සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පුද්ගලයන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් ලබාගෙන මුදල් විශුද්ධිකරණය කළැයි කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) වැඩ බලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් රන්ජන් හියාරේ ගමගේ ලබන (18) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (14) නියෝග කළා.Sri Lanka Latest News
සැකකාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුනේ අද (14) පෙරවරුවේදීයි.
ගාල්ල හා ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශය භාරව කටයුතු කළ කාල වකවානුව තුළ වෙනත් පුද්ගලයකු නමින් ගිණුම් තුනක් විවෘත කර එම ගිණුම් වලට සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පොලිසියේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයට අධික මුදලක් බැර කරවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණා.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂිකා නීතිඥ තුසිතා ජයනෙත්නි අධිකරණය හමුවේ පෙනී සිටියා.
සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තමන්ගෙන් සේවය ලබා ගැනීමට පොලිසියට පැමිණි පුද්ගලයන්ගෙන්, මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම සැකකරු නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානවලින් පවා මුදල් ලබාගෙන බැංකු ගිණුම් තුනක මුදල් බැර කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවේ මෙවැනි අදහසක්.
“ස්වාමීනි, මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දුලාජ් තරංග යන අය අත්අඩංගුවට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔහුගේ වට්සැප් ගිණුමට පණිවිඩ තුනක් ලැබිලා තිබුණා. අනුර නානායක්කාර කියන තැනැත්තෙකුගේ ගිණුම් විස්තර පිළිබඳව ඒ එක පණිවිඩයක සඳහන්ව තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුර නානායක්කාර යන අයව ගෙන්වා ප්‍රශ්න කරලා තියෙනවා. එම ප්‍රකාශවලදී ඔහු කියලා තියෙන්නේ ඒ බැංකු ගිණුම් තමන්ගේ ඒවා නොව, ඒවා මේ විත්ති කූඩුවේ සිටින මෙම සැකකරුගේ බවයි. එහෙම තමයි මේ වංචාව ගැන හෙළි වුණේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්තුවා. පසුව එම තොරතුරු අනුව මෙම සැකකරුව ඔහුගේ රාජකාරි ස්ථානයේදී අත්අඩංගුවට ගත්තා. අනුර නානායක්කාර යන පුද්ගලයාගේ නමින් මෙම සැකකරුට අයත් ගිණුම් තුනත් පෞද්ගලික බැංකු තුනක තිබෙනවා. එම බැංකු ගිණුම්වලට අවස්ථා ගණනාවකදී මොහුගෙන් සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන්, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හා නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථානවලින් වෙනත් අපරාධකරුවන්ගෙන් මුදල් තැන්පත් කරගෙන තිබෙන බවට හෙළි වී තිබෙනවා. ස්වාමීනි මෙම ප්‍රශ්නගත බැංකු ගිණුම් තුනට රුපියල් ලක්ෂ 140 මුදලක් බැර වෙලා තියෙන්නේ මාස අටක් වැනි කෙටි කාලයක් තුළදීයි. මෙම සැකකරුගේ බිරිඳව අල්ලස් කොමිසම හමුවට ගෙනල්ලා ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී ඇය මෙම සිද්ධිය සම්බන්ධව සත්‍යය හෙළි කළා. ඒ වගේම, ස්වාමීනී, මේ සැකකරුගේ ආරක්ෂක නිලධාරියා විසින් මෙම ප්‍රශ්නගත බැංකු ගිණුම් තුනට සියයකට වැඩි වාර ගණනකදී මුදල් තැන්පත් කරනු ලැබ තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.
ඒවගේම, මොහුගේ රියදුරු අදාළ බැංකු ගිණුම්වලට අවස්ථා 50කදි ලක්ෂ 14කට අධික මුදලක් තැන්පත් කල බවටද කරුණු හෙළි වී තිබෙනවා. එපමණක්ද නොව ස්වාමීනි මෙම සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින්ද අවස්ථා තුනකදී මුදල් තැන්පත් කර තිබෙනවා. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමිල පරණවිතාන නමැති පුද්ගලයෙකුගෙන්ද මෙම ගිණුම්වලට මුදල් තැන්පත් කර තිබෙනවා. ස්වාමීනී මෙම සිද්ධියට අදාළව තවත් බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙනවා. “
“ස්වාමීනි, අනුර නානායක්කාර යන අය 2025 අගෝස්තු 5 වැනි දින කොමිසම හමුවේ දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නා. ඔහු සිය දිවුරුම් ප්‍රකාශය මගින් ඔහුට මේ සැකකරුගෙන් බලපෑම් එල්ල වෙලා ඇති බවට පවසා තිබෙනවා. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමුව කැඳවූ අවස්ථාවේදී සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිව ඇත්තේ ඒ නිසා. ඒ කියන්නේ සකකරු කරපු බලපෑම් ගැන මේ වෙනකොට කරුණු අනාවරණය වී තිබෙනවා. ස්වාමීනි, මේ තුළින් සිදුව ඇත්තේ දූෂණය නම් වරදයි. ඇප පනත ප්‍රකාරව සහ දූෂණ විරෝධී පනතේ 122 වගන්තිය යටතේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමීනී අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය පරිදි මොහුව මෙම නඩුකරය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න පුළුවන්. එම නිසා මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් ඉල්ලා සිටිනවා.“
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ මෙවැනි අදහසක්.
“ස්වාමීනි, අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් පවසන පරිදි අනුර නානායක්කාර යන පුද්ගලයා කොමිසමට දිවුරුම් ප්‍රකාශය දීලා තිබෙන්නේ 2025 අගෝස්තු මාසේ 5වැනිදා. නමුත් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ 2024 වර්ෂයේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු ලබා දීලා තිබෙනවා. ඇප ලබාදිය හැකි අවස්ථාවන් නම් සියලු සැකකරුවන් හට ඇප ලබා දෙන්න කියලා. අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑම වෙලාවක ඕනෑම පුද්ගලයකුගෙන් දිවුරුම් ප්‍රකාශ ගන්න පුළුවන්. එහෙමයි කියලා දිවුරුම් ප්‍රකාශයක් මත සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවක් නැහැ. එම නිසා සුදුසු ඇප කොන්දේසියක් මත මගේ සේවාදායකයා මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.” ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය , සැකකරුගේ තරාතිරම කෙසේ වෙතත්, මේ වන විට සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොවන බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට දැනුම් දුන්නා. එමෙන්ම මෙම සැකකරුගෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බවටද කරුණු අනාවරණය වන බැවින් සැකකරු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත්වුණා.










