පළාත් සභා තියන්නේ නෑ
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි විශේෂ අනාවරණයක් කරමින් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඉලක්ක කරගෙන විශාල දේශපාලන මෙහෙයුමක් සිදුකිරීමට සැලසුම් කර ඇති ආකාරය අනාවරණ කළෙමු. අපට ලැබුණු අතිශය විශ්වාසදායක තොරතුරුවලට අනුව අප එහිදී සඳහන් කළේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන ඉතා ජනප්‍රිය අයවැයක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීන්දු කොට ඇති බවත්, ඒ අනුව මෙම ජනප්‍රිය අයවැය හරහා ජනතාවට විශාල වශයෙන් සහන ලබාදීමටත්, කිසිදු බද්දක් වැඩි නොකිරීමටත් ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවත්ය. ඊට අමතරව 2022 වසරේ ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයෙන් අනතුරුව පළමු වතාවට ජනතාවට සහන ලබාදෙමින් ක්ෂේත්‍රයන් කිහිපයකම බදු ප්‍රතිශතයන් අඩුකිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බවත් අපි එහිදී සඳහන් කළෙමු.Sri Lanka Latest News
එමෙන්ම දැනට ආරම්භ කොට ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීමේ මෙහෙයුම කිසිවකුත් නොසිතන ආකාරයට තීව්‍ර කිරීමටද ජනාධිපතිවරයා ගෙන තිබූ තීන්දුව පිළිබඳවද අප පළමු වරට රාජ්‍ය රහස් තීරය ඔස්සේ පසුගිය සතියේ රටට අනාවරණ කළෙමු. ඒ අනුව රට ඇතුළේ සිදුකෙරෙන කුඩු සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට අමතරව මෙරටට කුඩු ගෙන්වා නැවත වෙනත් රටවලට බෙදාහරින යන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය කඩාබිඳ දැමීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති ආකාරයත්, ඒ අනුව ජනාධිපතිවරයා අතිශය භයානක කලාපයකට ඇතුළු වී ඇති ආකාරයත් ලංකාවේ පළමු වරට මාධ්‍යයක් තුළින් අනාවරණ කරමින් තොරතුරු හෙළි කිරීමටද අපි කටයුතු කළෙමු.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ අප කළ අනාවරණය තහවුරු කරමින් ආණ්ඩුවේ ඉදිරිපෙළ අමාත්‍යවරයකු වන කේ.ඩී. ලාල්කාන්ත මහතා පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව තහවුරු කොට සිටියේය. මීට අමතරව ආණ්ඩුවේ දෙවැනි පෙළ මැති ඇමැතිවරුද පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බව මාධ්‍ය වෙත සඳහන් කර සිටියහ. ඒ අනුව අප කළ අනාවරණය තහවුරු වීමත් සමග මැතිවරණය ඉලක්ක කොටගෙන විපක්ෂයේ විශාල පිබිදීමක් ඇතිවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සජබ මන්ත්‍රීවරුන් 15කට ආසන්න සංඛ්‍යාවක් පළාත් සභා මැතිවරණය ඉලක්ක කොටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව මහ ඇමැති ධුර ලබාගැනීම සඳහා තරග වැදීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමට පියවර ගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ලබන සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවද, එහි අවසන් තීන්දුව ලබන ජනවාරියේ ජනාධිපතිවරයා විසින් ගැනීමට සූදානමින් පසුවනි බවද අපි සඳහන් කළෙමු. පසුගිය සතියේ අප මෙම සියලු තොරතුරු පළමු වරට මාධ්‍යයක් තුළින් රටට අනාවරණ කළද ගෙවුණු සතිය ඇතුළත සිදුවූ සිදුවීම් කීපයක් මුල්කරගෙන මෙම සතියේ අපට වාර්තා කිරීමට සිදුව ඇත්තේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට ආණ්ඩුව ඇතුළේ තීරණාත්මක දේශපාලන සංවාදයක් ආරම්භ වී ඇති බවකි.
මේ ආකාරයට පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීම සඳහා ආණ්ඩුවට එක් හේතුවක් නොව, හේතු ගණනාවක්ම බලපා ඇති බවක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දින කීපය තුළ ආණ්ඩුව සමග අතිශය බරපතළ සංවාදයක යෙදෙමින් අනතුරු ඇඟවීම් ගණනාවක්ම සිදුකොට තිබීම ඊට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය.
පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී දෙපාර්ශ්වය අතර යම් යම් යෝජනා මුල්කරගෙන ඉතා උණුසුම් සංවාදයක් සිදුව තිබූ බවකි. විශේෂයෙන්ම මූල්‍ය අරමුදල දේපළ බද්ද පැනවීම සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටිද්දී ජනාධිපතිවරයා ඍජුවම එය ප්‍රතික්ෂේප කළ ආකාරය අපි මෙම තීරයෙන් වාර්තා කර සිටියෙමු. කෙසේ වෙතත් එම සංවාදයෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඉලක්ක කොට ගෙන ආණ්ඩුව යම් යම් ක්ෂේත්‍රවල බදු අඩුකිරීමට සැලසුම් කර ඇති බවට වූ තොරතුරු මූල්‍ය අරමුදලටද වාර්තා වී තිබිණි.
අයවැයේ සහන කැපෙයි
ඒ අනුව, පසුගිය සතිය පුරාම මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර සංවාදයන් කිහිපයක්ම සිදුව තිබූ අතර, එහිදී මූල්‍ය අරමුදල දැඩි පණිවුඩයක් ජනාධිපතිවරයා වෙත ලබාදෙමින් අවධාරණය කොට ඇත්තේ බදු අඩුකිරීමේ යෝජනාවට කිසිසේත්ම අත නොතියන ලෙසය. එය ආර්ථිකය දැනට පවත්නා තත්ත්වය යටතේ හොඳ තීන්දුවක් නොවන බවත්, එය හොඳ ප්‍රවණතාවක් නොවන බවත් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති මූල්‍ය අරමුදල එවැනි තීන්දුවකට ගියහොත් මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුමේ ඇති ඉලක්කවලට කිසිසේත්ම ළඟාවිය නොහැකි බවට දැඩිව ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවක්ද ආරංචිය. ඒ අනුව මේ සතිය වනවිට අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මූල්‍ය අරමුදල එල්ල කොට ඇති දැඩි බලපෑම හේතුකොටගෙන මෙවර අයවැය හරහා යම් යම් ක්ෂේත්‍රවලට ලබාදීමට සැලසුම් කර තිබූ බදු සහනයන් පවා අත්හිටුවීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති බවකි.
එසේ නම් 2026 වසර සඳහා ඉදිරිපත් කිරීමට ඇති අයවැයට සිදුවන්නේ කුමක්ද?
