැබුවේ ඒ ඒ දේශපාලන නායකයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මතය. නැතහොත් බංකොලොත් වූ රට නැවත ගොඩගත හැකි පක්ෂය වෙතය. එහිදී සජබයේ ආර්ථික ප්‍රතිපත්තිය රටට ගෙන යෑම සඳහා සජිත් භාරදුන්නේ සජබයේ සිටි ආර්ථික ඔස්තාර්ලා යැයි සැලකෙන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් වික්‍රමරත්න වැන්නවුන්ටය. ඒ අනුව හර්ෂගේත්, කබීර්ගේත්, ඉරාන්ගේත් වගකීම වී තිබුණේ පක්ෂයට සහ රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කොට එය රටේම ජනතාවට පැහැදිලි කර දීමය.

ඒ අනුව මේ තිදෙනා එක්ව ‘බ්ලූ ප්‍රින්ට්’ යනුවෙන් ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළෝය. කෝටි ගණන් වියදම් කරමින් කොළඹ සුපිරි හෝටල්වල එම ‘බ්ලූ ප්‍රින්ට්‘ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීමට කටයුතු කළහ. වරින් වර ඊට සංශෝධන එකතු කරමින් ‘බ්ලූ ප්‍රින්ට් 1, 2, 3‘ යනුවෙන් අතරමැදි වාර්තාද නිකුත් කළෝය. ටයි කෝට් දමාගෙන කොළඹ 07 ව්‍යාපාරිකයන් සහ ඉහළ පන්තිය සමග එය රටට එළිදැක්වීමටද පියවර ගත්හ.

නමුත් ප්‍රශ්නය වූයේ හර්ෂලාගේ මෙම බ්ලූ ප්‍රින්ට් ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔවුනට යම් තේරුමක් තිබුණද ගමේ සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සජබයේ මෙම ආර්ථික ප්‍රතිපත්තිය ගැන මෙලෝ හසරක් නොතේරීමය. ගමේ සිටින අහිංසක සජබ සාමාජිකයන්ට පමණක් නොව, සජබයේ සිටින මන්ත්‍රීවරුන්ට පවා හර්ෂලාගේ මෙම බ්ලූ ප්‍රින්ට් ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ මේ ලෝකේ දැනුමක් තිබුණේ නැත. ඒ නිසා සජබ මන්ත්‍රීවරුන්ට ගමට ගොස් සජබයේ ආර්ථික ප්‍රතිපත්තිය මෙය යැයි කියා හරියට ජනතාවට තේරුම් කරදීමේ හැකියාවක් නොතිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සජබය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමය. රනිල් ඒ දක්වා තමන් සිදුකළ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සහ 2048 දී රට සංවර්ධනය කළ හැකි බවට කළ ප්‍රකාශයන් නිසා ලක්ෂ 22කට මදක් වැඩි පිරිසක් රනිල්ට ඡන්දය ලබාදීමට පියවර ගෙන තිබිණි. අනුර කුමාර දිසානායක මහතා ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් හෝ ප්‍රකාශයක් නොමැතිව වේදිකාවේ ජනතාවට තේරෙන භාෂාවෙන් රටේ ආර්ථිකය ගොඩගන්නා බවට කළ ප්‍රකාශ නිසා ලක්ෂ 56ක පිරිසක් අනුරට ඡන්දය දීමට පියවර ගත්හ. නමුත් සජබ ආර්ථික ඔස්තාර්ලාගේ ‘බ්ලූ ප්‍රින්ට්‘ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ජනතාවට හරිහැටි තොරතුරු ලබාදීමට නොහැකි වීම නිසා අවසානයේදී ඉකුත් ජනාධිපතිවරණයේදී ලක්ෂ 47ක ඡන්ද සීමාවේ නතර වීමට සජබයට සිදුවිය. නමුත් එහිදීද මේ ආර්ථික ඔස්තාර්ලා පරාජයේ වගකීම භාර නොගෙන එය සජිත්ගේ පිටේ තැබීමට පියවර ගත්හ.

සජිත් පන්නන්න සාකච්ඡා

එම පිරිස එතැනින් නැවතුණේ නැත. ජනාධිපතිවරණය පරාජය වීමත් සමග කොළඹ වෝඩ් පෙදෙසේ හෝටලයක රැස්ව ඡන්ද ප්‍රතිඵල අසමින් සිටි හර්ෂ, කාවින්ද ජයවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කිහිප දෙනකු ඡන්දයට පසු දින උදෑසනම පක්ෂ කාර්යාලයට පැමිණ දැනුම් දී තිබුණේ සජබ නායකත්වයෙන් සජිත් ඉවත් වී එය වහාම හර්ෂට ලබාදිය යුතු යැයි කියාය. අප නම් ගම් නොමැතිව එම සිදුවීම ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමටද එදා පියවර ගත්තෙමු. හර්ෂද ඒ අවස්ථාවේ දත කට මැදගෙන සිටියේ සජිත් පක්ෂ නායකත්වයෙන් එළවා දමා සජබ නායකත්වය තමන්ගේ අතට ගැනීමේ අරමුණෙන්ය. නමුත් එම උත්සාහය අසාර්ථක වූයේ රනිල්ට හිතවත් දෙතුන් දෙනකු හැරෙන්නට අනෙකුත් කිසිදු සජබ මන්ත්‍රීවරයකු හර්ෂගේ සහායට නොපැමිණීම නිසාය.

