හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැය 4කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටව ගොස් තිබේ.Sri Lanka Latest News
සිදුකෙරෙමින් පවතින විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණේ අද (03) උදෑසන 9.30ට පමණය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය තවත් දෙදෙනෙකු සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය “සිරිලිය” නැමැති ගිණුම හරහා සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට අද දින ඇයව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට කැඳවා තිබුණි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉකුත් ජනවාරි 27 වැනිදා ද ප්‍රකාශ ලබාදීම සඳහා කැඳවා තිබූ නමුත් එදින එහි නොපැමිණි ඇය වෙනත් දිනයක් ඉල්ලා සිටියාය. අද දින ඇයව කැඳවනු ලැබුවේ ඒ අනුවයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන විශාල පිරිසක් එහි රැස්ව සිටියහ.