අපට ඇති තොරතුරුවලට අනුව නම් කියැවෙන්නේ බදු සහන ලබා නොදීමට තීන්දු කොට ඇති ආණ්ඩුව මෙතෙක් අඩු ආදායම්ලාභීන්ට ලබාදෙමින් තිබූ සහන ප්‍රමාණය කිසියම් ප්‍රතිශතයකින් ඉහළ දැමීමට පමණක් තීන්දු කොට ඇති බවකි. ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විරෝධයක් පළව නොමැති බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඔවුන් දැඩිව විරෝධය පළකොට ඇත්තේ බදු ප්‍රතිශතයන් පහළ දැමීමට ආණ්ඩුව ගෙන තිබූ යෝජනාවට පමණක් බවද ආරංචිය.
පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට හෝ කල් දැමීමට ආණ්ඩුවට බලපා ඇති තවත් හේතුවක් වන්නේ මේ දිනවල ගම් මට්ටමින් ආණ්ඩුවට ලැබෙමින් පවතින සංඥාව තරමක් හොඳ නැති එකක් බවට පත්ව තිබීමය. විශේෂයෙන්ම ගම් මට්ටමේ බල හුවමාරුව තීන්දු කරන සහ එම බලය ප්‍රකාශයට පත්කෙරෙන සමුපාකාර ඡන්දවල ප්‍රතිඵලය ආණ්ඩුවට එතරම් හිතකර එකක් නොවන බව පසුගිය සතිය වනවිට ආණ්ඩුවටද දැනෙමින් තිබිණි. අවසන් වරට පැවැති සමුපකාර ඡන්ද විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට සජබය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබීම හේතුකොට ගෙන ගම් මට්ටමෙන් සජබයට යම් ජයග්‍රාහී රැල්ලක් ආරම්භ වී ඇති ආකාරයක් ආණ්ඩුවට දැනෙමින් තිබිණි. මේ තත්ත්වය නිසාම ආණ්ඩුව ඉතා රහසිගත ලෙස ගම් මට්ටමෙන් ආණ්ඩුවට ඇති ජනප්‍රියතාව මැන බලාගැනීම සඳහා වෙනම සමීක්ෂණයක් සිදුකොට තිබිණි. පසුගිය සතිය වනවිට එම සමීක්ෂණයේ ප්‍රතිඵලද ආණ්ඩුව වෙත ලැබී තිබූ අතර ඉන් කියැවුණේ කිසිවකු නොසිතූ ආකාරයට ගම් මට්ටමෙන් සජබයට යම් පිබිදීමක් මතුවෙමින් පවතින බවකි. විශේෂයෙන්ම සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ගම්වල නැවත වතාවක් කිසියම් ප්‍රසාදයක් මතුවෙමින් පවතින බවත්, ක්‍රමක්‍රමයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ගම් මට්ටමෙන් ගොඩනැගෙමින් පවතින බවත් මෙම සමීක්ෂණ ප්‍රතිඵල මගින් ආණ්ඩුවට වාර්තා කොට තිබිණි.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ප්‍රමාණයක් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේද අපි වාර්තා කිරීමට පියවර ගත්තෙමු. නමුත් මේ සතිය වනවිට එම සමීක්ෂණයේ ප්‍රතිඵල ආණ්ඩුවට ලැබී තිබීම නිසා එයද පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට හෝ කල් දැමීමට ආණ්ඩුවට බලපා ඇති බවක් රාජ්‍ය රහස් තීරය වෙත ආරංචිය.
පළාත් සභා මැතිවරණය කල්දැමීමට හෝ නොපැවැත්වීමට මේ වනවිට බලපා ඇති අනෙකුත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ආරම්භ කොට ඇති මත්කුඩු සහ පාතාලය තුරන් කිරීමේ මෙහෙයුමය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ‘මව්රට’ මුල් පිටුවේම සුවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ ලංකාව හරහා සිදුකෙරෙන ජාත්‍යන්තර මත්කුඩු ජාලය කඩා බිඳ දැමීමට සැලසුම් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි අවදානම් කලාපයකට ඇතුල් වීමට සූදානමින් සිටින බවය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊට අදාළ පිරිස් දැඩි අවධානයක් යොමුකොට ඇති බවද අපි එහිදී වාර්තා කොට සිටියෙමු.
ආරක්ෂාව සම්බන්ධයෙන් වන මෙවැනි අවදානම් තත්ත්වයක් යටතේ ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ පෙනී සිටීම විශාල අනතුරුදායක තත්ත්වයක් බව ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බවක් දැනගන්නට තිබේ. මැතිවරණයක් පැවැත්වෙනවා නම් තවමත් ආණ්ඩුවට ගැසීමට ඉතුරුව ඇති එකම තුරුම්පුව වී ඇත්තේ ජනාධිපතිවරයාගේ කාඩ් එක පමණි. මැතිවරණයකදී තවමත් ආණ්ඩුවට විකිණීමට සිදුව ඇත්තේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයත් පමණි. ආණ්ඩුව පත්ව මේ වනවිට වසරක් ගතව තිබුණද තවමත් මාලිමාවට රට ඇතුළේ කිසිදු පිබිදීමක් සිදුව ඇති ආකාරයක් දැකගන්නට නැත. සියල්ල ගොනුව ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය වටාය. එවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයාට ඇති ආරක්ෂක අනතුර නොසලකා රට වටා ගොස් ඡන්ද සටන මෙහෙයවීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් ඇති බවක් ආරක්ෂක අංශ විසින්ද මතුකොට තිබීම නිසා මේ මොහොතේ මැතිවරණයක් ඉලක්ක කොටගෙන ඡන්ද සටන මෙහෙයවීම ඉතා අසීරු බව ජවිපෙ මතය වී තිබේ.
