පුංචි ඡන්දය පවත්වන්න නියමිතව තිබුණේ 2022 පෙබරවාරි මාසයේය. පුංචි ඡන්දය පැවැත්වූවොත් යූ.ඇන්.පී.ය නැත්තටම නැතිවී සජිත් සහ සමගි ජන බලවේගය තව තවත් ශක්තිමත් වනු ඇතැයි එකල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටි රනිල් හිතුවේය. ඔහු මේ ගුළිය පොදුජන පෙරමුණු ආණ්ඩුවට කැව්වේය. පොදුජන පෙරමුණත් පුංචි ඡන්දයකට යන්න බය වුණේ 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 මහ මැතිවරණයේදී ගත් 69 ලක්ෂයක ඡන්ද පදනම කඩාගෙන වැටී සජිත් ඊළඟ ජනාධිපතිවරණය ජයගැනීමට පුංචි ඡන්දයෙන් පාර කපාගනී කියාය.Sri Lanka Latest News
ඇත්තටම එදා පුංචි ඡන්දය තිබ්බා නම් පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ගණනාවක් ජයග්‍රහණය කිරීමට නියමිතව තිබිණි. මන්ද ඒ වනවිට තෙල් පෝලිම්, ගෑස් පෝලිම් තිබුණේ නැත. සජිත් සහ සමගි ජන බලවේගයත් පුංචි ඡන්දයේදී පොදුජන පෙරමුණට කරට කර සටනක් දීමට පුළුවන් තැනක සිටියේය. ඒ වෙනකොට කවුරුත් ජවිපෙ ගැන කතා කළේ නැත. ජවිපෙ හැමදාම ගන්නා 3% ගැනීමට නියමිතව තිබිණි. එම ඡන්දය තියා පොදුජන පෙරමුණ ඡන්ද නායයෑමකට හසුවී බහුතර පළාත් පාලන ආයතන ගණනාවක් දින්නා නම් ලංකාවේ කවදාවත් අරගලයක් එන්නේ නැත. හේතුව පුංචි ඡන්දයේ ජන වරමින් ගෝඨාගේ ආණ්ඩුවට අරගලයක් ආවත් එය මර්දනය කිරීමට දේශපාලන ශක්තියක් ලැබී තිබෙන නිසාය.
ඒත් පොදුජන පෙරමුණු ආණ්ඩුව මේ කිසිවක් කල්පනා නොකොට සජිත්ව ඉවර කරන්න සජිත් එන එක වළක්වන්න රනිල්ගේ ගුළි කාලා පුංචි ඡන්දය කල් දැම්මේය. එකල ඡන්දවලට බය ජවිපෙත් සද්දේ වහලා හිටියේය.
අරගලය පටන් ගෙන මහින්දට අගමැති ධුරය දමලා යන්න සිදුවූ විට ගෝඨා සජිත්ට අගමැති ධුරය භාරගන්න යැයි ආරාධනා කළේය. සජිත් බැහැ කීවේ නැත. ඔහු කොන්දේසි ඉදිරිපත් කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
නිශ්චිත කාලයකදී ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත් වීම
මහ මැතිවරණයක් පැවැත්වීම
ඇමැති මණ්ඩලය තේරීමේ බලය සජිත්ට දී සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම
මේ කොන්දේසිවලට පොදුජන පෙරමුණ කැමැති වුණේ නැත. සජිත් අගමැති වෙනවාට රාජපක්ෂ පවුල කැමැති වුණේත් නැත. කොන්දේසි ගැන කතා කරන්න සමගි ජන බලවේගය නියෝජනය කරමින් එරාන් වික්‍රමරත්න ඇතුළු මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලයේ එක් කාමරයක සාකච්ඡා කරද්දී ගෝඨාභය රාජපක්ෂ පවුලේ බලපෑම මත අගමැති ධුරයේ දිවුරුම් දෙන්න රනිල්ව අනෙක් කාමරයේ රඳවා තිබිණි. ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසු ගෝඨා ලියූ පොතෙහි පැහැදිලිව සඳහන් වන්නේ තමන් සජිත්ට අගමැති ධුරය භාරගැනීමට ආරාධනා කළ විට සජිත් බැහැ කීවා කියා නොව, සජිත් කොන්දේසි ඉදිරිපත් කළ බවය.
