කෝ හොරු ඇල්ලුවද?
කෝ බදු අඩු කළාද?
කෝ අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කළාද?
කෝ හොරකම් නතර කරලා බඩු මිල අඩු කළාද?
කෝ ප්‍රයිවටයිසේෂන් නතර කළාද?
අනුර දින්න මුල් දවස්වල විපක්ෂය මේ ප්‍රශ්න අහන කොට ජවිපෙ අපූරු උත්තරයක් දුන්නේය.Sri Lanka Latest News
‘බබෙක් හම්බවෙන්නත් මාස 9ක් යනවා. ඇවිත් මාසෙන් දෙකෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?’
‘කලබල වෙන්න එපා වැඩේ යටින් යනවා…’
මේ, ජවිපෙ දුන්න උත්තරය.
බබෙක් හම්බ වෙන්න මාස 9ක් යනවා නම් අගෝස්තු මාසයට අනුර ජනාධිපති වෙලා මාස 11කි.
‘දැන් බබා හම්බවෙලා…’
කවුදෝ මේ පෝස්ට් එක ෆේස්බුක් එකේ දමා තිබිණි.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි කිව්වැහේ ආණ්ඩුවක වැඩ මනින්න මාස 11 හෝ අවුරුද්ද හොඳටම ඇතිය. ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපති ජේ.ආර්.ගෙන් පටන්ගතහොත් ඒ බව මනාව පෙනේ.
ජේ.ආර්. 1977 බලයට ඇවිත් රටේ මහා ආර්ථික පෙරළියක් කළේ පළමු වසර තුළය. ආර්ථිකය විවෘත කොට ඔහු මහා ලොකු පෙරළියක් කළේ මිනිස්සුන්ගේ ඇස් පනාපිටය. ඒ වගේම විදේශ ආයෝජන සඳහා මහකොළඹ ආර්ථික කොමිසම, නිදහස් වෙළෙඳ කලාප සඳහා අණපනත් සම්මත කළේත් පළමු මාස කීපයේය. පෝලිම්වල දුක් විඳි මිනිස්සුන්ට ජේ.ආර්.ගේ පළමු මාස කීපය මැජික් එකක් සේ පෙනුණි. ලලිත් නිදහස් වෙළෙඳපළ හදද්දී ගාමිණී මහවැලියට සල්ලි හොයන්න පටන් ගත්තේය. ප්‍රේමදාස ගම්උදාවට ගෙවල් හදන්න පටන් ගත්තේත් ඒ පළමු වසර තුළය.
ප්‍රේමදාස ජනාධිපති වූයේ උතුරේ ඉන්දියන් හමුදාව සිටියදී ජවිපෙ දකුණේ තුණ්ඩු කෑල්ලෙන් රට වහද්දීය. ඔහු කීවේ ඔහුට හිමි වුණේ දෙකොන පත්තු වෙන විලක්කුවක් කියාය. ප්‍රේමදාසගේ මැතිවරණ පොරොන්දු දෙකක් විය. පළමු පොරොන්දුව ඉන්දීය හමුදා ඉවත් කිරීමය. දෙවැනි පොරොන්දුව ජනසවිය ක්‍රියාත්මක කිරීමය. මේ දෙකම ඉටුකළ නොහැකි පොරොන්දු දෙකකි. ජනසවියට මුදල් ආධාර ලෝක බැංකුවෙන් හම්බවෙන්නේ නැතැයි හිටපු මුදල් ඇමැති රොනී ද මැල් අනාවැකියක් කියා තිබිණි. ඉන්දියාව ඉන්දීය හමුදා ඉවත් කර නොගන්නා බව ප්‍රේමදාස හැර හැමෝම දැන සිටියහ. ප්‍රේමදාස ජවිපෙ භීෂණය මැද කොහොම හරි පළමු වසරේ ලෝක බැංකුවෙන් ආධාර ගෙන ජනසවිය දෙන්න පටන් ගත්තේය. ඔහු එල්.ටී.ටී.ඊ.ය සාකච්ඡා මේසයට ගෙන්වා ගෙන එල්.ටී.ටී.ඊ.ය ලංකා ආණ්ඩුව සමග විසඳුමකට එන්න එකඟ බව ඉන්දියාවට පෙන්වා ඉන්දීය හමුදාව ඉවත් කරගන්නා ලෙස හැම දවසකම ඉන්දියාවට බලපෑම් කළේය. වරක් ඔහු තමන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සියදිවි හානි කරගන්නා බවටද තර්ජනය කළ බව ඒ.ජේ. රණසිංහ පවසා තිබිණි. කවුරුත් නොහිතපු විදියට 1990 මාර්තු ඉන්දීය හමුදාව ඉවත්ව යන බව නිවේදනය කළේය. ප්‍රේමදාස ජනාධිපති වුණේ 1988 දෙසැම්බර් 19 වැනිදාය. හරියටම ප්‍රේමදාස ජනාධිපති වී වසරයි මාස තුනක් පිරෙද්දී ඉන්දීය හමුදාව යවන බවට ප්‍රේමදාස දුන්න ඉටුකළ නොහැකි පොරොන්දුව ඔහු ඉටු කළේය.