ජවිපෙ ඇතුළේත් ලොකු සාකච්ඡාවක්
මීට අමතරව පසුගිය සතිය වනවිට ජවිප අභ්‍යන්තරය තුළද පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සංවාදයක් සිදුව ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුලින් තීන්දු කළද, ජවිපෙ අභ්‍යන්තරය තුළ මතුවූ එම සාකච්ඡාවේදී විශාල අවධානයක් යොමුව ඇත්තේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් පැවැති ජවිපෙ ස්ථාවරය පිළිබඳවය. ජවිපෙ ආරම්භයේ සිටම පළාත් සභා ක්‍රමයට විරුද්ධව රට ඇතුළේ විශාල මතවාදයක් ගෙනගිය පක්ෂයක් විය. 1987 ජේ.ආර්. ජයවර්ධන රජය විසින් පළාත් සභා පිහිටුවීම සඳහා ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරද්දී ඊට එරෙහිව පළමුවෙන්ම පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණය. පළාත් සභා ක්‍රමයට එරෙහිව ගෙනගිය එම සටන අවසානයේදී කැරැල්ලක් දක්වා රැගෙන යමින් 88-89 කාලයේදී ආණ්ඩුවට එරෙහිව ආයුධ අතට ගැනීමටද ජවිපෙ පියවර ගත්තේය. එවැනි ඉතිහාසයක් සහිත ජවිපෙ වැනි පක්ෂයක් නැවතත් පළාත් සභා ක්‍රමය පිළිගනිමින් මැතිවරණයක් පවත්වන්නේ කෙසේද යන තර්කය පසුගිය සතිය වනවිට පක්ෂය ඇතුළේ ඉතා දීර්ඝව සාකච්ඡාවට ලක්වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව, ජවිපෙ ස්ථාවරය වී තිබුණේ එක්කෝ පළාත් සභා ක්‍රමය අවසන් කිරීම ඉලක්ක කොටගෙන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමට හෝ දින නියමයක් නොමැතිව කල් දැමීමටය. පළාත් සභා ක්‍රමයට විරෝධය පළකළත් උතුරු නැගෙනහිරට බලය බෙදීමට කිසිදු විරෝධයක් නොමැති බවත්, එම ප්‍රදේශවල පවතින ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා වෙනම සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවත් එහිදී තීන්දු විය.
ෂේප් වෙන්න ගහන ගේම මෙන්න
කෙසේවෙතත් මේ වනවිට පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව ඍජු ප්‍රකාශයක් සිදුකොට ඇති නිසා හදිසියේම මැතිවරණය නොපවත්වන බවට ප්‍රකාශ කළහොත් විපක්ෂය එය සටන් පාඨයක් ලෙස අතට ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. ඒ අනුව එම තුරුම්පුව විපක්ෂය අතට නොදී පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට දැක්විය හැකි හේතු සහ එය නොපවත්වා සිටීමට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය පිළිබඳවද මෙහිදී පක්ෂය ඇතුළේ දීර්ඝ සංවාදයක් සිදුවිය. එහිදී අවසානයේදී තීන්දු වූයේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට යහපාලන ආණ්ඩුව කාලේ එහි ප්‍රධානියා වූ රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයම තවදුරටත් ඉදිරියට ගෙන යෑමටය. යහපාලන ආණ්ඩුව එදා පළාත් සභා මැතිවරණ පරදිනවාට බයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිකිරීම සඳහා තුට්ටු දෙකේ දේශපාලන තීන්දුවක් ගනිමින් බොරු සීමා නිර්ණයක් පාර්ලිමේන්තුවේ සම්මත කොට පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි තැනට ව්‍යවස්ථානුකූලවම ක්‍රියා කිරීමට පියවර ගත්තේය. ඒ මොහොතේ ඡන්දය පැවැත්වූවා නම් පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය පොහොට්ටුව විසින් අත්පත් කරගනු ඇති බවට වූ බිය හේතුවෙන් එම දේශපාලන ගැටය ගැසීමට රනිල් එදා කටයුතු කළේය. ඉන් අනතුරුව 2022 වසරේදී පාර්ලිමේන්තුව ඇතුළේ පැවැති ඡන්දයක් හරහා රනිල් ජනාධිපතිවරයා ලෙස බලයට පත්වුවද ඒ අවස්ථාවේදීද පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ජයග්‍රහණය කරනු ඇති බවට වූ බිය නිසා සීමා නිර්ණය පිට දමා පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට රනිල් කටයුතු කොට තිබිණි. ඒ අනුව අද වනවිට රනිල් ගැසූ එම දේශපාලන ගැටයම මාලිමා ආණ්ඩුව විසින් තමන්ගේ වාසියට ගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව මේ ආණ්ඩුවද සූදානම් වන්නේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සඳහා රනිල් ගැසූ ඒ ගැටයම යළිත් ඉදිරියට ගෙන ඒමටය.
කෙසේ වෙතත් සීමා නිර්ණ මාතෘකාව කෙළින්ම එළියට ගතහොත් මේ ආණ්ඩුවද රනිල්ගේ පාරේ යන බවට බරපතළ චෝදනාවක් විපක්ෂයෙන් එල්ල වීමට ඉඩක් ඇති නිසා ආණ්ඩුව මේ වනවිට තීන්දු කොට ඇත්තේ විවිධ හේතු ඉදිරිපත් කරමින් කිසියම් කාලසටහනකට අනුව පළාත් සභා මැතිවරණය කල් දැමීමටය. දැනටම මැතිවරණ කොමිසමද ප්‍රකාශ කොට ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි නීතියක් මේ වනවිට මෙරට නැතැයි කියාය.
ඉස්සරහට වෙන්න පුළුවන් දේ
ඒ අනුව මැතිවරණ කොමිසමේ ස්ථාවරයද පාදක කරගනිමින් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සඳහා ඉදිරි සති කීපය ඇතුළත සිදුවිය හැකි යැයි උපකල්පනය කළ හැකි සිදුවීම් රාශියක් තිබේ. ඉන් බොහෝ දුරට පළමුවැන්න විය හැක්කේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පරණ ක්‍රමයටද, එසේත් නැත්නම් අලුත් ක්‍රමයකටද යන්න සම්බන්ධයෙන් අලුත් සාකච්ඡාවක් ආරම්භ කිරීමය. එහිදී සීමා නිර්ණය සම්බන්ධයෙන්ද මෙම පක්ෂ නායක රැස්වීමේදී අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කෙරෙනු ඇත. ඉන් පසුව එම ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනය වන පරිදි එක්කෝ පාර්ලිමේන්තු කමිටුවක් පත් කෙරෙනු ඇත. එසේත් නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් හෝ පත්කිරීමටද ඉඩ ඇත.
මීට අමතරව කොයියම් ක්‍රමයකින් හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීන්දු කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පාර්ශ්ව කිහිපයක් නඩු පැවරීමටද කටයුතු කරනු ඇත. මේ ක්‍රියාදාමය සිදුවුවහොත් අවම වශයෙන් තවත් අවුරුද්දකට හෝ දෙකකට අධික කාලයකට පළාත් සභා මැතිවරණය කල්දමා ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැතුවා නොවේ. ඒ අනුව අප මෙම අනුමාන කළ කරුණුවලින් මොන යම් හෝ කරුණක් ඉදිරි සති කීපය ඇතුළත සිදුවුවහොත් එය පැහැදිලිවම පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ හෝ නොපවත්වා සිටීමේ ආණ්ඩුවේ වෑයම තහවුරු කෙරෙන පළමු සිදුවීම විය හැකිය.