ඉන් අනතුරුවද හර්ෂ සජබය සහ සජිත් අපහසුතාවට පත්වන ආකාරයේ මෙහෙයුම් රැසක්ම සජබය ඇතුළේ හීන් නූලෙන් දියත් කිරීමට පියවර ගත්තේය. රනිල්ගේ ආණ්ඩු සමයේදී පමණක් නොව, අනුරගේ පාලන සමයේදී පවා ආණ්ඩුවට මුහුණදීමට අසීරු ප්‍රශ්න උද්ගත වන විටදී සජබයේ ආර්ථික ඔස්තාර්වරයා වශයෙන් හර්ෂ කළේ එම ගැටලු පිළිබඳ රටේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම නොව, ඒ ඒ ආණ්ඩුවලට වාසිසහගත වන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් විපක්ෂය හිස එසවීමේ තත්ත්වය අඩාළ කිරීමය. උදාහරණයක් ලෙස රනිල්ගේ ආණ්ඩු කාලයේදී බරපතළ ආර්ථික ගැටලු මතුවද්දී සහ රනිල්ගේ ආණ්ඩුව වැරැදි ආර්ථික තීන්දු තීරණ ගනිද්දී හර්ෂ කළේ ඒවා ගැන රට දැනුවත් කොට සජබය ශක්තිමත් කිරීම නොව, මුදල් කාරකසභාවේ සභාපතිවරයා වශයෙන් රනිල් ගන්නා තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් කටයුතු කිරීමය. හර්ෂ එසේ කළද සජිත්, හර්ෂට පක්ෂය ඇතුළේ ලබාදී තිබූ තැන සහ හර්ෂගේ තනතුරු කිසිදු විටෙකින් ඉවත් කිරීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමකි. වරක් රනිල්ගේ ආණ්ඩුව හර්ෂව මුදල් කාරකසභාවේ සභාපති ධුරයෙන් ඉවත් කොට පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වූ රෝහිත අබේගුණවර්ධන ඊට පත්කිරීමට ගත් උත්සාහයේදී හර්ෂ වෙනුවෙන් කෙළින්ම පෙනී සිටීයෛ් වෙන කවුරුවත් නොව සජිත්ය. එහිදී සජිත් හර්ෂ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් ඔහුට යළිත් මුදල් කාරකසභාවේ සභාපති ධුරය ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම ලබාදුන්නේය.

මීට අමතරව අනුරගේ ආණ්ඩු සමයේදීද වරින් වර ආර්ථික ප්‍රශ්න මතුවෙද්දී හර්ෂ කළේ ඒවා පිළිබඳ රට සහ ජනතාව දැනුවත් කිරීම නොව, අනුරගේ ආණ්ඩුව ආරක්ෂා කරමින් ආණ්ඩුවට පක්ෂග්‍රාහී ලෙස අදහස් ප්‍රකාශ කිරීමය. උදාහරණයක් ලෙස එක් අවස්ථාවකදී ප්‍රබල ප්‍රශ්නයකට අනුරගේ ආණ්ඩුව මුහුණ දෙමින් සිටියදී සහ විපක්ෂය එම මාතෘකාව අතට ගෙන ආණ්ඩුවට බරපතළ දේශපාලන ප්‍රහාරයක් දියත් කරද්දී හර්ෂ පාර්ලිමේන්තුවේදී මුලින්ම නැගිට කියා සිටියේ අනුරගේ නායකත්වය යටතේ භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇතැයි කියාය. හර්ෂගේ මෙම ප්‍රකාශයත් සමග එදින විවාදයේදී ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි සජබ මන්ත්‍රීවරුන් පමණක් නොව මුළු විපක්ෂයම හතර ගාතේ දා ඇදවැටුණු ආකාරයක් දැකගත හැකි විය. එතැන් සිට ආණ්ඩුවට පහර දිය හැකි මාතෘකා රැසක් පැමිණියද ඒ සෑම අවස්ථාවකදීම හර්ෂ කළේ විපක්ෂයේ සිට ආණ්ඩුවට අනියමින් සහාය හිමිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමය. ඒ හරහා විපක්ෂයට එකමුතු වී ශක්තිමත්ව ආණ්ඩුවට අභියෝග කිරීමේ අවස්ථා කුමන්ත්‍රණකාරී ලෙස කඩාබිඳ දැමීමය. එය ආණ්ඩු සමග පවතින රහස් ගනුදෙනු නිසාදැයි කියා කියන්න අප දන්නේ නැත.

චරිත් එළියට ඇද්දා

කෙසේ වෙතත් හර්ෂගේ මේ දෙපිටකාට්ටු දේශපාලනය පිළිබඳ අවස්ථා ගණනාවකදීම පක්ෂයේ මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් සජිත්ට පැමිණිලි කළද සජිත් ඒ කිසිදු අවස්ථාවකදී හර්ෂට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ගියේ නැත. ඒ, හර්ෂ සම්බන්ධයෙන් තවදුරටත් සජිත්ගේ විශ්වාසයක් තිබීම නිසාය. ඒ විශ්වාසය කොපමණද කියනවා නම් පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන්ගේ ආණ්ඩුවේ මුදල් ඇමැති හර්ෂ ද සිල්වා මහතා යැයි කියාය. එමෙන්ම සජබය ආරම්භ කළ දිනයේ සිටම සජිත් පක්ෂයේ හතරවැනි ඉහළම තනතුර වූ භාණ්ඩාගාරික ධුරය ලබාදුන්නේද හර්ෂටය. පක්ෂයේ භාණ්ඩාගාරික වූවා කියා හර්ෂ පසුගිය වසර 6 ඇතුළතදී සජබයට තඹ සතයක මුදලක් එකතු කොට දී නැත. දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර 5ක් සිදුකළද, ඒවාට රුපියල් බිලියන ගණනින් වියදම් කළද, සත 5ක මුදලක් හර්ෂ පක්ෂය වෙනුවෙන් භාණ්ඩාගාරික ලෙස අරමුදල් සපයා දී නැත. එමෙන්ම සජබය විසින් සිදුකරනු ලබන උද්ඝෝෂණවලට, විරෝධතා ව්‍යාපාරවලට, පාගමන්වලට, සමුළුවලට, මැයි දින රැලිවලට භාණ්ඩාගාරික වශයෙන් හර්ෂ කිසිදු දායකත්වයක් ලබාදී නැත.

