ජාතික ජන බලවේගය තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව දේශපාලන විශ්ලේෂක වරුණ රාජපක්ෂ මහතා පවසනවා. සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කරමින් රාජපක්ෂ මහතා පළකළ එම අදහස් පහත දැක්වේ. Sri Lanka Latest News
ආණ්ඩුවේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අනිල් ජයන්ත. අනිත් එක්කෙනා හර්ෂණ සූරියප්පෙරුම. මේ දෙන්නා ලොකු අමාරුවක වැටුණා පහුගිය දවස්වල. ඒ තමයි අපි කලින් දවසක වාර්තා කරපු සිද්ධියක්. ආණ්ඩුව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් (එෆ්.එල්. 01) ලබාදීම පිළිබඳ සිද්ධියක්. මේක අපි මුලින්ම ෆේස්බුක් සටහනකින් කිව්වා. ඒත් එක්කම මේක මාධ්‍යවලත් පළවුණා. ඒ අනුව මේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නා ලොකු අපහසුතාවකට පත්වුණා. ඇමැතිවරු දෙන්නා සුරාබදු එකට කතාකරලා අහලා තියෙනවා ඇත්තද මේ එෆ්.එල්. 01 එකක් දීලා තියෙනවා කියන්නේ කියලා. එතකොට සුරාබදු එකෙන් කියලා තියෙනවා ඔවු ඇමැතිතුමා එහෙම එකක් දීලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් මේ බලපත්‍රය දෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. ෆිස්කල් පොලිසි එකෙන්. ඒක තියෙන්නේ මේ ඇමැතිවරු දෙන්නා යටතේ. ඒ අනුව ඇමැතිවරු දෙන්නා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දුන්නා කොහොමද මේක වුණේ කියලා.
මුදල් නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නට මෙහෙම වෙච්ච එක අලුත් අත්දැකීමක් නෙවෙයි. මොකද මේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරු දෙන්නා දන්නේ නැතුව මුදල් අමාත්‍යාංශයේ හැම දෙයක්ම වෙනවා. ඒ නිසා මේ තත්ත්වය ඔවුන්ට පුරුදුයි. හැබැයි පුරුදු වුණාට මේ පීඩනයේ අවසාන අදියරකට ඔවුන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් බොහොම කලකිරීමෙන් මේ පිළිබඳ අදහස් දක්වලා තියෙනවා.
මේ තත්ත්වය වර්ධනය වෙලා මේක සිදුවෙන්න ප්‍රධාන හේතුව තමයි, වර්තමාන ආණ්ඩුව, පැලවත්තෙන් එහෙම නැත්නම් බොල්ෂෙවික් පක්ෂය මගින් සම්පූර්ණයෙන්ම පාලනය කරන තැනට පත්වෙලා තියෙනවා. ඒ අනුව දැන් අමාත්‍යවරු කොයි තරම් ප්‍රමාණයක් හිටියත් මේ අමාත්‍යවරුන්ව බයිපාස් කරලා කෙළින්ම අමාත්‍යාංශවල ලේකම්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන්ට, විශේෂයෙන්ම බොහෝ ආයතනවලට පත්කරලා තියෙන සභාපතිවරුන්ට අණ දෙන්නේ පැලවත්ත මූලස්ථානයෙන්. ඒකෙන් පත්කරලා තියෙනවා අධීක්ෂණය කරන අය, සොයාබලන අය. මේ ආකෘතිය අලුත් එකකුත් නෙවෙයි. 2004ත් ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍යාංශ 4ක් ගත්තා. ඒ අමාත්‍යාංශ 4ට පී.බී. එකෙන් 4 දෙනෙක් දැම්මා අමාත්‍යාංශ බලන්න. උදාහරණයක් විදියට චන්ද්‍රසේන විජේසිංහ සහ නිහාල් ගලප්පත්ති ධීවර නියෝජ්‍ය ඇමැතිවරු විදියට පත්කළාට පී.බී. එකෙන් ඒක බලන්න දාලා හිටියේ ප්‍රේමකුමාර් ගුණරත්නම්. ප්‍රේමකුමාර් ගුණරත්නම් තමයි හුඟක් ආයතනවලට අධ්‍යක්ෂවරු එහෙම පත් කළේ. එයා තමයි ඒක මෙහෙයෙව්වේ. ඔය විදියට ඒ ඒ අමාත්‍යාංශවලට එක එක්කෙනාව දාලා තිබුණා. ඒවා ගැන හොයා බලන්න, අධීක්ෂණය කරන්න. ඉතින් දැනුත් එහෙම දාලා තියෙනවා. නමුත් මේක වෙනස් තත්ත්වයක්. දැන් මේක ආණ්ඩුවක් නිසා ආණ්ඩුවේ බොහෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැලවත්තෙන් ඩිරෙක්ට් ඕඩර්ස් එන එකත් එක්ක මේක බරපතළ අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. ඇතැම් පොලිස් මාරුවීම් පවා පැලවත්තෙන් කරන තැනට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක ඇමැතිවරු යම් කනස්සල්ලකට පත්වෙලා ඉන්නවා. ඒ කනස්සල්ලට පත්වීමත් එක්ක මේ ඇමැතිවරුන්ගේ පැත්තෙන් යම් කසුකුසුවක් නගන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මාලිමාවේ ඇමැතිවරුන්ගේ පැත්තෙන්. ඔවුන්ගේ මේ කසුකුසුව එක්තරා විදියක වර්ධනය වෙලා එමින් තියෙනවා. අපි කලින් දවසක කිව්වා හරිනි අමරසූරිය යම් කණ්ඩායමක් එක්ක සාකච්ඡා ප්‍රමාණයක් කරමින් ඉන්නවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ මෛත්‍රී එක්ක හරිනි සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවක් ගැන තොරතුරුත් ඒ අතර එළියට දාලා තිබුණා.
