‘හර්ෂලා කියන්නේ හර්ෂලා කියන දේයි ආණ්ඩුව කරන්නේ කියලා. එතකොට මේකේ ප්‍රතිපත්තිමය විසංවාදයක් නැහැ. මේ විපක්ෂයයි ආණ්ඩුවයි අතර තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඒක. මේ විසංවාදයක් නැති නිසා මේ දෙගොල්ලන්ගෙන් තුන්ගොල්ලන්ගෙන් මොකා ආවත් කවුරු අතට බල පෙරළිය ගියත් එකම පාර. එකම මාවත. එකම ප්‍රතිපත්තිය. එකම බෙහෙත. එකම කසාය වට්ටෝරුව. එකම ප්‍රතිකර්මය. එකම දොස්තර. එතකොට ආයේ ලෙඩාට සුවයක් අත්වන්නේ නැහැ. එතකොට ඕනෙ මේ ප්‍රතිකර්ම ක්‍රමයෙන් එළියට එන ක්‍රමයක්. දැන් හර්ෂලා කියන්නේ සම්පූර්ණයෙන් අපි කියපු විදියට තමයි ඔබතුමාලා යන්නේ. ඔබතුමාලා කලින් කිව්වේ ඕක නෙවෙයි. හැබැයි දැන් අපි කියපු විදියට තමයි ඔබතුමන්ලා යන්නේ. දැන් අපි සතුටුයි. අපි සුබ පතනවා. ඕකනේ හර්ෂගේ උදාන වාක්‍යය. ඉතින් එහෙම කියනකොට විරුද්ධ පක්ෂයක් ඕනෙ නැහැනේ. මේගොල්ලම ගියාවේ. මේගොල්ලෝ යන්නේ රනිල් ගිය පාරේ නම් රනිල්ම ගියා නම් ඉවරයිනේ. එහෙමනේ ඕක හිතෙන්නේ. එතකොට කාටවත් හිතෙන්නේ නැහැනේ දැන් මේගොල්ලෝ වැරැදි නම් මේගොල්ලෝ යවලා අරගොල්ලෝ යන්නෙත් මේ පාරේම නම් මොකක්ද ගෙන ඒමේ තියෙන ප්‍රතිඵලය? මේපාර ගෙන එන්න ඕනෙ ප්‍රතිවිරුද්ධ දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕනෙ කඳවුරක්….’Sri Lanka Latest News
අනුර ජනාධිපති වූවාට පසු දේශපාලනඥයෙක්ගෙන් අහපු හොඳම උදාන වාක්‍යය, මේ විමල් කියන උදාන වාක්‍යයය.
අද ලංකාවේ විපක්ෂය කොටස් තුනකි. ප්‍රධාන විපක්ෂය සමගි ජන බලවේගයය. ඊළඟට නාමල්ගේ පොදුජන පෙරමුණය. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යූ.ඇන්.පී.යය. මේ අතරින් සමගි ජන බලවේගයත් යූ.ඇන්.පී.යත් ආණ්ඩුව කරන කරන දේට කියන කතාවක් තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආවොත් සජබයයි යූ.ඇන්.පී.යයි කියන්නේ එහෙමය.
‘මේ රනිල් වසර 40කට කලින් ගෙන ආව ප්‍රතිසංස්කරණ. ඒවාට ජවිපෙ එදා විරුද්ධ වුණා. අද පක්ෂ වෙලා. මේක අපේ ජයග්‍රහණයක්. අපි ගෙනාපු ප්‍රතිසංස්කරණ තමයි මේගොල්ලෝ අද ක්‍රියාත්මක කරන්නේ. අපි සුබ පතනවා…’
මේ, යූ.ඇන්.පී.යයි සමගි ජන බලවේගයයි හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන කතාවය.
අයි.එම්.එෆ්. කොන්දේසි ඉටුකිරීම ගැන සමගි ජන බලවේගයයි යූ.ඇන්.පී.යයි කියන්නේ මේ කතාවය.
‘අපි තමයි ඉස්සෙල්ලාම අයි.එම්.එෆ්. යන්න කිව්වේ. ජවිපෙ හැමදාම අයි.එම්.එෆ්. යනවාට විරුද්ධයි. අපි සුබ පතනවා අපේ පාරේ ජවිපෙ ගමන් කිරීම ගැන…’
මේ, අයි.එම්.එෆ්. කොන්දේසි ඉටුකිරීම ගැන සමගි ජන බලවේගයයි යූ.ඇන්.පී.යයි කියන කතාවය.
තැපැල් සේවකයෝ ඇඟිලි සලකුණු දැමිය යුතු යැයි ඇමැති නලින්ද කියන කතාවට සමගි ජන බලවේගයයි යූ.ඇන්.පී.යයි කියන්නේ මෙහෙමය.
‘අපිත් කිව්වේ ඕකම තමයි. අපි ඕකට පක්ෂයි. එදා අපි ඕක කියද්දී ජවිපෙ ස්ට්‍රයික් කළා. ජවිපෙ අපේ ප්‍රතිපත්ති පිළිගැනීම ගැන අපි සතුටු වෙනවා…’
අනුර ජනාධිපති වී මේ වනවිට වසරකට ආසන්නය. විපක්ෂයේ මේ කතාව අහලාම ජනතාවට තිත්ත වෙලාය. විමල් කියන්නැහේ ආණ්ඩුව යන්නේ අපේ පාරේ, ඒ නිසා අපි සතුටු වෙනවා යැයි කියන විපක්ෂයක් රටට අවශ්‍ය නැත.
‘ආණ්ඩුව යන්නේ වැරැදි පාරේ. අපි යන්නේ හරි පාරේ…’
රටට අවශ්‍ය මෙහෙම විපක්ෂයකි. පුදුමය පොදුජන පෙරමුණත් ආණ්ඩුවේ අයි.එම්.එෆ්. ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය, වැඩවර්ජන ප්‍රතිපත්තිය විවේචනය කරන්නේ නැත. මහින්ද හැමදාමත් අයි.එම්.එෆ්. යෑම ප්‍රතිපත්තියක් ලෙස ප්‍රතික්ෂේප කළ නායකයෙකි. මහින්දලා ඇතුළු ශ්‍රීලනිපය එදා රනිල්ගේ ධවල පත්‍රිකාවට එරෙහිව පාරට බැහැපු විපක්ෂයකි. මහින්දලා ඇතුළු ශ්‍රීලනිපය වැඩවර්ජන වෙනුවෙන් පෙනීහිටපු විපක්ෂයකි. අද පොදුජන පෙරමුණත් ශ්‍රීලනිපයත් තමන්ගේ ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනීසිටින්නේ නැත්තේ රනිල්ගේ ආණ්ඩුවට එක්වී ඔවුන්ගේ මොළද රනිල් හෝදලා දමපු නිසාය. ඔවුන්ද රනිල් හරි කිය කියා ගිය නිසාය.
ආණ්ඩුව හරි කියන්න විපක්ෂයක් අවශ්‍ය නැත. ජවිපෙ අද කියන්නේ තමන් විපක්ෂයේ සිටියදී විපක්ෂයේ කාර්යභාරය කළ බවත්, ආණ්ඩුවට ආ පසු ආණ්ඩුවේ කාර්යභාරය කරන බවත්ය. ජවිපෙ තර්කය හරිය.
ජේ.ආර්. වරක් අපූරු කතාවක් කීවේය. බලය ගන්න නම් බයිබලයේ සඳහන් වන පරිදි ඔටුවා ඉඳිකටු සිදුරෙන් රිංගන්න තම ශරීරය වෙනස් කරගන්නවා සේ පක්ෂය වෙනස් කරගත යුතු බවය.
බණ්ඩාරනායක, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ගහද්දී, ‘මේක තමයි අපි කිව්වේ. අද ආණ්ඩුව අපි කිව්ව පාරේ යනවා. අපිට හරිම සතුටුයි…’ කියා කීවේ නැත. ජේ.ආර්. සුදු ඇඳගෙන මල් වට්ටිය ඔළුවේ තියාගෙන දළදා මාලිගාවට පෙළපාළියෙන් ගියේ බණ්ඩාරනායකටත් වඩා හොඳ සිංහල බෞද්ධයෙකු බව පෙන්වමිනි.
2000දී චන්ද්‍රිකා යුද්ධයට දේශපාලන විසඳුමක් ලෙස පැකේජය ඉදිරිපත් කළ විට ඕක තමයි ජේ.ආර්. 1987 පළාත් සභා ගෙනල්ලා කළේ. එදා ජේ.ආර්. කළ දේ අද ආණ්ඩුව කරනවා අපිට සතුටුයි යැයි රනිල් කීවේත් නැත. ඔහු පාර්ලිමේන්තුවේ පැකේජය ගිනි තිබ්බේය.
2002 රනිල් අගමැති වී එල්.ටී.ටී.ඊ.ය සමග සටන් විරාමයක් ගසා උතුරට අන්තර් පාලනයක් යෝජනා කළ විට මමයි නෝර්වේට කිව්වේ මැදිහත් වෙන්න කියලා. ඔය සටන් විරාමය මගේ සංකල්පයක්. මම එදා පැකේජය ගෙන ආ වෙලාවේ යූ.ඇන්.පී.ය විරුද්ධ වුණා. අද යූ.ඇන්.පී.ය මගේ පාරේ යෑම ගැන සතුටු වෙනවා යැයි චන්ද්‍රිකා කීවේ නැත. ඇය රනිල් රට පාවාදෙනවා කියා රටම ඇවිස්සුවාය. ඇත්තටම නෝර්වේ ලංකාවේ සාමයට මැදිහත් කරගත්තේ ඇයය. සටන් විරාම ගිවිසුමේ මූලික රාමුව හැදුවේත් ඇය සහ විදේශ ඇමැති කදිරගාමර්ය. නමුත් බලය ගන්න ඇයත් රාජ්‍යතාන්ත්‍රිකයකු යැයි කී කදිරගාමර්ද නෝර්වේ මැදිහත්වීම සහ සටන් විරාමය රට පාවාදීමක් යැයි කීහ.
1988 ජනාධිපතිවරණයේදී ජේ.ආර්. තම වේදිකාවට නැගීම තමාට අවාසියක් යැයි සිතූ ප්‍රේමදාස ජේ.ආර්.ට තම රැස්වීම්වලට නොඑන ලෙස පුද්ගලිකව ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීමට කලින් ජේ.ආර්. සහභාගි වූ ප්‍රේමදාසගේ අවසන් රැස්වීමේදී ජේ.ආර්. කීවේ ශ්‍රීලනිප අපේක්ෂිකා මැතිනිය දින්නොත් ඇයට එන්න වෙන්නේ තමාගේ පාරේ කියාය. ඇය දින්නේ නැත. ඒත් 1994 දියණිය චන්ද්‍රිකා දිනලා ගියේ ජේ.ආර්.ගේ පාරේය. ජේ.ආර්. ඒ කාලේ ඒ ගැන සතුටු වී චන්ද්‍රිකාව උපහාසයට ලක් කළේය. ඒ, ජේ.ආර්. විශ්‍රාම ගොස් සිටි නිසාය. රනිල්ද අද විශ්‍රාම ගොස් අනුර යන්නේ මගේ පාරේ කියනවා නම් කම් නැත. ඔහු දේශපාලනයේ සිටම ඒ කතාව කීමෙන් ඔහුම ඔහුගේ දේශපාලනයත් ඔහුගේ අනුගාමිකයන්ගේ දේශපාලනයත් අවලංගු කරයි. මේ රනිල් කියන කතාවම සමගි ජන බලවේගයයි, යූ.ඇන්.පී.යයි, පොදුජන පෙරමුණයි, ශ්‍රීලනිපයයි කියන්න යාමෙන් ඔවුන් ඔවුන්ගේ දේශපාලනය අවලංගු කරගනී.
‘අයි.එම්.එෆ්. කියන කියන විදියට අපි නටන්න සූදානම් නැහැ. ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට එකම විසඳුම අයි.එම්.එෆ්. නොවෙයි. අපි ළඟ වෙනම වැඩපිළිවෙළක් තියෙනවා…’
‘රනිල්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද රටට ගැළපෙන්නේ නැහැ. අද රටට අවශ්‍ය රනිල්, ගෝඨා හදපු කමිටුවල ප්‍රතිසංස්කරණ නොවේ. අධ්‍යාපන විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවකින් හදන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ…’
‘වෘත්තීය සමිතිවලට අත තියන්න එන්න එපා. කම්කරු අයිතීන් ආරක්ෂා කරන්න වෘත්තීය සමිති අවශ්‍යයි…’
කොන්ද කෙළින් තියාගෙන එහෙම කියන්න විපක්ෂයක් අද රටට අවශ්‍යය.
‘ඒ විපක්ෂය බිහිකරන්නේ කවුද…?’ ඊළඟ ජනාධිපති ඔහුය.