වරක් හර්ෂගේ මෙම ක්‍රියාකලාපය ඉවසාගත නොහැකිව, හර්ෂ විසින් පාර්ලිමේන්තුවේදී අනුරගේ ආණ්ඩුවට හොඳ කියමින් භාණ්ඩාගාරය පිරී ඉතිරිලා යනවා යැයි කළ ප්‍රකාශයෙන් අනතුරුව සජබයේ සිටින තරුණ, රැඩිකල් ආසන සංවිධායකවරයකු වන චරිත් අබේසිංහ යූටියුබ් සාකච්ඡාවකදී හර්ෂට ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. එහිදී චරිත් කියා සිටියේ මෙය බරපතළ ප්‍රශ්නයක් බවත්, විපක්ෂය ඔළුව උස්සාගෙන එද්දී එය කඩාකප්පල් කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ හර්ෂ කටයුතු කරන බවත්, ඒ හරහා පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව පාක්ෂිකයන්ද අපහසුතාවට පත්ව සිටින බවත්ය. එසේ චරිත් නොබියව ඇත්ත කතා කළද ඒ අවස්ථාවේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා කීප දෙනකු චරිත්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් පක්ෂය ඇතුළේ දියත් කිරීමට පියවර ගත්තේ හර්ෂව ආරක්ෂා කරමින්ය. ඇතැම් ප්‍රබලයන් චරිත්ගේ මේ කතාව අවඥාසහගතව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී හෙළාදැකීමට පියවර ගත්තේය. නමුත් ඒ අවස්ථාවේදී චරිත් කියා සිටියේ පක්ෂයේ හදගැස්ම සහ බිම් මට්ටමේ පාක්ෂිකයන්ට දැනෙන දේය. නමුත් පුදුමයට කාරණය වන්නේ චරිත් කී මේ ඇත්ත කතාවට එරෙහිව සජිත්ට කේළාම් කියූ ඇතැම් සජබ ජ්‍යෙෂ්ඨයන් හර්ෂ ගෙන ගිය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ හමුවේ නිහඬව සිටීමය.

වටකරගෙන දීලා

කෙසේවෙතත් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ හර්ෂ සම්බන්ධයෙන් අප මෙම අනාවරණය කිරීමට කටයුතු කළේ පසුගිය සතියේ නැවත වතාවක් යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් හර්ෂ විසින් සජිත් ඉලක්ක කරගෙන අවඥා සහගත ආකාරයට අදහස් ප්‍රකාශ කොට තිබීම නිසාය. එහිදී සජිත්ට සහ සජබයට අවාසි වන ආකාරයටත්, රනිල්ට සහ නාමල්ට වාසිසහගත ආකාරයටත් හර්ෂ අදහස් දක්වා තිබූ ආකාරය පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ බව හොඳමට තහවුරු වූයේ පසුගිය සතියේ පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හර්ෂ ලබාදී තිබූ මෙම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබීම නිසාය. නමුත් එවැනි විවේචනයක් හර්ෂට එල්ල වනු ඇතැයි කියා ඒ මොහොත වනතෙක්ම සජිත් පවා දැන සිටියේ නැත.

එහිදී පළමුවෙන්ම අදහස් දැක්වීමට නැගී සිටියේ කිංස් නෙල්සන්ය. එහිදී කිංස් හර්ෂගේ නම සඳහන් කරමින්ම කියා සිටියේ හර්ෂ විසින් පක්ෂ නායක සජිත්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කීපයක් කර ඇති බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි සම්පූර්ණයෙන්ම වැරැදි ක්‍රියාවක් බවත්ය. සජිත්ගේ නායකත්වය පිළිගත නොහැකි කිසිවකු හෝ සිටී නම් ඔහුට හෝ ඇයට පක්ෂයෙන් ඉවත්ව යා හැකි බවද එහිදී කිංස් දැඩිව ප්‍රකාශ කර සිටියේය.

‘අපේ පක්ෂය ඇතුළේ පක්ෂ නායකතුමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන අය ඉන්නවා. දැන් හර්ෂ මන්ත්‍රීතුමා සම්මුඛ සාකච්ඡාවක් ලබාදීලා නායකතුමාට අපහාස වන විදියේ අදහස් ප්‍රකාශ කිරීමක් කරලා තියෙනවා. මේක මේ විදියට කරන්න බෑ. සජිත් ප්‍රේමදාස තමයි මේ පක්ෂයේ නායකයා. එතුමාගේ නායකත්වය පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් වහාම පක්ෂයෙන් යන්න. අනෙක සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අපේ පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා. පක්ෂයේම ජ්‍යෙෂ්ඨයෝ තැන් තැන්වල මේ විදියේ ප්‍රකාශ කරද්දී අපි කොහොමද ගම්වලට ගිහිල්ලා දේශපාලනය කරන්නේ? ඒ නිසා මොන තරාතිරමක හරි කෙනෙක් වුණත් පක්ෂ නායකත්වයට එරෙහිව කතා කරනවා නම්, පක්ෂයට එරෙහිව වැඩ කරනවා නම් ඒ අය සම්බන්ධයෙන් ඔබතුමා දැඩි තීන්දුවක් ගන්න ඕනේ. මේ විදියට අපිට ඉස්සරහට යන්න බෑ….’ යනුවෙන් කියමින් කිංස් සජිත්ගේ අවධානය ඊට යොමුකරද්දී සජිත්ද කෙළින්ම කියා සිටියේ තමන්ටද මෙම වීඩියෝව දැකගැනීමට හැකි වූ බවකි.

