ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි. Sri Lanka Latest News
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (08) දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලැබේ.
ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. 35-45ක පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ක් දක්වා ඉහළ යා හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු වේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.