එදා ගෝඨාභය සජිත්ගේ කොන්දේසි පිළිගෙන සජිත්ව අගමැති කොට මහ ඡන්දයක් පැවැත්වූවා නම් සමගි ජන බලවේගයට ආසන බහුතරයක් ගත හැකිව තිබුණත් 113 ගැනීමට අසීරු වීමට ඉඩ තිබිණි. විපක්ෂය සඳහා පොදුජන පෙරමුණ සහ ජවිපෙ අතර මාරාන්තික සටනක් ඇතිවී පොදුජන පෙරමුණ ප්‍රධාන විපක්ෂය වීමට ඉඩ තිබිණි. ජවිපෙ ආසන 20ක් වගේ ගැනීමට ඉඩ තිබිණි. අරගලය වෙලාවේත් ජවිපෙ ලොකු පිම්මක් පැන තිබුණේ නැත. මුලින්ම අනුර සහ ජවිපෙ අරගලයට සහාය දුන්නේ නැත. නායකත්වයක් නැති අරගලවලට යන්න එපා යැයි අනුර නිවේදනයක්ද නිකුත් කර තිබිණි. එදා අරගල භූමියේ සජිත්ට පහර දෙද්දී අනුරත් අරගල භූමියට හොර පාරකින් ඇවිත් යන්න ගියේය. ජවිපෙ කරළියට ආවේ රනිල් ඔහුට බැංකු හොරා කී පොදුජන පෙරමුණේ ඡන්දවලින් ජනාධිපති වී සමගි ජන බලවේගය බිලී බාගන්න උත්සාහ කරද්දීය.
‘මුන් ඔක්කොම බොරුවට ගහ මරාගෙන එකට කනවා…’
මිනිස්සු ජවිපෙට ඔක්සිජන් දුන්නේ එහෙම කියාගෙනය.
අරගලයට බයේ ගෝඨාභය රටින් පැන ගිය විට කතානායක සර්වපාක්ෂික රැස්වීමක් ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති සමග කැඳවා ගෝඨාභයත් අගමැති රනිල් වහාම ඉල්ලා අස්විය යුතු යැයි යෝජනාවක් සම්මත කරගත්හ. රනිල් දුවගොස් රාජපක්ෂ පවුල සහ පොදුජන පෙරමුණ අවුස්සා ඔහුව ගෝඨා ලවා වැඩබලන ජනාධිපති ධුරයට පත්කරවා ගත්තේය. එසේ නොවුණා නම් ජනාධිපති කතානායකය. අගමැති සජිත්ය. බිහිවන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්ය. එවන් සර්වපාක්ෂික ආණ්ඩුවකින් මහ ඡන්දයකට ගියා නම් ඒත් විපක්ෂය පොදුජන පෙරමුණය. ජවිපෙට හිමිවන්නේ තුන්වැනි තැනය. සජිත් සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැති ලෙස 113 නොවුණත් බහුතර ආසන ගණනක් දිනාගන්නවා නියතය. එසේ වූවා නම් ජනාධිපතිවරණ නැත. මන්ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය.
රනිල් ජනාධිපති වීමෙන් වැටුණේ සජිත් සහ සමගි ජන බලවේගයය. හේතුව රනිල් සමගි ජන බලවේගය කඩා හවුල් ආණ්ඩුවක් හදන බවට ලංකාවේ සියලු මාධ්‍ය නිවුස් ප්ලාන්ට් කළ නිසාය. ජවිපෙ නගින්න පටන් ගත්තේ එතැන් සිටය. සජිත්ව ඉවර කරන්න රනිල් සහ පොදු පෙරමුණ ජවිපෙටත් අනුරටත් හයිය දුන්හ. සජිත් අනුර එක්ක විවාදයට බයයි කියලා පෙන්වන්න ස්වාධීන රූපවාහිනිය අනුරට සජිත් නැති හිස් පුටුවක් තියාගෙන තනියම විවාද කරන්න ගුවන් කාලය ලබා දුන්නේය. අද දකුණු ඉවුර රැකගමු කියා කෑමොර දෙන රනිල්වාදීහු ඊළඟ ජනාධිපතිවරණය වමේ අනුර සහ දකුණේ රනිල් අතර සටනක් කියා සජිත්ගේ දේශපාලනය ඉවරයි කිය කියා අනුරට ඔක්සිජන් දුන්හ. රනිල්ගේ ප්‍රතිවාදියා අනුර කිය කියා අනුරව පිම්බුවේය.
