රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති, දොස්තර රාජිත සේනාරත්න මහතා රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ සිරකරුවන් විසින් මීට පෙර බිත්ති මත ලියා ඇති කුරුටු ගී (කවි) කියවා රසවිඳින බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
මේ කවි තමන්ට රසවත් මතක සටහන් වනු ඇතැයි ඔහු සෙසු රැඳවූවන්ට සහ ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇතැයි වාර්තා වේ. ඒ් මහතා බන්ධනාගාර බලධාරීන් වෙතින් කිසිදු පහසුකමක් ඉල්ලා නොමැති අතර, පසුගිය බදාදා වෛද්‍ය පරීක්ෂණයකට බන්ධනාගාර රෝහලට ගෙන ගිය ද ඉන්පසු රිමාන්ඩ් බන්ධනාගාරයටම යෑමට අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.
විවිධ චෝදනාවලට ලක්ව රක්‍ෂිත බන්ධනාගාරගත කළ රජයේ නිලධාරීන් ඇතුළු සිරකරුවන් 25 දෙනකු පමණ රාජිත සේනාරත්න මහතා සමඟ එන් වාට්ටුවේ සිටින අතර, දිනපතා පුවත්පත් කියවමින් සහ රූපවාහිනිය නරඹමින් සේනාරත්න මහතා කල් ගත කරන බව ද සඳහන්ය. හිටපු ඇමැතිවරයා හමුවීමට දිනකට 15ත් 20ත් අතර පිරිසක් පසුගිය සතියේ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණි අතර, ඒ නිසා ඔහුට උදය වරුවේ සහ පස්වරුවේ වැඩි කාලයක් අමුත්තන් වෙනුවෙන් ගත කිරීමට සිදු වූ බවත් ඊයේ (07) දිනයේ අමුත්තන් හමුවීමට රැඳවූවන්ට අවස්ථාව හිමි නොවන නිසා ඔහු තම සිර වාට්ටුවට වී කල් ගත කළ බවත් බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.