මීට අමතරව එම කටයුතු සිදුවන අතරවාරයේ ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදීම අරමුණු කරමින් දෙමළ හා මුස්ලිම් පක්ෂ සමග අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමේ ඉඩක්ද නැතුවා නොවේ. එම සාකච්ඡාවලදී උතුරු නැගෙනහිරට බලය බෙදන ආකාරය පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධනය කරන ආකාරය පිළිබඳවත්, එහිදී උතුරු නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැඩි බලතල සහ වගකීම් හිමිවන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවක්ද, ඒ හරහා පළාත් සභා මැතිවරණය කල්දැමීමට හෝ නොපවත්වා සිටීමට ආණ්ඩුව මාර්ගයක් පාදාගනු ඇති බවක්ද මේ සිදුවීම්වලින් දැකගැනීමට පුළුවන.
කොහොමද මව්රට නිව්ස් එකේ තරම
පසුගිය සතිය වනවිට මුළු රටේම මාතෘකාවක් බවට පත්ව තිබුණේ කිසිදු ප්‍රසිද්ධියකින් තොරව ජනාධිපතිවරයා විසින් සිදුකළ මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය පිළිබඳවය. ජනාධිපතිවරයා විසින් හදිසියේම සිදුකරනු ලැබූ මෙම කැබිනට් සංශෝධනයේදී සිදුව තිබූ ප්‍රධානම වෙනස වූයේ ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයා වූ බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඉවත් කොට තිබීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව තිබුණේ බිමල් රත්නායක මහතාය. විපක්ෂය දේශපාලන වශයෙන් මෙම කාරණාව ඉස්මතු කරමින් රටට කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ දේශපාලන අර්බුදයක් මතුව ඇති බවත්, බිමල්ට ලබාදී තිබූ ප්‍රධානතම අමාත්‍යාංශයක් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවත්ය. වරාය මුල්කරගෙන සිදුවූ කන්ටේනර් 323 පලහිලව්ව ඊට බලපා තිබූ බවට සැකයක්ද විපක්ෂය පැත්තෙන් මතුකර පෙන්වන බවක්ද දැකගන්නට ලැබිණි. නමුත් ජනාධිපතිවරයා වරාය බිමල්ගෙන් ඉවත් කරන අතරවාරයේ තවත් අතිශය වැදගත් කොටසක් වූ නාගරික සංවර්ධන අධිකාරිය බිමල් යටතට පත්කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් පසුගිය සතියේදී බිමල් සම්බන්ධයෙන් මෙරට කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ සුවිශේෂ අනාවරණයක් රාජ්‍ය රහස් තීරය ඔස්සේ සිදුකිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග බිමල් අතුරුදන් වූ බවය. නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ භාරගැනීමෙන් අනතුරුව බිමල් අමාත්‍යාංශය පැත්ත පළාතේ ගොස් නොතිබූ බවත්, සාමාන්‍යයෙන් වෙනදාට දිනපතාම යාවත්කාලීන වන බිමල්ගේ ෆේස්බුක් පිටුව එදින සිට යාවත්කාලීන වී නොමැති බවත් අපි එහිදී අනාවරණ කළෙමු. පසුගිය කාලවකවානුව පුරා මාලිමාව සහ ජවිපෙ අතරත්, මාලිමාව සහ බිමල් අතරත් යම් යම් මතගැටුම් පැවැතීම නිසා බොහෝ දෙනා, එම ගැටුමේ අතුරු ඵලයක් ලෙසටද බිමල්ගේ මෙම අතුරුදන් වීම වාර්තා කොට තිබිණි. කෙසේ වෙතත් අප කළ අනාවරණයෙන් කියා සිටියේ කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකළ දිනට පසු දිනම බිමල් විදේශගතව ඇති බවය. ඒ වනවිට ප්‍රධාන පෙළේ විදෙස් සමුළු කීපයක්ම පැවැතීම නිසා ඒ සමුළුවලට බිමල් සහභාගි වූවාද යන්න පිළිබඳවද අපි එහිදී සොයාබැලීමක් සිදුකළෙමු. ඒ වනවිට බාබඩෝස් රාජ්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව පැවැත්වෙමින් තිබූ නිසා ඊට සහභාගි වී සිටි මුජිබර් රහුමාන් මහතාගෙන් ඒ සම්බන්ධයෙන් අප විමසා සිටි අතර, ඔහුද අපට තහවුරු කොට කියා සිටියේ බිමල් එම සමුළුවට සහභාගි වීම සඳහා බාබඩෝස් රාජ්‍යයට පැමිණ නැති බවකි. ඒ අනුව බිමල් ගිය රට තහවුරු කරගැනීමට නොහැකි වීම නිසා පසුගිය සතියේ ‘මව්රට’ මුල් පිටුවේම පුවතක් වාර්තා කරමින් අප කියා සිටියේ ‘ඇමැති මාරුවෙන් පස්සේ බිමල් නෑ’ යැයි කියාය.
අතුරුදන් බිමල් චීනයෙන් මතුවෙයි
අප පුවත්පත සෙනසුරාදා පෙරවරුවේම එළියට පැමිණීමෙන් පසු දහවල් වනවිට අප ‘මව්රටනිවුස්‘ වෙබ් අඩවිය ඔස්සේද මෙම පුවත වාර්තා කරමින් බිමල් රට ගිය පුවත අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව ‘මව්රට’ පුවත්පත ඔස්සේත්, ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේත් අප කළ මෙම අනාවරණය කෙතරම් ප්‍රබල වූවාද කියනවා නම්, ආණ්ඩුවට කෙතරම් දැනී තිබෙනවාද කියනවා නම්, අපගේ පුවත කෙතරම් බලපෑමක් කිරීමට සමත්ව තිබෙනවාද කියනවා නම් සතියක් පුරා අතුරුදන්ව සිටි බිමල් පැය කීපයකින් එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සිය ෆේස්බුක් පිටුවේ සෙනසුරාදා දහවල් ඡායාරූපයක්ද සමග යාවත්කාලීන කරමින් බිමල් කියා සිටියේ තමන් චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ සංචාරයක නිරත වෙමින් සිටින බවත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුවන්ෂි කමිටුවේ ලේකම් චෙන් ගන්ග් මහතා ප්‍රමුඛ පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත් බවත්ය. ඒ වන තෙක්ම මාලිමාවේ සහ ජවිපෙ ඇතැමුන් පවා බිමල්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සොයාගැනීමට නොහැකිව සිටියද, ඔවුන්ද බිමල් ගිය තැනක් දැනගත්තේ බිමල්ගේ මෙම යාවත්කාලීන කිරීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත් බිමල් චීනයේ සිටින බවට මේ හරහා අපටද තොරතුරු වාර්තා වුණද, එතැනින් බිමල් පිළිබඳ අපගේ සෙවිල්ල නතර වූයේ නැත. ඒ අනුව බිමල් කිසිවකුටත් නොකියා හොර රහසේම මෙසේ චීනයට ගියේ ඇයි, එහි සිදුකරන්නේ මොනවාද යන්න පිළිබඳව සොයාබැලීමටද අපි පියවර ගත්තෙමු. සාමාන්‍යයෙන් බිමල් සැලකෙන්නේ අතීතයේ සිටම චීන හිතවාදී අයකු ලෙසය. චීනයේ ප්‍රධාන පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය සමග බිමල්ට අතීතයේ සිටම විශේෂ සබඳකම් තිබිණි. එමෙන්ම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් හැරුණු විට චීනය සමග ඉහළින්ම සබඳතා පවත්වන ජවිපෙ ප්‍රබලයා වන්නේද බිමල්ය. ඒ අනුව බිමල්ගේ මෙම හදිසි චීන ගමන පිටුපස කිසිවකුත් නොසිතන රහස් රැසක් ඇති බවට අපටද වැටහුණු නිසා මේ සම්බන්ධයෙන් දීර්ඝව සොයාබැලීමට අපි කටයුතු කළෙමු. සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ගුවන්ෂි පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට තමන් කටයුතු කරන බවක් පෙන්වීමට බිමල් කටයුතු කර තිබුණද අප කළ සොයාබැලීම්වලින් තහවුරු වූයේ ඊට එහා ගිය විශාල සැලසුමක් බිමල්ගේ මේ හදිසි චීන ගමන පසුපස පවතින බවකි. ඒ අනුව බිමල් චීනයේ ගොස් තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනාවකට අනුවය. ඒ සඳහා චීනයෙන් ආරාධනා කොට තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලියු හයසින්ග්ය. ඒ අනුව බිමල්ගේ නායකත්වයෙන් යුතුව ජවිපෙ දූත කණ්ඩායමක් මෙම චීන සංචාරයට එක්ව තිබිණි.