1994 බලයට ආ චන්ද්‍රිකාගේ ලොකුම පොරොන්දුවක් වූයේ පාන් 3.50ට දීමත්, උතුරට සාමය ගෙන ඒමත්ය. ඇය පොරොන්දු වූවා සේ පාන් 3.50ට දුන්නාය. පසුව ඇය පාන් මිල වැඩි කළාය. ඇය උතුරට සාමය ගේන්න පළමු වසරේම සාම සාකච්ඡා පටන් ගත්තාය. ඇය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණත් එය ඉටු කළේ නැත. ඒත් පළමු වසරේදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නව ව්‍යවස්ථාවක් ගේන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කළාය. කොබ්බෑකඩුව ඝාතනය, විජය ඝාතනය, ලලිත් ඇතුළු ඝාතන සොයන්න ඇය කොමිෂන් පත් කරන බවටත්, ජවිපෙ සාමාජිකයන් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම් ගැන හොයන්න කොමිෂන් පත්කරන බවටත් ඇය පොරොන්දු වූවාය. ඇය පළමු මාස කිහිපයේම කොමිෂන් පත්කොට සාක්ෂි විභාග කරන්න පටන් ගත්තාය. අල්ලස් සහ දූෂණ හොයන්න වෙනම කොමිෂන් පත් කළාය. ඇය පළමු මාස කීපයේ කිව්ව පොරොන්දු ඉෂ්ට කරන බව ජනතාවට පෙන්නුවාය. පසුව ඒ කොමිෂන් විහිළුවක් විය. ඒත් ඇය කිව්ව දේ කළාය.
2005 ජනාධිපති වූ මහින්දගේ එකම පොරොන්දුව වූයේ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් රට මුදාගන්නා පොරොන්දුවය. ඒ වගේම පොහොර සහනාධාරය යළි දෙන්නත්, පුද්ගලීකරණය නතර කරන්නත් ඔහු පොරොන්දු විය. මහින්ද පළමු වසරේදීම මාවිල්ආරු හරහා යුද්ධය පටන් ගත්තේය. මහින්ද ජනාධිපති වූයේ 2005 නොවැම්බර් 17 වැනිදාය. මහින්ද 2006 ජූලි මාසයේ මාවිල්ආරු සොරොව්ව අරින්න යුද්ධය පටන් ගත්තේය. ඔහු බලයට ආ විගසම පොහොර සහනාධාරය දුන්නේය. ඔහු කිසිදු රාජ්‍ය ආයතනයක් පුද්ගලීකරණය කළේ නැත. පුද්ගලිකකරණය කළ ශ්‍රී ලංකා එයාර් ලයින් යළි රජයට පවරා ගත්තේය.
මෛත්‍රී සහ රනිල් ආණ්ඩුව හැදුවේ 2015දීය. ඒ ආණ්ඩුවේ පොරොන්දු කීපයක් විය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, හොරුන්ට දඬුවම් දීම, බඩු මිල අඩු කිරීම, රජයේ සේවක වැටුප් වැඩි කිරීම ඒ අතර විය. 2015 අප්‍රේල් මාසයේම විධායක ජනාධිපති බලය අගමැතිට පවරන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ පාර්ලිමේන්තු බහුතරය මෛත්‍රී-රනිල් ආණ්ඩුවට නොතිබියදීය. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ නිසා විධායකයේ අසීමිත බලතල කප්පාදු කරනු ලැබීය. හරියටම 2015 ජනවාරියේ අයවැය මගින් ලංකා ඉතිහාසයේ පළමු වරට රජයේ සේවක වැටුප් 10,000කින් වැඩි විය. තෙල් මිල රුපියල් 33කින් අඩු විය. ගෑස් මිල රුපියල් 300කින් අඩු විය. කිරිපිටි මිල ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු විය. හොරු ඇල්ලීම නම් නාගත්තේය. හැබැයි කිව්ව දේවල් පළමු වසරේ පළමු මාස කීපයේ ඉටු කළේය. ධනපතියන්ට බදු ගැහුවේය.
2019 ගෝඨා ජනාධිපති වී කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් මෛත්‍රී-රනිල් පනවපු බදු වහාම අහෝසි කළේය. වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න මෛත්‍රී-රනිල් එකඟතාව අහෝසි කොට තමන් පුද්ගලීකරණයට එරෙහිව දුන්න ප්‍රතිපත්ති රකින බව පළමු මාස කීපයේම පෙන්නුවේය. ලොව මහා බලවතා ඇමෙරිකාව තරහා කරගෙන පොරොන්දු වූ පරිදි මිලේනියම් වැඩසටහන අහෝසි කළේය. මිලේනියම් වැඩසටහන අහෝසි නොකරන ලෙස කියන්න ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලංකාවට ආවේය. ඒත් පොදුජන පෙරමුණ මිලේනියම් වැඩසටහන ගැන බොරු කප්පරක් කියා තිබිණි. ඡන්දෙ කාලේ කී ඒ බොරු, බොරු වුණත් බොරු බව ජනතාවට නොපෙන්වා ජනතාවට දුන්න පොරොන්දුව මාස කීපයකින් ඉටු කළේය. ගෝඨා මේ සියල්ල කළේ කොවිඩ් වසංගතය මැදය. කොවිඩ් පිට දමා ඔහු පොරොන්දු කඩ කළේ නැත. ඒ පොරොන්දු ඉටු කිරීමෙන් රට වැටුණි. හැබැයි ඔහු මිනිස්සුන්ට දුන්න වචනය පළමු මාස කීපයේදීම තිබ්බේය.
‘එතකොට අනුරගේ ආණ්ඩුව…?’
දැන් මාස 11ට ආසන්නය. ජවිපෙම කී විදියට බබා හම්බවෙලාය. හැබැයි තවමත් ජනතාවට බබා හුක්කුන්ය.










