ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා කරුණු 15කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදෙනු ලැබීය.
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ එකමුතුව මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.
අදාළ විශ්වාසභංග යෝජනාව මගින් පෙන්වා දෙනු ලැබ ඇත්තේ අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකෙරෙන විට බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන බවයි.
‘මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියාකළ යුතු අතර සෑම විටෙකම යම් පොදු සම්පත් භාවිතයද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් ඒකාග්‍රතාවකින් විය යුතුය’ යනුවෙන් සඳහන් මතය චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැලූබැල්මට තහවුරුව නිරීක්ෂණය වන බැවින්, මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව පවසන සමගි ජන බලවේගය පවසයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු බවට මුලින්ම යෝජනාව සම්මත වූයේ පසුගිය සඳුදා පැවැති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
ඉන් අනතුරුව එම යෝජනාව විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබිණි.
එම සාකච්ඡාවට විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සහභාගි වී තිබිණි.
කතානායකවරයා වෙත යොමුකර ඇති විශ්වාසභංග යෝජනාවට කරුණු 15ක යෝජනාවලියක් අමුණා ඇත.
නන්දන ශ්‍රී දොරකඹුර