‘මමත් මේ වීඩියෝ එක දැක්කා. ඒ නිසා මමත් කියන්නේ මගේ නායකත්වය පිළිගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා නායකත්වය පිළිගන්න පුළුවන් කෙනෙක් ගාවට යන්න. එහෙම නැතුව මේක ඇතුළේ ඉඳගෙන පක්ෂය අපහසුතාවට පත්වෙන විදියේ වැඩ කරන්න එපා…’ යැයි කියාය.

කිංස් සහ සජිත් මේ ප්‍රකාශයන් සිදුකරද්දී හර්ෂද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ අසුන් ගෙන සිටියේය. එහිදී බොහෝ දෙනා හර්ෂ දෙස බලද්දී කිසිවක් නෑසුණු පරිද්දෙන් සිය ජංගම දුරකතනය දෙස බලාගෙන හර්ෂ යමක් කරමින් සිටින බවක් ඔවුන්ට දැකගන්නට ලැබිණි. නමුත් තමන්ට එල්ලවූ එම චෝදනාවට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වනවා වෙනුවට හර්ෂ කළේ ඒ මොහොතේම කිංස් නෙල්සන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යැවීමය. එම කෙටි පණිවුඩයේ සඳහන්ව තිබුණේ, ‘ඇයි මෙච්චර කේන්තියෙන්? මම කරපු වැරැද්ද මොකක්ද?…’ කියාය.

සුජීවත් බාල්දියක් පෙරළයි

ඉන් අනතුරුව මාතෘකාව තරමක් වෙනස් කරමින් කණ්ඩායම් රැස්වීම තරමක් උණුසුම් කිරීමට කටයුතු කළේ මන්ත්‍රී සුජීව සේනසිංහය. එහිදී සුජීව ව්‍යවස්ථාදායක සභාවේදී සජබය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී සජබය වෙනුවෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සජිත් සහ අජිත් පී. පෙරේරා යන දෙදෙනාම රැස්වීමේ සිටියදී සුජීව මෙම ප්‍රහාරය එල්ල කිරීම විශේෂ සිදුවීමක් විය. එහිදී සුජීවගේ චෝදනාව වී තිබුණේ විගණකාධිපති ධුරය සඳහා සිවුවැනි වතාවට අනුර නම් කර එවූ නියෝජ්‍ය විගණකාධිපතිවරියක වූ ජයරත්න මහත්මියගේ නම සම්මත කිරීමට සජබය අත එසවීම වැරැදි පූර්වාදර්ශයක් යැයි කියාය.

‘ව්‍යවස්ථාදායක සභාව විගණකාධිපති ධුරයට ජයරත්න මහත්මිය පත්කිරීමට ගත්ත තීන්දුව කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මොකද මීට කලින් අනුර මේ නමම ව්‍යවස්ථාදායක සභාවට එව්වහම ඒ වෙලාවේ හිටපු සිවිල් සංවිධාන නියෝජිතයන් තුන්දෙනත්, සජබයත් ඒ නම ප්‍රතික්ෂේප කළා. එහෙම කළේ එතුමිය ඒ තනතුරට සුදුසු නෑ කියලයි. ඊට වඩා අත්දැකීම් තියෙන ජ්‍යෙෂ්ඨයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉන්න නිසා කියලයි. ඉතින් මුලින් ප්‍රතික්ෂේප කරපු නමක් අනුර ආයෙමත් ව්‍යවස්ථාදායක සභාවට එව්වාම මේ පාර ඔබතුමාලා ඒ නම සම්මත කළේ කොහොමද? ඒක වැරැදි පූර්වාදර්ශයක්. වැරැදි තීන්දුවක්…’ යනුවෙන් සුජීව කියද්දී සුජීවගේ අදහස අනුමත කරමින් මුජිබර්ද එහිදී අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.

‘කවුද මේ තීන්දු තීරණ ගන්නේ? කොහොමද මේ තීන්දු තීරණ ගන්නේ? කවුද මේවට වගකියන්නේ? මෙහෙම දෙයක් වෙනවා කියලා අපේ මන්ත්‍රී කණ්ඩායමේ කවුරුත් දන්නේ නෑ. මේ විදියටම අග්‍රවිනිශ්චයකාරතුමා පත්කිරීමේදීත් ප්‍රශ්නයක් ආවා. පොලිස්පතිතුමා පත්කිරීමේදීත් ප්‍රශ්නයක් ආවා. මේවා ගැන තීන්දු තීරණ ගනිද්දී මීට වඩා විනිවිදභාවයක් තියෙන්න ඕනේ. එක ස්ථාවරයක් තියෙන්න ඕනේ.‘ යනුවෙන් මුජිබර් කියද්දී මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ චෝදනාවට පිළිතුරු ලබාදීමට සජිත් කටයුතු කළේය. සජිත් එහිදී කියා සිටියේ, ‘අපි ඒ යෝජනාවට පක්ෂ වුණේ මේක ඇතුළේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ නිසයි.’ යැයි කියාය. සජිත් එසේ බැලන්ස් කිරීමක් ගැන කියනවාත් සමගම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේ සුජීවය.

