හරියටම මෙයට සති දෙකකට ඉහතදී ‘මව්රට’ට මා විසින් ලියා තැබූ පිටු තුන්කාලක පමණ දීර්ඝ ලිපියක් විය. එයින් කියැවුණේ මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගෙන පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ සිදුවීමට අදාළ තවත් සම්බන්ධ වූ එක්තරා අපූරු සිදුවීමකි. එනම් හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරගතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විටදී ඔහු එක්තරා ඉංග්‍රීසි ග්‍රන්ථයක් කියවමින් සිටියේය. ඉතා දැඩි උනන්දුවකින් කියවූ එම ග්‍රන්ථය ඔහු රෝහලෙන් පිටව යන විටදීත් තම වම් අතෙහි විය. මෙම දසුනට අදාළ ඡායාරූප ගණනාවක් එකල මාධ්‍යවල පළවූ අතර ඒවායින් එම පොත කුමක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට හැකි විය. Boris Johnson: Unleashed යන්න එම පොතේ නාමය විය. මෙහි බොරිස් ජොන්සන් යනු මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) හිටපු අගමැතිවරයෙකි. ඔහුගේ ජීවිත කතාව මෙසේ මෙරට හිටපු ජනාධිපතිවරයා විසින් බොහෝ උනන්දුවකින් කියැවූයේය.Sri Lanka Latest News
දැනට 61 වැනි වියේ පසුවන බොරිස් ජොන්සන් නමැති මහා බි්‍රතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ලෝකය පුරා මහත් කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයක් විය. එනම් ලොව පුරා දරුණු කොවිඩ් වසංගතය තිබුණු සමයේ වසර 03ක පමණ කාලයක් (2019 ජූලි 24 සිට 2022 සැප්තැම්බර් 06 දක්වා) අගමැති ධුරය දැරූ ඔහුට, තම ධුර කාලයට ප්‍රථම එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. එයට ප්‍රධානතම හේතුව වූයේ එකල තදබල කොවිඩ් වසංගත නීතිරීති තිබෙන විටදී ඔහුගේ මෙහෙයවීමෙන් අගමැති නිල නිවාසය තුළදී මද්‍යපාන සතුටු සාද පැවැත්වීමය. තමන්ගේ පවුලේ සාමාජිකයන් සහ වෙනත් හිතවත් පාක්ෂිකයන්ද සහභාගි කරවාගෙන එම උත්සව තුනක් පැවැත්වූ බවට චෝදනා එල්ල විය. මෙම සිදුවීම් එරට ජන සමාජය මහත් ආන්දෝලනයකට පත්කළ අතර, පසුව එය ජන උද්ඝෝෂණයක් බවටද පත්විය. අවසානයේදී එරට විපක්ෂයේ සහ ජනතාවගේ දැඩි විරෝධය මත බොරිස් ජොන්සන් අගමැතිවරයා ඉල්ලා අස්විය. 2001 වසරේ සිට බි්‍රතාන්‍ය දේශපාලනයේ නිරතව සිටි ඔහු, 2023 වසරේදී දේශපාලනයෙන් ඉවත් වූයේ වසර 22ක දීර්ඝ අත්දැකීම් සහිතවය. විවිධ අර්බුදකාරී සිදුවීම් ගණනාවකටම සම්බන්ධ වූ මෙම රාජ්‍ය නායකයා ගැන අද අසන්නට ලැබී ඇති අලුත්ම කතාව කුමක්ද?
බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයේ සිටියදී තම කාර්යාලයේ සමහර කටයුතු තමන්ගේම පුද්ගලික ලාභ ප්‍රයෝජනය සඳහා භාවිත කර ඇති ආකාරය ගැන මෙම චෝදනාව එල්ල වෙයි. එනම් මෙවැනි දූෂිත ක්‍රියා ගණනාවකට අදාළ රහසිගත ලිපිගොනු රැසක තොරතුරු මේ වනවිට හෙළිවෙමින් තිබේ. තමාගේ අග්‍රාමාත්‍ය ධුර වසර 03ක පමණ කාලයට අදාළව මෙම ලියකියවිලිවල තොරතුරු හෙළිදරව්වී ඇත. රහසිගත රැස්වීම්, තමාගේ සහකරුවන්ට හා හිතවතුන්ට අහේතුක ලෙස රැකියා ලබාදීම, පාර්ලිමේන්තුව නොමග යැවීම, හොර රහසේ බලපෑම් කිරීම්, විවිධ පාර්ශ්ව සඳහා ආකර්ෂණීය ගෙවීම්, විවිධ පාර්ශ්ව සඳහා ව්‍යාපාරික කොන්ත්‍රාත්තු සහ සිය පෞද්ගලික ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට සම්බන්ධතා ගොඩනගා ගැනීම් වැනි චෝදනා රාශියක් බොරිස් ජොන්සන් අගමැතිවරයාට එරෙහිව එල්ල වී ඇත. මෙම දූෂණ වංචා සිදුවීම්වලට අදාළව සාක්ෂි ඔප්පු කර පෙන්වන වටිනා රහසිගත ලියකියවිලි රාශියක් මේ වනවිට සොයාගෙන ඇත. ඒ අනුව සත්‍ය සාධක සහිත මුද්‍රිත ලිපි, ඊමේල් ලේඛන, ඉන්වොයිස් බිල්පත්, පැතුරුම්පත්, පටිගත කෙරුණු කතා, කොන්ත්‍රාත්තු ගිවිසුම් ලේඛන සහ තවත් සාක්ෂි ගණනාවක් හෙළිදරව් කරගෙන ඇත. එනම් මේ ආකාරයෙන් මෙම සුවිශේෂ වාර්තාකරණයට අදාළ සාක්ෂි සහ ලේඛන 1,820ක් හෙළිදරව් කරගෙන ඇත. එය ඉතා පුළුල් පරාසයක අර්බුදයක් බව විශ්ලේෂකයෝ කියා සිටිති.