මේ අතර අපි දැක්කා අගමැතිනි හරිනි අමරසූරිය ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්ව මුණගැහිලා තිබුණා. ඒ අවස්ථාවේ ගත්ත හරි අපූරු ඡායාරූපයකුත් මාධ්‍යවල පළවෙලා තිබුණා. ඒ ඡායාරූපයේ පසුබිමේ තිබුණේ ආර්. ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක්. ඒක අහම්බෙන් ගත්ත ඡායාරූපයක් වෙන්න පුළුවන්. මේත් එක්කම ජූලි චන්ග් විපක්ෂයේ තවත් දේශපාලන පක්ෂ කීපයකම අය මුණගැහිලා වටයක් ගිහින් තිබුණා. ඇමෙරිකානු තානාපතිවරිය වටයක් යන්නේ නිකමටම නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. මේ අස්සේ බිමල් රත්නායක පහුගිය දවසක අයි.ටී.එන්. එකේ වැඩසටහනකදී ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි මේ.
‘සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා වගේ මේ කරගත්ත දෙයක්. එතකොට මේක ඇමැතිලාද, කතානායකලාද, අරගොල්ලොද මේගොල්ලොද. ඒගොල්ලන්ට ඕනෙකමක් තියෙනවා මේක ඇතුළේ තමන් මෙහෙමයි කියලා පෙන්නන්න. ඒක ඇතුළේ නිකන් අර මඩේ පිපුණු නෙළුම් වගේ වෙන්න හදන කට්ටියක් ඉන්නවා. මම හිතනවා එහෙම නම් ඉදිරි මාස කීපයේදී ඇමැතිවරු සමහර ඒවා වගකීම් මාරුකරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට අලුත් අය පත්කරනවා….’
මේ ප්‍රකාශ කරන්නේ සිසිර යාපාත් එක්කනේ. සිසිර යාපා කියලා කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයගේ පෞද්ගලික මිත්‍රයෙක්. ඔහු කලින් ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා. ඉන් පස්සේ ඔහු ඒ තනතුරෙන් ඉවත් වුණා. මම හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා තමයි ඔහුව ආණ්ඩුවට සම්බන්ධ කරගත්තේ. ආණ්ඩුවට එන්න කලින් ඔහු ඒ-4 නාලිකාවේ කටයුතු කරමින් හිටපු කෙනෙක්. ඒක වර්තමාන ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණේ නාලිකාවක්. ඔහු ජනතා විමුක්ති පෙරමුණට ඉතා කිට්ටුවන්ත කෙනෙක්. ඔහු සහ බිමල් මේ වගේ සංවාදයකට එන්නේ තමන්ට තියෙන දේවල් කියාගන්න. එතැනදී බිමල්ගේ පැත්තෙන් මේ සාකච්ඡාවේදී කියනවා ‘අපි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා ගත්තේ’ කියලා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා පහළ වෙන්නේ අපි දන්න විදියට බුදු කෙනෙක්. ඒ කියන්නේ ඒ තරම් දුර්ලභයි. මෙතැනදී බිමල් කියන්නෙත් ඒ තරම් දුක් විඳලා, වධ වේදනා විඳලා. ඒ වධ වේදනා වින්දේ අපි ඇට ලේ මස් කැපකළේ එක එකාට ඇවිල්ලා ඇමැතිකම් අරන් රඟන්න නෙවෙයි වගේ කතාවක් තමයි බිමල් මේ කියන්නේ.