‘බැලන්ස් වෙන්නේ කොහොමද? මොනවද බැලන්ස් කරන්නේ? වැරැදි නම් ඒක වැරැදියි. ආයේ බැලන්ස් කරන්න දෙයක් නෑ. එක එක්කෙනාගේ වුවමනාවන්වලට අපිට වැඩ කරන්න බෑ. මුලින් එක තීන්දුවක් ගත්තා නම් ඒ ස්ථාවරයේම අපි දිගටම ඉන්න ඕනේ. අපිටත් අල්ලස් කොමිසමේ පැමිණිලි තියෙනවා. අපේ පැමිණිලි විමර්ශනය වෙද්දී විගණකාධිපති වාර්තාව දවස් දෙකෙන් එනවා. හැබැයි වෙන අයගේ පැමිණිලි විභාග කරද්දී විගණකාධිපති වාර්තා මාස ගණන් පරක්කු කරනවා. කොහොමද එහෙම වෙන්නේ? ඒ නිසා මම කියන්නේ මේ උසස් තනතුරු ගැන තීන්දු තීරණ ගනිද්දී පක්ෂය ඇතුළේ එක ස්ථාවරයක් තියෙන්න ඕනේ කියලයි…’ යනුවෙන් සුජීව කියද්දී නැවත වතාවක් ඊට පිළිතුරු දුන් සජිත් කියා සිටියේ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළේ තීරණාත්මක බලය ඇත්තේ ආණ්ඩුවට හෝ සජබයට නොව, සිවිල් සමාජය නියෝජනය කරමින් පත්ව සිටින නියෝජිතයන් තිදෙනාට යැයි කියාය. ඊටද සුජීව පිළිතුරු දීමට පැකිලුණේ නැත. එහිදී සුජීව කියා සිටියේ යම් තීන්දුවක් ගැනීමේදී සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා එක් ස්ථාවරයකට ගැනීම සජබ නියෝජිතයන්ගේ වගකීමක් යැයි කියාය.

‘හරි, ව්‍යවස්ථාදායක සභාවේ තීරණාත්මක බලය තියෙන්නේ ඒ තුන්දෙනාට නම් ඒ තුන්දෙනා ‘කන්වින්ස්’ කරන්න ඔබතුමාලා දැනගන්න ඕනේ. එතකොට තමයි ඒ අයටත් හරි තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුව එවන එවන එකට අත් උස්සන්න ගියොත් ඒ තුන්දෙනාටත් පාරේ බැහැලා යන්න බැරි වෙයි….’ යනුවෙන් සුජීව කියද්දී අජිත් පී. පෙරේරා අදහස් දැක්වීම ආරම්භ කළේය. ඒ අනුව තරමක් කේන්තියෙන් යුතුව උස් හඬින් අජිත් පී. පෙරේරා ඊට ප්‍රතිචාර දක්වද්දී සුජීවටද කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

‘අජිත් මම මේ ඔයාට කරුණාකරලා කියන්නේ ඔය ‘ටෝන්‘ එකෙන් නම් කතා කරගෙන එන්න ලෑස්ති වෙන්න එපා. ඔයා මීට කලිනුත් මේ විදියට සද්දේ දාගෙන ආවා. හැබැයි අපිත් මෙතැන අතපල්ලෙන් වැටිලා ඉන්න අය නෙවෙයි. පක්ෂයක් වුණාම වැඩ කරන පිළිවෙළක් තියෙනවා. සාමූහිකව තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ නිසා ඔය විදියට කතා කරන්න ලෑස්ති වෙන්න එපා…’ යනුවෙන් කියමින් සුජීවද අජිත් පී. පෙරේරාට අභියෝග කරද්දී වහාම දෙදෙනාගේ වාදය මැද්දට ආ සජිත්, දෙදෙනා පසෙකට කොට සිද්ධිය සමතයකට පත්කිරීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ මින් ඉදිරියට ව්‍යවස්ථාදායක සභාවේ සිදුකරන සංවාද සහ සිදුවීම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද දැනුම් දෙනවා යැයි කියාය. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවන සිදුවීම් පිළිබඳ එළියේ කතා නොකරන නිසා එම කරුණු එළියට ගියහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද කියමින් මෙහිදී සජිත් අදහස් දැක්වීමත් සමග සුජීව පමණක් නොව මුජිබර්ද එය පිළිගැනීමට සූදානම් බවක් දැකගන්නට ලැබුණේ නැත.

‘එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඕනෙම පක්ෂයක කණ්ඩායම් රැස්වීමේදී කතාකරන දේවල් එළියට යනවා. ඒවා නවත්වන්න අපට බෑ. හැබැයි එහෙම වුණා කියලා ව්‍යවස්ථාදායක සභාවේ වෙන්නේ මොනවද, කරන්නේ මොනවද කියලා මෙතන ඉන්න මන්ත්‍රිවරුත් දැනගන්න ඕනේ…’ යනුවෙන් සුජීවත්, මුජිබරුත් කියද්දී, සජිත් ද ඊට එකඟතාව පළකරමින් ‘එහෙනම් අපි ඉස්සරහට ඒ ගැන මෙතැනදි කතා කරමු’ යැයි කියමින් එම මාතෘකාව අවසන් කිරීමට පියවර ගත්තේය.