ඒත් 2023 පැවැත්වීමට නියමිත පුංචි ඡන්දය පැවැත්වූවා නම් දිනන්නේ සමගි ජන බලවේගයය. ඒ වෙනකොට ජවිපෙ ප්‍රධාන බලවේගයක් බවට පත්වී තිබුණු නිසා ජවිපෙට දෙවැනි තැනත් පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන සැලකිය යුතු ප්‍රමාණයකුත් දිනාගැනීමට හැකියාව තිබිණි. ඒ වෙලාවේත් සජිත් පුංචි ඡන්දය දිනා ජනාධිපති වීම වළක්වන්න රනිල් සහ පොදුජන පෙරමුණ කුමන්ත්‍රණය කළහ.
2024 ජනාධිපතිවරණයේදී රනිල් පොදුජන පෙරමුණ කැඩුවේ නැතිනම් රනිල්ට ජනාධිපතිවරණයට එන්න හැකියාවක් නැත. එසේ වූවා නම් රනිල්ට ජනාධිපති සටනින් ඉවත් වීමට සිදුවේ. එසේ වූවා නම් දිනන්නේ සජිත්ය.
හේතුව පොදුජන පෙරමුණ එක්සත්ව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට අනුර ගිලගත් පොදුජන පෙරමුණු ඡන්ද කඩන නිසාත් රනිල්ට තරගයෙන් ඉවත් වෙන්න සිදුවී සජිත් සුළු ජාතික ඡන්ද ගෙඩිය පිටින් ගන්නා නිසාත්ය. එහෙම වුණා නම් අද යූ.ඇන්.පී.යේ අනාථ වී සිටින යූ.ඇන්.පී. හිටපු මන්ත්‍රීවරු සජිත් යටතේ එක්සත් වී පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇමැතිවරුද වන්නට හැකියාව තිබිණි. පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයෙන් පරාජය වුවද සැලකිය යුතු මන්ත්‍රී සංඛ්‍යාවක් ගත හැකිව තිබිණි.
සජිත්ව ඉවර කරන්න තමන් සහ රනිල් ගහන ගේමෙන් දිනන්නේ ජවිපෙ බවත්, ජවිපෙ පොදුජන පෙරමුණේ ඡන්ද ගිලින බවත් අවසානයේදී තේරුම් ගෙන බැසිල් මහ ඡන්දයකට යන ලෙස රනිල්ට බලපෑම් කළේය. එලෙස මහ ඡන්දයක් තිබ්බා නම් එක් වැඩි ආසනයකින් හෝ දිනන්නේ සජිත්ය. ජවිපෙ පළමුව මහ ඡන්දයකට ගියා නම් ජවිපෙ අපේක්ෂකයන්ට ලොකු ජනතා ආකර්ෂණයක් ලැබෙන්නේ නැත. ජනතා ආකර්ෂණය හිමි අනුරත් ජනාධිපතිවරණයේදී ගත්තේ 42%කි. එදා මහ ඡන්දයකට ගියා නම් රනිල්ට යන්න වෙන්නේ පොදුජන පෙරමුණ එක්කය. පක්ෂය කඩාගන්නේ නැතිව ආණ්ඩුවක් ලෙස ඡන්දයට ගියා නම් පොදුජන පෙරමුණටද සැලකිය යුතු ආසන ගණනක් දිනාගැනීමට හැකියාව තිබිණි. හැබැයි ඒ මහින්දව අගමැති කොට රනිල් පොදුජන පෙරමුණ එක්ක ඡන්දයකට ගියා නම්ය.
මේ සියල්ල ගණන් හදලා බලනකොට පේන්නේ අනුර දින්නේ රනිල්ගේ සහ පොදුජන පෙරමුණේ සජිත් වෛරය නිසා මිස අනෙකක් නිසා නොවන බවය. දැනුත් සමහරු සජිත්ට වඩා නාමල් ඉදිරියට එනවා කියා පතුරන්නේ ඒ වෛරයය. ජවිපෙ න්‍යායාචාර්යවරු පවා ඒ මතය ජනගත කරන්නේ සජිත්ව ඉවර කොට අනුරව ජනාධිපති ධුරයේ තියාගන්නටය. සජිත්ට වෛර කරන්න කරන්න විනාශ වෙන්නේ සජිත් නොව, ශක්තිමත් වන්නේ ජවිපෙය. සජිත්ටත් ඔහුගේ පවුලටත් මඩ පිට මඩ ගහපු හිටපු ඇමැතිවරුන්ට අද රෑට හීනෙන් ජම්පරය පෙනි පෙනී ‘සජියාට නම් එන්න දෙන්න බෑ‘ කියනවාද දන්නේ නැත. ’කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ‘ කියන්නේ ඕකටය.