දැන් එසේනම් මෙවැන්නක් සිදුව ඇත්තේ කේසේද? මෙම සුවිශේෂ හෙළිදරව් කිරීම පසුගියදා සිදුකර ඇත්තේ එක්තරා පිළිගත් විමර්ශනාත්මක කණ්ඩායමක් විසිනි. එනම් මෙයට කාලයකට පෙර ලෝකයේ මහත් කතාබහට ලක්වූ ‘පැනමා පේපර්ස්’ (පැනමා පත්‍රිකා) සහ ‘පැන්ඩෝරා පේපර්ස්’ (පැන්ඩෝරා පත්‍රිකා) යන විමර්ශනාත්මක ලේඛන මෙන් මෙම සිදුවීමට අදාළවද ලේඛන හෙළිදරව් කිරීම සිදුකොට ඇත. එම මෙහෙවර සිදුකළ පාර්ශ්වය කවරෙක්ද?
බොරිස් ජොන්සන් අගමැතිවරයාට අදාළ වූ මෙම සුවිශේෂ හෙළිදරව් කිරීම් සිදුකර ඇත්තේ ‘ඩිස්ටි්‍රබියුටඩ් ඩිනයිල් ඔෆ් සීක්‍රට්ස්’ (Distributed Denial of Secrets) නමැති විමර්ශන සංවිධානය විසිනි. ලෝකයේ විවිධ පාර්ශ්වවලට අදාළ නොයෙකුත් හෙළි නොවුණු රහස්, විමර්ශනයක් හරහා ලෝකයට හෙළිකිරීම මෙම සංවිධානයේ ක්‍රියාවලිය වෙයි. මෙය මාධ්‍ය කලාව ආශ්‍රිතව මෙහෙයවනු ලබන ලාභ නොලබන සංවිධානයක් වෙයි. එනම් මෙයට පෙර ලෝකයට හෙළිකරනු ලැබූ ‘පැනමා පත්‍රිකා’ සහ ‘පැන්ඩෝරා පත්‍රිකා’ නමැති රහස්‍ය ලේඛන විමර්ශනය සිදුකළ අයි.සී.අයි.ජේ. නමැති ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය මෙන් ක්‍රියාවලියක් ඉහත සංවිධානය විසින්ද සිදුකරනු ලබයි. එහෙත් මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ 2018දී වන අතර, දැනට වසර 7ක පමණ ඉතිහාසයක් ඇත. කෙසේ හෝ මෙම විමර්ශන සංවිධානය 2024 දෙසැම්බර් මාසය වනවිටදී ලෝකයේ රටවල් 59කට අදාළ විවිධ රහස්‍යමය ලියකියවිලි ලිපිගොනු මිලියන 100කට වඩා ප්‍රකාශයට පත්කර ඇත. මුලින් ඇමෙරිකාවේදී ආරම්භ කරන ලද මෙම සංවිධානයේ ප්‍රධානී එමා බෙස්ට් නමැති විමර්ශනශීලී මාධ්‍යවේදිනියකි. ඇය කලක් ලෝකයේ ප්‍රකට රහස්‍ය ලේඛන හෙළිදරව් කළ ‘විකිලීක්ස්’ සංවිධානයේ කටයුතු කළ අතර, එහි ප්‍රධානී ජූලියන් අසාන්ජේගේ සමීප හිතවතියක වෙයි. එමා බෙස්ට් යනු පරිගණක ‘හැකර්වරියක’ ලෙසද ප්‍රකටය. මෙම සංවිධානය සමග ලෝකයේ රටවල් රාශියක සිටින ගවේෂණශීලී මාධ්‍යවේදීන් රැසක් අනුබද්ධිත වී කටයුතු කරති. ඔවුන් සිදුකළ බොරිස් ජොන්සන් රහස් ලේඛන අනාවරණය මහත් ආන්දෝලනයකට පත්ව ඇත.