ඉන් අනතුරුව මේ දිනවල රට ඇතුළේ තවත් ජනප්‍රිය මාතෘකාවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සුජීව කටයුතු කළේය. ඒ, ‘වෙරිටේ රිසර්ච්‘ නම් ආයතනයක් මගින් පුද්ගලයන් 1080ක් යොදාගෙන කර තිබූ මත විමසුමක් පිළිබඳවය. එම මත විමසුම හරහා වෙරිටේ රිසර්ච් සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයාට රට ඇතුළේ තවමත් 65%ක ජනප්‍රියත්වයක් පවතිනවා යැයි කියාය. එම ආයතනය කළ මෙම අනාවරණය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද අතට ගෙන පාර්ලිමේන්තුවේදී අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළ බවක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් මෙහිදී සුජීව වෙරිටේ රිසර්ච් ආයතනයට සහ එහි ප්‍රධානියා ලෙස සැලකෙන ආචාර්ය නිශාන් ද මෙල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

‘මේ වෙරිටේ රිසර්ච් එක එක කාලෙට බලයේ ඉන්න ආණ්ඩුවට කඩේ යනවා. අපිට මතකයි මෙයා රනිල් ඉන්න කාලේ රනිල්ට කඩේ ගියා. ගෝඨා ඉන්න කාලේ ගෝඨාට කඩේ ගියා. ඒ කාලේ මෙයා අපිටත් ලෙක්චර්ස් දෙන්න ආවා. මම නම් කියන්නේ මේ එන්.ජී.ඕ.කාරයන්ව මේ පක්ෂය පැත්ත පළාතකට වද්දගන්න එපා කියලයි.’ යනුවෙන් සුජීව කියද්දී අනෙකුත් මන්ත්‍රීවරුන්ද හිස සලමින් එය අනුමත කළ ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසාන වීමෙන් පසු හර්ෂ තමන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ කිංස්ට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. එහිදී හර්ෂ තමන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළේ මන්දැයි කියා කිංස්ගෙන් විමසූ විට කිංස් ඊටද දී තිබුණේ තරමක් දැඩි පිළිතුරකි.

‘ඔයා ඔය කරන වැඩේ සම්පූර්ණයෙන් වැරැදියි. සජිත් ඔයාව කොච්චර විශ්වාස කළාද කියනවා නම් පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හදන්න භාරදීලා තිබ්බේ ඔයාට. ඔයා තමයි මුදල් ඇමැති කියලා ප්‍රසිද්ධියේම ජනාධිපතිවරණ වේදිකාවල කිව්වා. ඒ වගේම පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර දුන්නා. සජිත් ඔයාට මොනවද නොකළේ? අන්තිමට ඔයා සජිත්ට කොහොමද සැලකුවේ? එහෙම කරන්න එපා. කළගුණ සලකන්න පුරුදු වෙන්න…’ යනුවෙන් කියමින් කිංස් නැවතත් හර්ෂට රිදෙන්නම දුන් ආකාරයක් දැකගත හැකි විය.

රවීට ආණ්ඩුවෙන් තල්ලුවක්

පසුගිය සතියේ සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයකු වූ රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඒ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය යන මැතිවරණ 4ටම අදාළ මැතිවරණ ක්‍රමයන් පිළිබඳ නැවත සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කිරීමය. රවී ඉදිරිපත් කර තිබූ එම යෝජනාවට සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු පැමිණි රෝහිත අබේගුණවර්ධන, චාමර සම්පත් දසනායක, ෆයිසර් මුස්තාපාගේ නම්ද ඇතුළත් කොට තිබූ අතර, යෝජනාව ස්ථිර කිරීම සඳහා ෆයිසර් මුස්තාපාට භාරදී ඇති බව කියැවිණි.

මෙම පෞද්ගලික යෝජනාව දුටු සැණින් කලබලයට පත්වූයේ තමිල් අරසුකච්චි පක්ෂයය. ඊට හේතු වූයේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට එල්ල වූ බලපෑම මුල්කරගෙන ආණ්ඩුව විසින් එම මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයකටද යන්න සොයාබැලීම සඳහා ඒ වනවිටත් පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කිරීමට කටයුතු කොට තිබීම නිසාය. එහි වාර්තාව මාස 03ක් ඇතුළත ලබාදිය යුතු බවටද නියම කොට තිබිණ. විපක්ෂය ඊට සිය සාමාජිකයන් සිවුදෙනා නම්කර තිබූ අතර, පසුගිය සතියේ ආණ්ඩුවද එම කාරකසභාවේ සාමාජිකයන් අටදෙනා පත්කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් රවීගේ යෝජනාවට අනුව මැතිවරණ හතරම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කිරීමට යෝජනා කර ඇති කාරකසභාවේ වාර්තාව ලබාදීමේ කාලය වසරක් ලෙස සඳහන්ව තිබිණි. ඒ අනුව, රවීගේ යෝජනාවේ පළාත් සභා මැතිවරණයද ඇතුළත් කොට තිබීම හරහා ආණ්ඩුව වංගුවක් ගසා පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දැමීමේ මාර්ගයක් සකසා ගනු ඇති බවට තමිල් අරසු කච්චි පක්ෂයට සැකයක් මතුව තිබිණ. ඒ අනුව ඔවුන් වහාම කළේ රවී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගැනීමය.