මීට පෙරාතුවද ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වාගේ නායකත්වය යටතේ ජවිපෙ මන්ත්‍රීවරුන් 38 දෙනෙකුගේ කණ්ඩායමක් චීන සංචාරයක නිරතව තිබිණු බව අපි මෙම තීරුවේ වාර්තා කර සිටියෙමු. සති දෙකකට අධික කාලයක් ටිල්වින් ඇතුළු මෙම ජවිපෙ මන්ත්‍රීවරුන් 38 දෙනා චීනයේ රැඳී සිටි බවත්, එහිදී චීන රජය විසින් ටිල්වින්ට විශාල පිළිගැනීමක් ලබාදීමට කටයුතු කළ බවත් අපි වාර්තා කළෙමු. එහි පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් එවකදී අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් චීනය සහ ලංකාව අතරත්, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතරත්, චීන ජනාධිපතිවරයා සහ ලංකා ජනාධිපතිවරයා අතරත් විශේෂ සම්බන්ධතාවක් ගොඩනැගීම පිළිබඳ අදහස් හුවමාරු වී තිබූ ආකාරයක් වාර්තා කිරීමට පියවර ගත්තෙමු. මෙම චීන සංචාරය නිමවා ලංකාවට පැමිණි ටිල්වින්ගෛන් වරක් මාධ්‍ය ප්‍රශ්න කරද්දී ටිල්වින්ගේ කටින් යම් ඉඟියක් එළියට පැන්න ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ටිල්වින් කියා සිටියේ රට වෙනස් කිරීම සඳහා ජවිපෙ වසර 20ක් පමණ එක දිගට බලයේ සිටිය යුතු බවත්, මහමැතිවරණ කිහිපයක් එක දිගට ජයග්‍රහණය කළ යුතු බවත්ය. ටිල්වින්ගේ එම ප්‍රකාශය හරහා ජවිපෙද චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් එක දිගට බලයේ සිටීමට සැලසුම් කරන බවට වූ ඉඟිය එළියට පැන්න ආකාරය දැකගත හැකි විය. විපක්ෂය නම් ඒ මොහොතේදී යම් චෝදනාවක් නගමින් කියා සිටියේ ජවිපෙ මේ සැලසුම් කරන්නේ බහු පක්ෂය ක්‍රමය විනාශ කොට චීනයේ මෙන් තනි පක්ෂ ක්‍රමයකට රට ගෙනයෑමට බවය. හදිසියේම බිමල් ගිය මෙම චීන සංචාරය පිළිබඳවද අවධානය යොමුකළ යුත්තේද එය තවත් එක් හුදකලා සංචාරයක් ලෙස නොව ටිල්වින්ගේ මෙම චීන ගමනේ දිගුවක් ලෙසටය.
අලුත්ම චීන නියෝජිතයා
සියල්ලන්ම දන්නා පරිදි ජවිපෙ ප්‍රබලම සාමාජිකයන් පස්දෙනා අතර බිමල් ඉන්නේ තුන්වැනියාටය. බිමල්ට ඉහළින් එහි සිටින්නේ අනුර සහ ටිල්වින් පමණි. ජවිපෙ සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලදී ටිල්වින් ප්‍රධාන භූමිකාව සිදුකළත්, ආණ්ඩුව සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලදී සහ පාර්ලිමේන්තුව ඇතුළේ ගන්නා තීන්දු තීරණවලදී ප්‍රබලයා වශයෙන් කටයුතු කරන්නේ සභානායක බිමල්ය. ඒ අනුව බිමල්ගේ මේ හදිසි චීන ගමනේ සැඟවුණු රහස වී ඇත්තේ බිමල්ද ටිල්වින්ගේ චීන ගමන තවත් ඉදිරියට ගෙනගොස් තිබීමය. බිමල් මෙහිදී චීන බලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති අතර, එහිදී රටවල් දෙකේ පක්ෂ දෙක අතර සබඳතා තරකර ගන්නා ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරංචිය.
මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය මෙම සංචාරයේදී බිමල්ට විශේෂ වගකීමක් පැවරීමට කටයුතු කොට ඇති බව පැවසේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ චීන සංචාරයේදී එරට ජනාධිපතිවරයා සමග අස්සන් කළ ගිවිසුම් සහ 70කට අධික වූ අනෙකුත් ගිවිසුම් වහ වහා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. එම ගිවිසුම්වලට අනුව ඩොලර් බිලියන 3.9ක දැවැන්ත ආයෝජනයකින් යුතුව හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඒ කිසිදු ව්‍යාපෘතියක් මේ දක්වා ආරම්භ කිරීමට පසුබිම සකස් වී නොමැත. ඒ, අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් එල්ල වූ දැඩි බලපැම් මුල්කොට ගෙනය. මේ මොහොත වන විටත් චීන සිනොපෙක් සමාගම හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට සූදානමින් සිටියද ඇමෙරිකාවෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වීම හේතුකොට ගෙන එහි කටයුතු තවමත් ආරම්භ කිරීමට චීන සිනොපෙක් සමාගමට හැකියාවක් ලැබී නොමැත.