බොරිස් ජොන්සන් අගමැතිවරයාට අදාළ මෙම ප්‍රධාන හෙළිදරව් කිරීම් මොනවාද?
★ බොරිස් ජොන්සන් අගමැති ධුරයේ සිටියදී ජ්‍යෙෂ්ඨ සෞදි අරාබි රාජ්‍ය නිලධාරීන් හමුවිය. එකල ඔහු මහා බි්‍රතාන්‍යයේ ස්ථාපිත වූ පරිසර උපදේශන සමාගමක් වන ‘බෙටර් අර්ත්’හි සම සභාපති ධු රය දැරීය. ඛනිජ තෙල් රාජ්‍යයේ ඒකාධිපති ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් සමග සාකච්ඡා කරමින් බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ කාබන් විමෝචනය අඩුකිරීම සඳහා උපදෙස් ලබාදීම සඳහා ‘බෙටර් අර්ත්’ සමාගම බඳවා ගැනීමට සෞදි රජයට කටයුතු කරන ලෙසය. බලපෑම් සීමාවන් උල්ලංඝනය කරමින් ඔහු කටයුතු කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.
★ අගමැති ධුරයේදී වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ හමුවීමෙන් පසු ඔහුගේ හෙජ් අරමුදලකින් පවුම් 240,000ක මුදලක් බොරිස් ජොන්සන්ට ප්‍රදානය කර ඇත. ජොන්සන් විසින් මධුරෝ හඳුන්වා දී තිබුණේ ‘නපුරු පාලනයක ඒකාධිපතියකු’ ලෙසය. ජොන්සන් මීට පෙර මහා බි්‍රතාන්‍යයේ නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණේ කිසිදු එවැනි සාකච්ඡාවක් සඳහා තමන්ට මුදල් ප්‍රමාණයන් නොලැබුණු බවය.
★ අගමැති ධුරයට පත්වී මාසයකට පසු බොරිස් ජොන්සන් මතභේදාත්මක ඇමෙරිකානු දත්ත සමාගමක් වන ‘පැලැන්තීර්’හි ප්‍රකෝටිපති සම නිර්මාතෘ පීටර් තියෙල් සමග රහසිගත හමුවක් පැවැත්වීය. ඉන් පසුව කොවිඩ් වසංගත සමයේදී රෝහල් දත්ත සහ රෝගීන්ගේ තොරතුරු විශ්ලේෂණය සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා පවුම් මිලියන 330ක විශාල කොන්ත්‍රාත්තුවක් ඇමෙරිකානු සමාගමට ලබාදෙන ලදී.
★ මහා බි්‍රතාන්‍යයේ සියලු හිටපු අගමැතිවරුන්ට ‘මහජන රාජකාරි දීමනාව’ ලෙස වසරකට පවුම් 115,000ක් දීමනාවක් ලෙස රජය විසින් ලබාදෙයි. මෙම දීමනාව ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ලැබෙයි. මෙම මුදල් ඔවුන්ගේ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කිරීමට අදහස් නොකෙරෙන අතර, මහජන පොදු කාර්යයන් සඳහා යෙදවීමට අදහස් කෙරෙයි. එම දීමනාවට නිශ්චිත මුදලක් තිබුණද බොරිස් ජොන්සන් අගමැති ධුරයෙන් ඉවත් වුණ ුදා සිටම එම දීමනාව ලෙස පවුම් 181,000ක මුදලක් ඉල්ලුම් කර ඇත.
මේ ආකාරයට හිටපු අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව චෝදනා ගණනාවක් ඉහත රහසිගත හෙළිදරව් කිරීම් හරහා පෙනීයයි. එහෙත් ඒ සියල්ලක්ම මෙහි ලියා තබන්නට ඉඩකඩක් නැත. මෙලෙස බොරිස් ජොන්සන් තරම් අපකීර්තියට ලක්වූ වෙනත් අගමැතිවරයකු මහා බි්‍රතාන්‍යයේ නොසිටි බව දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත. එසේම කිසිම අගමැතිවරයකුට මෙතරම් අපවාද සහ දූෂණ වංචා එල්ලවී නැතැයිද පැවැසෙයි. සදාචාරාත්මක ප්‍රමිතීන් බිඳදැමීමට බොරිස් ජොන්සන් බොහෝ විට කටයුතු කර ඇතැයි විවිධ පාර්ශ්ව චෝදනා කර සිටී.
මේ ආකාරයට අලුතින් හෙළිදරව් වී ඇති චෝදනාවලට අදාළව විමර්ශනයක් සිදුකිරීමටත්, පසුව නීති මාර්ගයෙන් බොරිස් ජොන්සන්ට එරෙහිව කටයුතු කිරීමටත් වගකිව යුතු පාර්ශ්ව පියවර ගනිමින් සිටී. ඔහු වරදකරු වුවහොත් තදබල දඬුවම්වලට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