‘මන්ත්‍රීතුමා.. ඔබතුමා මේ ගේන පෞද්ගලික යෝජනාවෙන් මැතිවරණ ක්‍රම හතර ගැනම සමාලෝචනය කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒකේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා තියෙන්නේ අවුරුද්දකින්. එහෙම වුණොත් දැනට පළාත් සභා මැතිවරණය ගැන හොයන තේරීම් කාරකසභාවත් එක්ක ගැටීමක් එන්න පුළුවන්. මොකද ඒකේ තියෙන්නේ මාස 3න් වාර්තාව දෙන්න කියලා. ආණ්ඩුව මේකේ වාසිය අරගෙන තව අවුරුද්දක් පළාත් සභා මැතිවරණය ඇදගෙන යන්න උත්සාහ කරන්න පුළුවන්…’ යනුවෙන් තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් රවීට පෙන්වා දුන්නද, රවී සිය ස්ථාවරය වෙනස් කිරීමට සූදානම් වූයේ නැත. රවී කියා සිටියේ තමන් ඉදිරිපත් කළ ආකාරයටම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යැයි කියාය.

රාසමාණික්කම් විරුද්ධයි

මේ ආකාරයට රවී සිය ස්ථාවරයේ දිගටම රැඳී සිටීම හේතුවෙන් තමිල් අරසු කච්චි පක්ෂයේ ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු මන්ත්‍රීවරුන් කීප දෙනකු ඊළඟට ගොස් හමුවූයේ යෝජනාවේ සඳහන් කොට තිබූ සිලින්ඩරයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ය. ඒ අනුව පළමුව ඔවුන් හමුවූයේ රෝහිත අබේගුණවර්ධනය. රෝහිතට මතුව ඇති තත්ත්වය පෙන්වා දීමෙන් පසු ඔහුද තමිල් අරසු කච්චි මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය පිළිගෙන තමන් ඒ බව රවීට දැනුම් දෙන්නම් යැයි කියා සිටියේය. ඉන් අනතුරුව තමිල් අරසු කච්චි පක්ෂ මන්ත්‍රීවරුන් ෆයිසර් මුස්තාෆා, චාමර සම්පත් සහ අනුරාධ ජයරත්නවද හමුවීමට ගියේය. එහිදී ෆයිසර් සහ චාමර රවී විසින් මෙවැනි ආකාරයේ පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බවක් හෝ දැන නොසිටීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් කරුණු පැහැදිලි කිරීමෙන් පසු ෆයිසර්ද රවීගේ යෝජනාව වෙනස් විය යුතු බවත්, එහි පළාත් සභා මැතිවරණය යන කොටස ඉවත් විය යුතු බවත්, එසේ නොමැතිව එම යෝජනාව ඉදිරිපත් වුවහොත් තමන් විසින් ස්ථිර නොකරන බවත් රාසමානික්කම් ඇතුළු කණ්ඩායමට දැනුම් දී සිටියේය.

ඉන් අනතුරුව ශානක්‍යන් රාසමානික්කම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී මේ තත්ත්වය දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී සජිත් පැහැදිලිවම කියා සිටියේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතු බව සජබයේ ස්ථාවරය බවත්, සිලින්ඩරය නියෝජනය කරන රවී කරුණානායක ගෙන එන එම යෝජනාවට සජබය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත්ය. මෙහිදී රාසමානික්කම් රවී සම්බන්ධයෙන් තවත් චෝදනාවක්ද ඉදිරිපත් කළේය.

‘රවී මන්ත්‍රීතුමා දැන් මේ ගේන්න යන්නේ ආණ්ඩුවට වාසිසහගත යෝජනාවක්. එහෙම වුණොත් ආණ්ඩුව රවීගේ යෝජනාවේ එල්ලිලා පළාත් සභා ඡන්දය අවුරුද්දකින් කල් දාන්න උත්සාහ කරාවි. මීට කලිනුත් රවී මේ වගේ ආණ්ඩුවට වාසිසහගත යෝජනා ගෙනල්ලා තියෙනවා. පෙන්ෂන් එක අයින් කරන යෝජනාව ගෙනාවෙත් රවී. ආණ්ඩුව ඒක ටක්ගාලා අරගෙන සම්මත කළා. ජාතීන්ගේ නමින් පක්ෂ තියෙන්න බෑ කියලා යෝජනාවක් ගෙනාවෙත් රවී. ආණ්ඩුව ඒකත් ටක්ගාලා විවාදයට අරන් සමමත කළා. හැබැයි දිට්වා සුළි කුණාටුව ගැනයි, කන්ටේනර් 323 ගැනයි හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරකසභා දාන්න කියලා විපක්ෂය කොච්චර ඉල්ලුවත් ආණ්ඩුව ඒවා දැම්මේ නෑ.’ යනුවෙන් එහිදී රාසමානික්කම් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් රවී ගෙන ආ මෙම යෝජනාව ආණ්ඩුව කෙතරම් ඉක්මනට විවාදයට ගත්තාද කියනවා නම් ස්ථාවර නියෝග අත්හිටුවමින් එය විවාදයට ගැනීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් ඒ ආකාරයට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාවක් විවාදයට ගන්නේ නම් එය රටටම බලපාන ඉතා වැදගත් එකක් විය යුතුය. ආණ්ඩුව රවී ගෙනා මෙම යෝජනාවට දී තිබුණේද එවැනිම ඉහළ තැනක් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් පසුගිය බදාදා දිනයේදී රවී මෙම පෞද්ගලික යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ආණ්ඩුවෙන්ද ඊට ලොකු තල්ලුවක් ලැබුණු ආකාරයක් දැකගත හැකි විය. බිමල් එය පිළිගනිමින් අදහස් පළ කළත් රාසමානික්කම් සහ ෆයිසර් මුස්තාපා ඊට සංශෝධන ඉදිරිපත් වියයුතු බවත්, පළාත් සභා ඡන්දය එම යෝජනාවෙන් ඉවත් කළ යුතු බවත් අවධාරණය කොට සිටියහ. දීර්ඝ විවාදයකින් පසු සිය යෝජනාවෙන් පළාත් සභා කොටස ඉවත් කිරීමට රවී වාචිකව එකඟතාව පළ කිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පළාත් සභා මැතිවරණය එම යෝජනාවෙන් ඉවත් වීමත් සමග මෙතෙක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට නම්කොට නොතිබූ ආණ්ඩුවේ සාමාජිකයන් අට දෙනා වහාම නම්කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමද විශේෂ සිදුවීමක් විය.