පසුගිය සති දෙකේදීම මේ සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකරමින් අප කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය ඊට එරෙහිව දැඩි විරෝධයක් ඉදිරිපත් කොට ඇති බවය. එමෙන්ම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිටියදීම හම්බන්තොට චීන තෙල් පිරිපහදුවට එරෙහිව දැඩි නිවේදනයක් නිකුත් කොට තිබිණි. මීට අමතරව කොළඹ වරාය නගරයේ දියත් කිරීමට නියමිත චීන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ. මේ සියලු කරුණු සලකා බලා චීනය බිමල්ට භාරදුන් රාජකාරිය වූයේ කුමන බාධක එල්ල වුවද චීනය සමග අස්සන් කළ ගිවිසුම්වලට අනුව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වගකීමය. වෙනත් වචනවලින් කියනවා නම් මේ වනවිට චීනයේ ලංකා නියෝජිතයා බවට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව බිමල්ය.
එමෙන්ම මෙම සාකච්ඡාවලදී චීනය සහ ලංකාව අතර ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීමේදී ජවිපෙ සහ කොමියුනිස්ට් පක්ෂය අතර ඇති සබඳතා ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳවත්, වෙනත් ප්‍රබල පාර්ශ්වයන්ගේ සහාය ගන්නා ආකාරය පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා වී ඇති බවක්ද ආරංචිය. මීට අමතරව බිමල්ට අලුතින් පැවරී ඇති නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ලංකාවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් සිදුකිරීමට හැකි නිසා එය ඉලක්ක කරගෙන විශාල වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු වී ඇති බවක් දැනගන්නට ඇත. එහිදී කොළඹ නගරය කේන්ද්‍ර කොටගෙන දැවැන්ත නවීකරණ ව්‍යාපෘති කිහිපයක්ම දියත් කිරීමට තීන්දු වී ඇති බවක් දැනගන්නට තිබේ.
කොළඹ අලංකරණය සහ නවීකරණය කිරීම සඳහා පසුගිය කාලයේදී පළමුව අත ගසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂය. ගෝඨා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේදී කොළඹ අලංකරණය කිරීම සඳහා ඔහුගේ ක්‍රමවේදයට අනුව ව්‍යාපෘති කිහිපයක් දියත් කොට තිබිණි. නමුත් මේ වනවිට බිමල් තීරණය කොට ඇත්තේ බිමල්ගේ ස්ටයිල් එකකට කොළඹ නගරය නවීකරණය කෙරෙන විශාල වැඩකොටසකට අත ගැසීමටය. විශේෂයෙන්ම කොළඹ සිට රට වටා දියත්වී ඇති දුම්රිය මාර්ග තවත් දීර්ඝ කිරීමටත්, නව දුම්රිය මාර්ග ඇතිකිරීමටත්, අධිවේගී මාර්ග අලුතින් ඉදිකිරීම වැනි දැවැන්ත ව්‍යාපෘති කීපයක් චීන ආධාර යටතේ බිමල්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරි කාලයේදී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර සබඳතාව ටිල්වින් හරහා සිදුකිරීමටත්, චීන ආණ්ඩුව සහ මාලිමා ආණ්ඩුව අතර ඇති සබඳතා බිමල් හරහා සිදුකිරීමටත් මේ අනුව චීනය තීරණය කොට ඇති බවක් දැකගන්නට තිබේ. ඒ හරහා චීන ආයෝජන විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ලංකාවට ලැබීමේ ඉඩකඩක් මතුව ඇති ආකාරයක්ද දැකගන්නට පුළුවන.
අනතුරු ඇඟවීම් ළඟ ළඟ එනවා
කෙසේ වෙතත් ඉතිහාසයේ සිටම චීනය සමග ගනුදෙනු කරන විට ලංකාව නොදැනුවත්වම ජාත්‍යන්තර දේශපාලන ගේම් එකක සිරවූ ආකාරයක් දැකගැනීමට හැකිවිය. උදාහරණයක් ලෙස චීනය සමග ඍජුව ගනුදෙනු කරද්දී ඇමෙරිකාව සහ ඉන්දියාව එදා සිටම කටයුතු කළේ ලංකාව සමග කිසියම් ආරෝවක සිටය. ඒ අනුව මාලිමා ආණ්ඩුව මේ ආකාරයට චීනය දෙසට නැමීමත් සමග ඉදිරි සති කීපය තුළ තවත් විශේෂ සිදුවීම් කිහිපයක් සිදුවීමට නියමිත බවක් දැනගන්නට තිබේ. ඒ අනුව අද අප රාජ්‍ය රහස් තීරයෙන් නිශ්චිතවම කියා සිටින්නේ ඉදිරි දින කීපය ඇතුළත ඇමෙරිකාවෙන් ලංකාවට එරෙහිව ප්‍රබල පණිවුඩයක් නිකුත් වීමට නියමිතව ඇති බවකි. රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප මෙතෙක් කළ කිසිදු අනාවරණයක් වැරැදී නැතිවා සේම, මේ කරන අනාවරණයද 100%ක්ම නිවැරැදි බව අපට විශ්වාසය. ඇතැමුන් ප්‍රශ්න කරන්නේ රාජ්‍ය රහස් තීරයට මෙතරම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්නේ කෙසේදැයි කියාය. රාජ්‍ය රහස් තීරයට සහ ‘මව්රට’ පුවත්පතට ඇති විශාලම ශක්තිය වන්නේද අපට ලැබෙන මේ විශ්වාසදායක තොරතුරුය. ඒ අනුව මෙවර අප වාර්තා කරන්නේ බිමල්ගේ චීන ගමනේ තොරතුරු එළියට පැමිණීමත් සමග ඇමෙරිකාව විශාල වශයෙන් කලබලයට පත්ව ඇති බවකි. පසුගිය සතියේ බොහෝ දෙනා හරිනිගේ චීන සංචාරය සහ ඉන්දීය සංචාරය පිළිබඳ ඇස ගසාගෙන සිටියද ඒ සංචාර දෙකෙන් ලංකාවට අත්වූ ලොකු සුගතියක් නැත. එය හරිනිගේ ප්‍රතිරූපය වර්ධනය වූ සංචාරයක් පමණක් ලෙස සැලකිය හැකිය. නමුත් කිසිවකුටත් නොදන්වා බිමල් සිදුකළ මෙම චීන සංචාරයෙන් අනතුරුව මේ වනවිටත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊට ප්‍රතිචාර දැක්වීමට කැසකවමින් සිටින බව රාජ්‍ය රහස් තීරයට දැනගන්නට තිබේ. එහි පළමු පියවර ලෙස පසුගිය සතියේ ලංකාව සම්බන්ධයෙන් සංචාරක උපදේශන නිවේදනයක් නිකුත් විය. දැන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ එහි ඊළඟ පියවර තැබීමටය. ඒ අනුව තවත් අනතුරු ඇඟවීම් සහිත නිවේදන දෙක තුනක් ඇමෙරිකාවෙන් නිකුත් වීමට ඔන්න මෙන්න ඇති