මේ ඇට ලේ මස් දන්දීලා දුක් විඳලා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ බිමල්ට අනුව කවුද? ජනතා විමුක්ති පෙරමුණ. එතකොට කවුද මේ මඩෙන් උඩට ආපු නෙළුම් මල් වගේ රඟන්න හදන්නේ? රඟන්න හදන්නේ මාලිමාව. ඒක හරිම පැහැදිලියිනේ. ඒකනේ බිමල් කියන්නේ. ඔහු කියන්නේ අපි පෙරුම් පුරලා ගත්ත ආණ්ඩුවේ රඟන්න එන්න එපා, අපි ඔක්කොම දියවෙලා එක වගේ වෙලා වැඩකරමු, නැත්නම් අපිට බලාගන්න පුළුවන්, අපි කොහොමත් ඇමැතිකම් මාරුකරන්න යනවා කියලා. මේකේ දේශපාලන කතාව බිමල්ලා කොහොම තේරුම් ගන්නවද කියලා මම දන්නේ නෑ. ඔව්, බිමල්ලා ලොකු කැපකිරීමක් කළා. කාලයක් වැඩ කළා. ඒ ඔක්කොම එක්ක තමයි ආණ්ඩුවක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි 60 වසරක් කැපකරලා ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් බැරුව ගියා කියන එක බිමල් අමතක කරන්න හොඳ නෑ. ජනතා විමුක්ති පෙරමුණ හිටියේ 3%ක. හැම වෙලාවකම ජනතා විමුක්ති පෙරමුණට බාහිර පාර්ශ්වයක් ඕනේ වුණා ඔවුන්ගේ ඡන්ද පදනම වැඩිකර ගන්න. ඔවුන් දේශපාලන පක්ෂත් එක්ක සන්ධානගත වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානය වගේ පක්ෂ හදලා. එහෙම නැත්නම් බාහිර පුද්ගලයොත් එක්ක සන්ධානගත වුණා. ඒවායින් තමයි ඔවුන් ඔවුන්ගේ ඡන්ද පදනම පුළුල් කරගත්තේ. ඒ බහුජන පදනම විදියට තමයි මේ මාලිමාමේ පිරිස එකතු වුණේ. දැන් මේක ඇවිල්ලා අහිකුණ්ඨිකයාගේ සහ නයාගේ කතාව සිහිපත් කරවන අවස්ථාවක්. ඒ කියන්නේ නයා නටනකොට මිනිස්සු සල්ලි දානවනේ. එතකොට නයා හිතනවා මම මොකටද අහිකුණ්ඨිකයට හම්බ කරලා දෙන්නේ, මාවනේ මිනිස්සු බලන්නේ කියලා අහිකුණ්ඨිකයා නැතුව නයා නටන්න යනවා. එතකොට මොකක්ද වෙන්නේ? මිනිස්සු නයාට ගහලා මරනවා. ඉතින් ඒ නිසා බිමල් රත්නායකලා මාලිමාවත් එක්ක පොරබදන්න යනවා තමන්ගේ අයිතිවාසිකම ගැන, තමන්ගේ අභිමානය ගැන, ඉතිහාසයේ කළ කැපකිරීම් ගැන කියමින්. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණට හැමදාම තිබුණු ප්‍රශ්නය. ඔවුන්ට බාහිර මත ඉවසන්න බෑ. ඔවුන් හැම වෙලාවෙම තමන් ළඟට එන මිනිස්සු එළවලා දාන පක්ෂයක්. තමන් ළඟට එන අයව රඳවා ගන්න පක්ෂයක් නෙවෙයි. ඒ නිසා ඔවුන් මම හිතන්නේ වැඩිම කාලයක් එකට තියාගත්ත කණ්ඩායම වෙන්න ඇති මාලිමාව. දැන් ඔවුන්ව එළවා දැමීම සඳහා කටයුතු කරමින් ඉන්නවා.
ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම ඔවුන්ගේ හැට ගානක්ව තිබුණු ඡන්ද පදනම දැන් ලක්ෂ හතළිස් ගානකට වැටිලා තියෙනවා. මේ ලක්ෂ හතළින් ගානට වැටිලා තියෙන ඡන්ද පදනම වැඩිකරගත යුතු මොහොතක එය අඩුකර ගැනීමේ දිශාවට, නැත්නම් එළවා දැමීමේ දිශාවට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ නිසා ඇත්තටම මම දකින්නේ තවදුරටත් ඉතිරි වෙලා තියෙන්නේ කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විතරයි. දැන් ඉතාම පැහැදිලියි මේ ප්‍රතිවිරෝධතාව ගොඩනැගිලි තියෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අපිට ඉතිරි වෙලා තියෙන්නේ දින ගනිමින් බලාගෙන ඉන්න.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි










