2010 ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් දිනලා මහින්ද ‘පීක්’ එකේ ඉන්න වෙලාවේ ජ්යොතිෂවේදිනියක් අනාවැකියක් කීවාය. ඒ අනාවැකිය නම් මහින්ද කවදා හරි ඉවර වෙන්නේ කාන්තාවක් අතින් කියාය. ඒ අනාවැකියට මහින්දලා කලබල වුණේ නැත.Sri Lanka Latest News
හැබැයි නොසිතූ වෙලාවක බැසිල්ගේ දිවිනැගුමට එරෙහිව එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තීන්දුවක් දුන්නාය. රාජපක්ෂ පවුලට යකා නැග්ගේය. ශිරාණිව අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන්න තීරණය කළේය. ශිරාණි රාජපක්ෂලාගේ තර්ජන ගර්ජනවලට යටත් වුණේ නැත. ඇයගේ සහායට ලංකාවේ නීතිඥවරු ඉදිරියට ආහ. රාජපක්ෂලාට හොරෙන් කඩේ යමින් ගහමරා ගනිමින් සිටි විපක්ෂයටද පණ ආවේය. ඔවුන්ද ශිරාණි වටා එක්විය. ශිරාණි රාජපක්ෂ පවුලට එරෙහිව නැගී සිටින වීර කාන්තාව බවට පත්වූවාය. ශිරාණිට එරෙහි දෝෂාභියෝගය ජාත්‍යන්තරයට ගියේය. රාජපක්ෂවරු හොම්බෙන් ඇදගෙන වැටුණි.
ශිරාණීට එරෙහි දෝෂාභියෝගය මැද ලංකාවේ එවක ඇමෙරිකානු තානාපතිනි මයිකල් ජේ සිසන් සහ එවක ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ උපදේශකවරියක වූ සමන්තා පවර් සහ එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය වූ නවනීදන් පිල්ලේ එක්ව මහින්දගේ ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් සම්මත කරගත්හ. ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවල් වැඩි ඡන්දයෙන් යෝජනා සම්මත කරද්දී මහින්දගේ ආණ්ඩුව හතර ගාතෙන් වැටුණි.
ශිරාණි, මයිකල් ජේ. සිසන්, සමන්තා පවර්, නවනීදන් පිල්ලේ මේ ඔක්කොම කාන්තාවන්ය. මේ කාන්තාවන් මහින්දගේ සහ රාජපක්ෂගේ පවුලේ අධිරාජ්‍යයට මල්ටි බැරල් ගහද්දී තවත් කාන්තාවක් 2015 ජනාධිපතිවරණයේ මහින්දගේ ආණ්ඩුව පෙරළන්න විපක්ෂය එකතු කොට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න කුමන්ත්‍රණය කරමින් සිටියාය. ඇය චන්ද්‍රිකාය. මෛත්‍රීපාලව පොදු අපේක්ෂකයා කරගෙන මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු පිරිසක් එළියට ගත්තේ ඇයය. ඒ රාජපක්ෂ අධිරාජ්‍යයට එල්ල කළ අවසාන මල්ටි බැරල් රොකට් ප්‍රහාරය විය. රාජපක්ෂ අධිරාජ්‍යය ඇදගෙන වැටුණි.
හැබැයි කාන්තාවක් ජනාධිපති වුණේවත් අගමැති වුණේවත් නැත. මෛත්‍රී ජනාධිපති කොට ඉන්දියාවේ සෝනියා ගාන්ධි මෙන් රට පාලනය කරන්න චන්ද්‍රිකා හිතුවත් මෛත්‍රී, චන්ද්‍රිකාව කොන් කළේය. අන්තිමේදී මෛත්‍රී ඉවර විය.
යළිත් කාන්තාවක් රජවෙන බවට ජ්‍යොතිෂවේදීන් කියන්න ගත්තේ 2024 ජනාධිපතිවරණය කට ළඟ තිබියදීය. මේ කාන්තාව කවුදැයි හැමෝම විස්මිතව බලා සිටියහ. හැබැයි කාටත් රහසින් අරගලයට පසු කාන්තාවක් මතුවෙමින් සිටියාය. ඇය ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි හරිනි අමරසූරියය.
හරිනි උපන්නේ ගාල්ලේය. ඇය ඩී.ඇස්. සේනානායක ආණ්ඩුවේ දේශපාලන පතාකයකු වූ වලව් පසුබිමකින් පැවැත එන වෙළෙඳ ඇමැති එච්.ඩබ්. අමරසූරියගේ ඥාති පවුලකින් පැවැත එන කාන්තාවකි. එහෙම බලනකොට ඇය යූ.ඇන්.පී. පවුල් පරම්පරාවක පුරුකකි. බණ්ඩාරනායක මැතිනිය 1970 අගමැති වී යූ.ඇන්.පී. ධනපතියන්ගේ ඉඩම් පවරා ගන්නා පනත ගෙන ආ විට හරිනිගේ පියාගේ වතු යායක් රජයට පවරාගනු ලැබීය. හරිනිගේ පවුලට කොළඹට එන්න සිදුවූයේ ඒ වතුයාය රජයට පවරාගත් නිසාය. ඇය ඉගෙනගත්තේ බිෂොප් විද්‍යාලයේය. ඇය බිෂොප් විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ ඇයට ඇමෙරිකාවෙන් ශිෂ්‍ය හුවමාරු ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකාවේ පාසලක අධ්‍යාපනය ලබන්න ශිෂ්‍යත්වයක් ලැබිණි. පසුව ඇයට ඉන්දියාවෙන් උපාධියක් ලබන්න ශිෂ්‍යත්වයක් ලැබිණි. ඇයට ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ සබඳතා හැදෙන්නේ එලෙසය. ඉන් පසු ඇය ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළාය. මේ රාජ්‍ය නොවන සංවිධානය ඇමෙරිකානු ආධාර ලබපු රාජ්‍ය නොවන සංවිධානයකි. එහි සේවය කරද්දී ඇය ආචාර්ය උපාධියක් කරන්න එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ගියාය. උපාධිය අවසන් කළ ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවයට බැඳුණාය. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පණගසා නැගිටින්නේ විවෘත විශ්වවිද්‍යාලය තුළින්ය. හරිනි එහි ලොකු කාර්යභාරයක් කළාය. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට වැටුප් වැඩිකරන ලෙසත්, අධ්‍යාපනයට 8%ක් වෙන්කරන්න කියාත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නොහොත් ෆුටා පාරට බහින්නේ රාජ්‍ය පාලනයට එරෙහිවය. හරිනි එහි පෙරගමන්කාරියක් වූවාය. ඇය ජවිපෙට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමග සමීපව වැඩ කරන්න පටන් ගත්තේ මේ කාලයේය. හරිනි ජවිපෙ හඳුනාගන්නේත්, ජවිපෙ හරිනිව හඳුනාගන්නේත් මේ කාලයේය. හැබැයි හරිනි ජවිපෙට සම්බන්ධ වෙන්න කැමැති නොවූවාය. හරිනි වගේ චරිත ජවිපෙට සම්බන්ධ කරගන්න ජවිපෙ ජාතික ජන බලවේගය හදන්නේ හරිනිලා වගේ ජවිපෙට සම්බන්ධ වෙන්න අකැමැති, ඒත් ජවිපෙ එක්ක වැඩ කරන්න කැමැති චරිත එකතු කරගන්නටය.
2020 මහ මැතිවරණයේදී ජවිපෙට ආසන 13ක් ලැබෙනු ඇතැයි ජවිපෙ අධි තක්සේරුවක සිටියේය. ජාතික ජන බලවේගය ලෙස ජවිපෙ 2020 මහ මැතිවරණයට තරග කළ අතර, ජවිප ජාතික ලැයිස්තුවේ අංක එකට සිටියේ බිමල් රත්නායකය. දෙකට සිටියේ මහාචාර්ය අබේරත්නය. තෙවැන්නා ආචාර්ය හරිනි අමරසූරියය. මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් ජවිපෙ ආසන 13 හීනය බොඳවිය. ජවිපෙ හතරගාතෙන් ඇදවැටුණි. තේරීපත් වූයේ මන්ත්‍රීවරු තුන්දෙනෙකි. ඉන් එකක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් දෙකක් විය. එකක් ජවිපෙ නැගී එන තරුවක් වූ බිමල්ය. අනෙක ජාතික ජන බලවේගය හදන්න දරදිය ඇද්ද හරිනිය. එකල හරිනි රට දන්න චරිතයක් නොවීය. ජාතික ලැයිස්තුව බිමල්ටත් නොදී මහාචාර්ය අබේරත්නටත් නොදී හරිනිට දෙන්න ජවිපෙ තීරණය කළේය. ඒත් පාර්ලිමේන්තුව තුළ හරිනි කැපීපෙනෙන චරිතයක් නොවූවාය. හරිනිව ජාතික ලැයිස්තුවට දමා ජවිපෙ දිනාගත්තේ කුමක්දැයි ජවිපෙ හිතවාදීන් ප්‍රශ්න කරන තරමට හරිනිගේ පාර්ලිමේන්තු භූමිකාව ආකර්ෂණීය භූමිකාවක් නොවීය. ඇය පාර්ලිමේන්තුවට ඇවිත් දුන්නේ ලෙක්චර්ය.
ගෑනුන්ගේ පින කුණු මුල්ලේ කියන්නේ නිකම් නොවේ. අරගලයට පසු සමගි ජන බලවේගයේ ජාත්‍යන්තර තරු වූ හර්ෂලා ඇතුළු මන්ත්‍රීවරු සමග පැවැති විදේශ මාධ්‍ය හමුවකට හරිනිද සහභාගි වූවාය. එම මාධ්‍ය හමුව පැවැත්වූයේ අරගලයට පසු රනිල් ජනාධිපති වී රනිල්ට එරෙහිව අරගල කරමින් ජවිපෙ පෙරට එන කාලයේය. ජවිපෙ නැග්ම පටන්ගත්තේ ගෝඨාට එරෙහි අරගලයෙන් නොව රනිල්ට එරෙහි අරගලයෙන්ය. ඒ මාධ්‍ය හමුවේ හරිනිගේ භූමිකාව මෙරට ඉහළ මධ්‍යම පන්තියේ සහ වෘත්තිකයන්ගේ හිතට වැදුණි. ඉන් පසු ඇය ‘ගැහැනු අපි එක මිටට’ රට පුරා කාන්තාවන් ජාතික ජන බලවේගයට එකතු කරන මෙහෙයුමක් පටන් ගත්තාය. ඇය කරළියට ආවේ ඒ මෙහෙයුමෙන්ය.
‘හරිනි අනුර වගේම අපිට සම්පතක්…’
බිමල් රත්නායක පසුගියදා කීවේ නිකම් නොවේ. අනුර දින්නේ ඇය නිසා බව නොකියා කියමින්ය.
‘ඇයි බිමල් එහෙම කිව්වේ..,?’
බිමල් එහෙම කීවේ බිමල් හරිනිගෙන් අගමැති ධුරය ලබාගන්න ජවිපෙ මෙහෙයවන බවට පැතිර ඇති කටකතා නිසා විය හැකිය. කෙසේ හෝ 2020 බිමල්ට හරිනි නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නැති විය. 2024 අගමැති ධුරය නැතිවිය. දැන් රෝහිත රාජපක්ෂගේ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් හරිනි කළ ප්‍රකාශයට එරෙහිව අගමැතිගේ කැබිනට් මණ්ඩලයේ සිටින ඇමැතිවරු ප්‍රකාශ සිකුත් කරන්න පටන්ගෙන තිබේ.
2010-2015 කාලයේ බැසිල් රාජපක්ෂ මේ විදියටම පක්ෂ ලේකම් මෛත්රීපාලගේ ප්‍රකාශවලට ගහන්න ආණ්ඩුවේ ඇමැතිවරු මෙහෙයවීය. මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට ආවේ ඒ ගැහිලි ඉවසා දරාගත නොහැකිවය.
‘හරිනි මේ ගැහිලි ඉවසාගෙන සිටීද…?’
ඒක නම් කියන්න දන්න් නැත. හැබැයි හරිනි ඉන්දු-ඇමෙරිකා ඒකාබද්ධ නිෂ්පාදනයකි. හරිනිට අත තියලා අත පුච්චාගන්න ජවිපෙ කැමැති වෙතැයි සිතිය නොහැකිය.