බවක් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට තිබේ. එමෙන්ම ලංකාව සම්බන්ධයෙන් කිසිවකුත් නොසිතන තීන්දුවක් ට්‍රම්ප් පරිපාලනය විසින් එළඹෙන නොවැම්බර් මස අවසානයේදී හෝ දෙසැම්බර් මුල සතියේදී ගැනීමට නියමිත බවද විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් රාජ්‍ය රහස් තීරය වෙත දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙහිදී මතුවන ගැටලුව වන්නේ යම් සැලසුමක් නොමැතිව ආණ්ඩුව මෙසේ චීනය සමග ගමන් කිරීමට තීරණය කොට මේසා විශාල අවදානමක් ගැනීමට සූදානම්දැයි කියාය. කවුරුත් දන්නා පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශාල අවදානමක් ගෙන ඉන්දියාවත්, ඇමෙරිකාවත් පසෙක තබා කෙළින්ම චීනය සමග සිය දේශපාලන කටයුතු සිදුකරගෙන ගියේය. එහිදී චීනයෙන් විශාල වශයෙන් ණය ගෙන අධිවේගී මාර්ග ඉදිකිරීම, ගුවන් තොටුපළ ඉදිකිරීම, සම්මන්ත්‍රණ ශාලා ඉදිකිරීම, ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම වැනි දැවැන්ත ඉදිකිරීම් මහින්ද සිදුකළේය. එමෙන්ම මහින්ද ව්‍යවස්ථානුකූලව වාර දෙකක්ද ජනාධිපති ධුරයන් දැරීය. නමුත් පවුල්වාදය, දූෂණ චෝදනා මුල්කොට ගෙන මහින්දට සිදුවූයේ අවසානයේදී ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව ගෙදර යෑමටය. පරාජයෙන් පසුව බොහෝ දෙනා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වද්දී කියා සිටියේ ඉන්දියාව සහ ඇමෙරිකාව සමග දේශපාලන වශයෙන් විරසකයක් නිර්මාණය කරගැනීම මේ පරාජයට බලපෑ ප්‍රධාන සාධක යැයි කියාය. මේ ඉතිහාසය හොඳින් දන්නා වත්මන් ජනාධිපතිවරයා චීනය සමග ඍජු ගනුදෙනුවකට සූදානම් වන්නේ නම් එහිදී එල්ල වීමට නියමිත අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පිළියම් සකස් කරගෙන එම ගමන යාමට අත්පොත් තබා ඇති බව අපගේ විශ්වාසයය.
හයට හයේ යෝජනාවක්
‘කබීර් ගැන සැකයක්’
පසුගිය සතියේ ‘මව්රට’ පුවත්පතේ මුල් පිටුව ඔස්සේ අප මෙවැනි සිරස්තලයකින් යුත් පුවතක් වාර්තා කළේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකමුතුවක් ගොඩනගනවා නම් එය කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයාබලා සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට වාර්තාවක් ලබාදෙන ලෙස කබීර් හෂීම් මහතාට භාරදීමට කටයුතු කිරීමත් සමගය. අප එම පුවත එසේ වාර්තා කළේ ආවාට ගියාට නොව, ඒ වනවිට අප හට ලැබී තිබුණු අතිශය විශ්වාසදායක තොරතුරු මත පදනම්වය. ඒ අනුව කබීර් එජාපයේ ඉහළ පෙළ නායකයන් තැන් තැන්වල මුණගැසෙමින්, සාකච්ඡා පවත්වමින් මෙම වාර්තාව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා එක්රැස් කරගත් ආකාරය පෙන්වා දුන් අප, විශේෂ සටහනක් තබමින් කියා සිටියේ පෙනෙන්නට ඇති සහ දැනගන්නට ඇති තොරතුරුවලට අනුව කබීර් එජාපයට සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට වාසිසහගත වන ආකාරයට මෙම පක්ෂ දෙක එකතු කිරීමේ වාර්තාව සකස් කිරීමට කටයුතු කරනු ඇතැයි කියාය. ඊට හේතුපාදක වූ කරුණු එකක් දෙකක් නොව ගණනාවක්ම තිබේ.
එහි ප්‍රධාන කාරණාව වන්නේ කබීර් හෂීම් අද ඊයේ සිට නොව එදා සිටම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන නිසාය. සජිත් එජාපයෙන් වෙන්වී සජබය නිර්මාණය කිරීමේදී කබීර්ද ඊට පක්ෂව එජාපයෙන් ඉවත් වුවද, රනිල් සමග පවත්වන සබඳතාව දිගටම පවත්වාගෙන යෑමට කබීර් කටයුතු කළේය. පසුගිය කාලයේදී කබීර් සජබය සහ සජිත් දිනවනවාට වඩා රනිල් වෙනුවෙන් සහ රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සජබය ඇතුළේ යම් යම් ක්‍රියාමාර්ග ගත් බව සජබයේ සිටින කිසිවකුටත් රහසක් නොවේ. මන්ද යත් කාලයක සිටම කබීර්ගේ න්‍යායපත්‍රය වී තිබුණේ සජබය කෙසේ හෝ එජාපයේ කකුල් දෙක ළඟට ගෙන ගොස් සජබය බිමට වට්ටවා එජාපයට එකතු කිරීමටය. සජබ නායකත්වය විනාශ කොට සජබය රනිල්ගේ නායකත්වය යටතේ ඉදිරියට ගෙන යෑමටය. එජාපයේ සිටින රනිල්ගේ හිතවතුන් තුන්හතර දෙනා වන සාගල, වජිර අතට මේ පක්ෂය පත්කිරීමටය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් සහ රනිල් අත්අඩංගුවට ගැනීමෙන් පසු පක්ෂ දෙකේම ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් ඉදිරිපත්වූ ප්‍රධානම කාරණාවක් වූයේ මේ පක්ෂ දෙක එකතු විය යුතු යැයි කියාය. ඒ අනුව සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත්, කළමනාකරණ කමිටුවේදීත් සම්මත කරගත් යෝජනාව වූයේ සජබයේ ප්‍රධානත්වයෙන්, සජබයේ නායකත්වයෙන් සහ සජබයේ මූලිකත්වයෙන් මෙම පක්ෂ දෙක එකතු විය යුතු යැයි කියාය. ඒ අනුව ඉතාම සද්භාවයෙන් යුතුව සජිත්, රනිල් හිතවාදියකු ලෙස ප්‍රකටව සිටින කබීර් වැන්නකුට ඊට අදාළ යෝජනාවලිය සකස් කොට තමන්ට භාරදෙන ලෙස පැවරූයේ අවංකවම සජිත්ටද මේ පක්ෂ දෙක සහ පාක්ෂිකයන් එකතු කිරීමට තිබූ අවශ්‍යතාව නිසාය. නමුත් කොපමණ සද්භාවයකින් යුතුව සජිත්, කබීර්ට මෙම මෙහෙයුම් පැවරුවද කොයි මොහොතක හෝ කබීර් මෙය රනිල්ගේ පැත්තට හරවන බව අපි සහසුද්දයෙන්ම දැන සිටියෙමු. ‘කබීර් ගැන සැකයක්’ යනුවෙන් මීට සති දෙකකට ඉහතදී ‘මව්රට’ පුවත්පතේ පළමු පිටුවෙන්ම අප පුවතක් වාර්තා කළේ ඒ අනුවය.
