වොෂින්ටන් ඩී.සී. වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව 2025 දෙසැම්බර් 18 වන දින ඩොලර් 10,000 ක් (රුපියල් 3,095,000.00 ක්) ගංවතුරෙන් හානි වූ පුද්ගලයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ස්ථාපිත ‘Rebuilding Sri Lanka’ අරමුදලට බැර කරනු ලැබීය.Sri Lanka Latest News
මෙම ඩොලර් 10,000 ක මුදල වොෂින්ටන් ඩී.සී. හි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසින් වොෂින්ටන් ඩී.සී. බෞද්ධ විහාරයේ සංවිධානය කරන ලද ‘Rebuild Sri Lanka Food Bazaar’ හරහා රැස් කරගෙන ඇත. මෙම වැඩසටහන උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක සහ වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ එකමුතුවෙන් සිදු කරනු ලැබීය.
මෙම වැඩසටහනෙහි සම සංවිධායක සම්පත් ඇලෙක්සැන්ඩර් මහතා විසින් මෙම මුදල, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා වෙත නිලවශයෙන් භාර දෙනු ලැබීය. වාසනා රාජපක්ෂ, සමදරා ජයරත්න, ශානක ජයවර්ධන, තිලංක නිෂාඩ් සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් මෙන්ම මෙම අරමුදලට දායකත්වය සැපයූ සහ සහභාගී වූ සියලුම දෙනා නියෝජනය කරමින් සම්පත් ඇලෙක්සැන්ඩර් මහතා විසින්, පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ ඉදිරිපිට වොෂින්ටන් බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම පිළිගැන්වීම සිදුකරන ලදී.
ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවට ස්තූතිය පුද කරමින් තානාපතිතුමා සඳහන් කළේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් තනි තනිව මෙන්ම සාමූහික වශයෙන්ද මෙම අරමුදලට විශාල වශයෙන් දායකත්වය ලබා දී ඇති බවයි. එමෙන්ම තානාපති සමරසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කලේ මෙම නව පරිත්‍යාගය වන ඩොලර් 10,000 ක මුදලත් සමඟ, ඩොලර් 27,000 (රුපියල් 8,358,000.00) කට ආසන්න මුළු මුදලක් ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට බැර කර ඇති බවයි.
තානාපතිතුමා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේට සහ ඇමරිකාවේ වාසය කරන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පසුගිය දින ඇති වූ ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා කල මහඟු දායකත්වය වෙනුවෙන් ස්තූතිවන්ත වූ අතර මෙවැනි ප්‍රශංසාත්මක කටයුතු ඉදිරියටත් කරගෙන යාමට සුබපැතුම් එක් කරන ලදී.


ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂින්ටන් ඩී.සී.
2025 දෙසැම්බර් 19










