2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත මගින් මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ස්වාධින ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව පිහිටවනු ලැබුවත් එම කොමිසම ස්ථාපිත කර මාස 4ක් වැනි කෙටි කාලයක් ඇතුළත එහි ප්‍රථම සභාපතිනිය වන Dr. රමනි ජයසුන්දර මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවත් ඇයගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන්ම කොමිසමට ස්වාධිනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම, ස්වාධීන කාර්යාල පරිශ්‍රයක් හා නිසි කාර්ය මණ්ඩලයක් නොමැති විම හේතු වී ඇති බව මාධ්‍ය වාර්තා කළ බවත් අදාළ අමාත්‍යාංශය විසින් කොමිසමේ ස්වාධිනත්වයට හානි කරන අයුරින් පරිපාලනමය මැදිහත්වීම් සිදු කරන බවටත් කොමිසම අමාත්‍යාංශය යටතට ගැනීමට උත්සාහ කරන බවට බරපතල චෝදනා එල්ල වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයේන ප්‍රශ්න කරමිනි.
කාන්තාවන්ට වෙනස්කම් කිරිමට විරුද්ධව ඇති සෙඩාවෝ ජාත්‍යන්තර ප්‍රඥප්තිය සහස්‍ර සංවර්ධන ඉලක්කවල 5 වැනි ඉලක්කය මෙන්ම පනතේ වගන්ති 4, 5, 6 යටතේ අප රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව රැකවරණය ශක්තිමත් කිරිම ජාතික අරමුදල් ඇති කිරීම ඇතුළු වගකීම් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත මොහොතක පැරිස් ප්‍රතිපත්තිවලට පටහැනිව ගොස් මේ කාන්තා කොමිසම මේ වන විට අභග්‍යසම්පන්න තැනකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එබැවින් කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාවේ කාර්ය, එහි පළමු සභාපති ධුරයට පත් කළ නිලධාරිවරිය කෙටි කාලයක් තුළ එම තනතුරෙන් ඉල්ලා අස්වීමට හේතු මෙන්ම කාන්තාවන් පිළිබද ජාතික කොමිෂන් සභාව සඳහා වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන ඉදිරිපත් කරන ලෙසත් වාර්තාවන ආකාරයට මේ කොමිෂමට මුදල් වෙන්ව නැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කරමින් කියා සිටියේය.
තවද මේ කොමිෂන ස්වාධිනව ක්‍රියාත්මක වීමට වෙනම කාර්ය මණ්ඩලයක් සහ කාර්යාලයක් ලබා දී ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතට මෙය ගැනීමට සැලසුම් කර ඇත් ද කියා දැන ගැනීමට කැමති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙහි විධායක අධ්‍යයක්ෂ ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරියක් පවා පත් කර ඇති බවත් ය.
පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනවිත් මේ කාන්තා කොමිසමට අවශ්‍ය කාර්යාල නිලධාරීන් සහ අරමුදල් ලබා දීමට විපක්ෂයක් ලෙස සහයෝගය දෙන බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙම ස්වාධින කොමිසම අමාත්‍යාංශයේ අංශයක් බවට පත් කරන බවට වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසත් දකුණු අප්‍රිකාව එක්සත් රාජධානිය කැනඩාව වැනි රටවල කාන්තාවන් වෙනුවෙන් සුවිශාල නෛතික ශක්තියක් ලබා දී ඇති මුත් අප රටේ කාන්තා අයිතිය උල්ලංඝනය කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අප රටේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 31-33% ප්‍රමාණයක් නිසා මෙය ඉහළ දැමීම හරහා දළ දේශීය නිෂ්පාදිතයේ 20% වර්ධනයක් අත්කර ගත හැකි නිසා මෙවැනි කුඩම්මාගේ සැලකිල්ලක් කාන්තා කොමිසමට දක්වන්නේ ඇයි ද කියා ප්‍රශ්නයක් ඇති බවත් මේ සම්බන්ධයෙන් කාන්තා සංවිධාන ජනාධිපතිවරයාට පවා පැමිණිලි කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