අප අනාවරණ කළ පුවතට අනුව කබීර් මෙම යෝජනාවලිය සකස් කළේ සම්පූර්ණයෙන්ම රනිල්ගේ කණ්ඩායම සමග පමණක් සාකච්ඡා කිරීමෙන් පසුවය. කිසිදු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් හෝ 1,600කට ආසන්න වූ කිසිදු සජබ පළාත් පාලන මන්ත්‍රීවරයකුගෙන් හෝ විමසීමක් නොකළ කබීර්, තැන් තැන්වල රනිල්ගේ කණ්ඩායම් සමග කතාබස් කොට මෙම වාර්තාව සකස් කරනු ලැබුවේ සජබයට කිසිදු ප්‍රධාන තැනක් නොලැබෙන ලෙසටය. මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සජබයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද, ලක්ෂ 25කට ආසන්න ස්ථිර ඡන්ද පදනමක් සහිත වුවද, විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වුවද, විපක්ෂ නායක ධුරය සජබය දැරුවද කබීර් වාර්තාව සකස් කොට තිබුණේ ඊට සරිලන බර සජබයට තබා නොව, එකදු මන්ත්‍රීවරයකුවත් නැති, ඡන්දයක් දිනන්න හෝ බැරි, ලක්ෂ දෙකහමාරක හෝ ඡන්දයක් නැති, ඉල්ලන ඉල්ලන ඡන්දය පරාජයට පත්වන එජාපයටත්, එජාප නායක රනිල්ටත් බර තබාය.
ඊට හොඳම උදාහරණය වන්නේ කබීර් මෙම යෝජනාවලියේ සඳහන් කොට ඇතැයි කියන එක් යෝජනාවකි. අපට ඇති තොරතුරුවලට අනුව කබීර් මෙම යෝජනාවලියේදී ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කොට පත්කරන නාමයෝජනා කමිටුවට සජබයෙන් 6 දෙනකු පත්කරන විට එජාපයෙන් ඊට 6 දෙනකු පත්කළ යුතු බවට යෝජනාවක් ඇතුළත් කොට තිබේ. එම යෝජනාවෙන් කබීර් ලක්ෂ 25ක් ඇති සජබයත්, ලක්ෂ දෙකහමාරක් ඇති එජාපයත් සම මට්ටමට ගෙන යෝජනාවලිය සකස් කර ඇති බවක් දැකගන්නට පුළුවන. ඒ හරහා සිදුවිය හැකි එකම දේ වන්නේ යම් හෙයකින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් දිනන සජබ අපේක්ෂකයන්ට නාමයෝජනා නොලැබී එජාපයේ ජයග්‍රහණය කළ නොහැකි අපේක්ෂකයන්ට නාමයෝජනා ලැබීමේ වැඩි ඉඩකඩක් තිබීමය. මහඇමැති ධුරය එජාපයේ අපේක්ෂකයකුට හිමිවීමේ ඉඩකඩක් තිබීමය. පළාත් සභා ඇමැතිකම් සජබ මන්ත්‍රීවරුන්ට හිමි නොවී එජාප මන්ත්‍රීවරුන්ට හිමිවීමේ ඉඩකඩක් පැවැතීමය.
අප කරන මෙම හෙළිදරව් කිරීම් හේතුවෙන් කබීර් අප සමග යම්කිසි කෝපයකින් පසුවන බවද අප නොදන්නවා නොවේ. ඊට අපට කිරීමට කිසිවක් නැත. අප වාර්තා කරන්නේ 100%ක්ම තහවුරු කරගත් පුවත්ය. එමෙන්ම අප පෙනී සිටින්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබය වෙනුවෙනි. සජබ පාක්ෂිකයන් වෙනුවෙනි. අප එය කීමට කිසිසේත්ම පැකිලෙන්නේ නැත. ඒ අනුව සජබයට හානිකර යම් දෙයක් සිදුවන්නේද, එයද පාඨකයන්ගේ දැනගැනීම පිණිස නොවලහා හෙළිදරව් කිරීම අපගේ කාර්යයය. ඒ අනුව, කබීර් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව දෙස බලන විට අපට ඇති සැකය වන්නේ කබීර් මෙම යෝජනාවලිය සිරිකොත ඇතුළේ සිට රනිල් සමග එක්ව සකස් කළාදැයි කියාය. සජිත්ගේ දේශපාලනය අවසන් කරන රනිල්ගේ න්‍යායපත්‍රයේ සිට කබීර් මෙම යෝජනාවලිය සකස් කළාදැයි කියාය. ප්‍රේමදාසලා අවසන් කොට සජබ ජ්‍යෙෂ්ඨයන් ලවාම සාගලලාට රුවන්ලාට සජබයේ සින්නක්කර අයිතිය පවරා දීමට උත්සාහ කළාදැයි කියාය. ඒ අනුව අප මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ කබීර්ට කරන්නේ එකම එක අභියෝගයකි. ඒ හැකිනම් පක්ෂ දෙක එකතු කරන යෝජනාවලියේ පළාත් සභා මැතිවරණ නාමයෝජනා මණ්ඩලයට පක්ෂ දෙකෙන්ම සම සමව නියෝජිතයන් නම්කිරීමට කටයුතු කළාද, නැද්ද යන්න ප්‍රසිද්ධියේ පවසන ලෙසටය.
අනෙක් අතට මෙම යෝජනාවලිය සකස් කිරීමට කබීර් නම් කරනවාත් සමග රනිල්ද සැලසුම් කළේ මෙම යෝජනාවලිය සජබයට අවාසි වන ආකාරයට කබීර් ලවා සකස් කරවා සජබය ඇතුළේ යම අර්බූදයක් මතු කොට සජබය බේදභින්න කිරීමටය. එ අනුව රනිල්ගේ එම උත්සාහය යම තරමකින් සාර්ථක වී ඇති බවක් පෙනී යන්නේ යෝජනාවලිය බාරදීමෙන් පසු මේ වනවිට පක්ෂය ඇතුළෙන්ම කබීර්ට යම් යම් ප්‍රහාර එල්ල වෙමින් තිබීම හරහාය.