කොන්ඩම් කේස්

පසුගිය සතියේ උපත් පාලනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ ෆේස්බුක් පිටුවේ පළකළ සටහනක් හා ඡායාරූපයක් මුල්කොටගෙන සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් පළවී තිබූ ආකාරයක් දැකගත හැකි විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒදණ්ඩක් මගින් යෑමට ගිය ප්‍රසිද්ධ වීඩියෝවේ දර්ශනයක් කාටුන් ආකාරයට නිර්මාණය කරමින් උපත් පාලනය පිළිබඳ මෙම දැනුවත් කිරීම ප්‍රසිද්ධ කර තිබිණ. එහි සඳහන්ව තිබුණේ උපත්පාලන පෙති භාවිතා කිරීමට වඩා කොන්ඩම් භාවිතා කිරීම වඩාත් සෞඛ්‍ය සම්පන්න බවයි. එමගින් අනවශ්‍ය ගැබ් ගැනීම් මෙන්ම ලිංගාශ්‍රිත රෝග ඇතිවීම වැළැකෙන බව අදාළ සටහනෙහි දක්වා තිබිණ.

කෙසේවෙතත් මෙම සටහනට දක්වා ඇති සමාජ මාධ්‍ය ප්‍රතිචාරයන්හි එය දැඩිව විවේචනයට ලක්කර තිබූ ආකාරයක් දැකගත හැකිවිය. මාලිමා පාක්ෂිකයින්ම එහි සඳහන් කර ඇත්තේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ අතීත භාවිතයන්ට සම්පූර්ණ පටහැනි බවකි. තවත් දේශපාලන පක්ෂයක නායකයෙක්ට ව්‍යංගයෙන් හෝ අපහාසාත්මක සටහන් අමාත්‍යංශයක නිල ෆේස්බුක් පිටුවේ පළකිරීම කෙතරම් දුරට සදාචාර සම්පන්නදැයි ඔවුන් ප්‍රශ්න කර තිබිණ. එහි ප්‍රතිපලය වූයේ පැය කිහිපයක් යාමට මත්තෙන් එම ඡායාරූපයෙහි සජිත්ගේ පින්තූරය ඉවත් කොට ඒදණ්ඩ පමණක් තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගැනීමය.

ඔත්තුකාරයෝ තිදෙනෙක්

මේ අතර ආණ්ඩු පක්ෂයට විපක්ෂයේ තොරතුරු ලබාදෙන මන්ත්‍රීවරුන් තිදෙනකු පිළිබඳ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අතර විශාල කතාබහක් පසුගිය සතියේ සිදුව තිබිණි. මේ මන්ත්‍රීවරුන් තිදෙනා සමගි ජන බලවේගයේ නොවන වෙනත් පක්ෂවලින් පාර්ලිමේන්තු පැමිණ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකු වූ අතර, පසුගිය කාලය පුරා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ අතර පැවති සාකච්ඡාවන්ට සම්බන්ධ වී එහි තොරතුරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන්ට ලබාදී ඇති බවක් සජබ මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබී තිබිණි. වරක් ආණ්ඩු පක්ෂයට එරෙහිව සභා ගර්භයට පැමිණ විරෝධතාවක් දියත් කළ යුතු බවට වූ සාකච්ඡාවක තොරතුරු මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ඒ මොහොතේම ආණ්ඩු පක්ෂයට ලබාදී තිබූ බවත්, ඒ අනුව, ආණ්ඩු පක්ෂය කල්තියාම ඊට සූදානමින් පැමිණි ආකාරයත් එහිදී කතාබහට ලක්විය.

ඒ අනුව විපක්ෂයේ මෙම මන්ත්‍රීවරුන් තිදෙනා පිළිබඳ වහාම සජබ නායකත්වය දැනුවත් කිරීමටත්, මින් ඉදිරියට සජබයේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ අනකුත් පක්ෂ සමග පවත්වන තීරණාත්මක සාකච්ඡාවලට ඔවුන් තිදෙනාට ආරාධනා නොකිරීමටත් එහිදී නිල නොවන එකඟතාවකට පැමිණ ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

කපිල පුංචීමාන්නගේ

SendShareShare
Previous Post

ගෑස් නැවක් වරායට ඇවිල්ලලු! හෙට ඉඳන් බෙදනවාලු! Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකා එංගලන්ත මැච් එකත් හේදිලා යයිද? අද 1න් පස්සේ වහිනවලු! Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.