බුදුවරු පසේබුදුවරු දැරු කසාවත
යතිවරු මහරහත් හිමිවරු දරා ඇත
පුද සත්කාර තුන් නොපෙහිම ලබා ඇත
අද ඒ කසාවත අසරණ වෙලා ඇත
එක් වී දේශපාලකයන් හා කූට
හිමිවරු පිල් බෙදී නිල් කොළ රතු පාට
දෙසනා දේශපාලන බණ ගිහියාට
අසනා ගොන්නු අද නැත ඔය හිතුවාට
රට රැකගන්න පැත්තක හාමුදුරුවරු
තව පැත්තකින් පොරකති මැති ඇමැතිවරු
බොරු කයිවාරු කිව්වට ගල් පැළෙන බොරු
බැලුවම මුකුත් නැත මේ අය රටට කෙරු
අනුගාමික පස්හය දෙනෙකුත් එක්ක
ගහගෙන දේශපාලකයන් හට කොක්ක
සෙල්ලම් කරන හැටි චීවරයත් එක්ක
නැත එක හිමිනමක් වත් මේවා දැක්ක
සෝභිත සෝම හිමිවරු වැනි පිරිපුන්න
යතිවරු වැඩසිටි රට වට ඇති වෙන්න
සිවුරෙහි ගරුත්වය බැරි කොට රැකගන්න
රට දැය රකින හැටි හැකි තේරුම් ගන්න
හිමියනි නුන් නිකායික මෙහි වැඩ ඉන්න
කාලය එළඹ ඇත සාසනෙ රැක ගන්න
අතළොස්සක් සිටී දහමින් පිට පැන්න
හේතුව කිමද නොසොයා නොබලා ඉන්න
මේවා දකින දායකයන් ඇත එමට
දැඩි වේදනාවක් ගෙන දෙනවා හදට
සඟ සාසනය ගෙන යන එක වළ ළඟට
වගකීමට නොහැක ගිහියන් වන අපට
හේ.බ. සුමතිපාල
හැඩවින්න
මාමඩල










