අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව තාවකාලිකව අවතැන් කඳවුරුවල නවාතැන්ගෙන සිටින මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක අසරණ ජනතාවට ලැබිය යුතු ආහාර, ඖෂධ, ඇඳුම් ඇතුළු ආධාර නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වේ. Sri Lanka Latest News
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කළුගහකඳුර, පොල්වත්ත, පොල්ගහරාව, වැවතැන්න සහ පිටමාරුව යන ගම්මානවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිති.
විවිධ ප්‍රදේශවලින් සහ විවිධ සංවිධානවලින් ඒකරාශී කොට, අවතැන් වූවන්ට ලබාදීම සඳහා එවන සහනාධාර කළුගහකඳුර – පිටමාරුව මාර්ගයේ අතරමග ස්ථාන දෙකකදී මග දෙපස රැස්ව සිටින එක්තරා පිරිසක් විසින් සංවිධානාත්මකව අත්පත් කරගැනීම හේතුවෙන් තමන්ට මෙම අසාධාරණය සිදුවන බවයි ප්‍රදේශවානීස් පවසන්නේ.
ඥාතීන්, හිතමිතුරන් මෙන්ම නිවාස ඇතුළු සියලු දේපළ අහිමිව මේ වනවිටත් කණුගොල්ල පන්සල, කරඳගහමඩ පන්සල සහ මහකඳුර විද්‍යාලයේ පිහිටුවා ඇති කඳවුරුවල දැඩි දුෂ්කරතා මධ්‍යයේ දින ගණනාවක් තිස්සේ රැඳී සිටින තමන්ට එම සහනාධාර ලබා නොදී, ආපදාවට ලක් නොවූ කණ්ඩායමක් විසින් ලබාගැනීම දැඩි අසාධාරණයක් බවද ඔවුහු පෙන්වා දෙති.
එබැවින් මෙම අසාධාරණය පිළිබඳ වහාම සොයාබලා, අදාළ සහනාධාර ද්‍රව්‍ය අවතැන් කඳවුරුවල සිටින, පීඩාවට පත් අසරණ ජනතාව වෙත නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාදීමට බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ යුතු බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පෙන්වා දෙති.










