ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. ඔවුන් වයස අවුරුදු 29, 31 සහ 41 වන දෙවුන්දර, රත්මලාන සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී පසුගිය වසරේ දී ඉන්දියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති බව සඳහන් වේ. ඒ අනුව මොවුන් තිදෙනා 2024 දී යාපනයේ සිට තමිල්නාඩුවේ රාමේෂ්වරම් දක්වා නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී ඇති බවත්, පසුව ඔවුන් චෙන්නායි සහ කොයිම්බතූර් හි කෙටි කාලයක් රැඳී සිට බැංගලෝර් වෙත ගොස් ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා බැංගලෝර්හි දේවානහල්ලි අසල මහල් නිවාසයක නීතිවිරෝධී ලෙස රැඳී සිටි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් මාස කිහිපයක් නගරයේ සැඟවී සිටි බවට පොලිසිය සැක කරනු ලැබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවකට අවශ්‍යව සිටින බවත් තවත් අයෙකු ශ්‍රී ලංකාවේ මිනීමැරුම් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බවත් සදහන් වේ.










