පසුගිය දින කීපය තුළ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනකුම සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණා. එම ඉල්ලා අස්වීම් පදනම් කරගෙන විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග අභ්‍යන්තරයේ අර්බුදයක් මතුව ඇති බවත්, එම පක්ෂය නුදුරේදීම විනාශ වී යනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් සිදුකිරීමට දේශපාලන විශ්ලේෂක වරුණ රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගෙන තිබුණා. සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කරමින් සජබයේ හටගෙන ඇතැයි කියැවෙන මෙම අර්බුදය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් කීපදෙනෙක් ඉවත් වුණා කියලා ප්‍රවෘත්තියක් මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. මේ ප්‍රවෘත්තියත් එක්ක සමහරු ප්‍රීතියෙන් උද්දාමයට පත්වෙලා සජබයේ ගමනක අවසානය වගේ දේවලුත් දාලා තිබුණා. ආණ්ඩුව පැත්තෙන් නම් එහෙම එකක් සාමාන්‍ය දෙයක්. නමුත් දකුණේ දේශපාලනය කරන සහෝදර ඇතැම් දේශපාලන ක්‍රියාකාරී අයත් ඒ ප්‍රවෘත්තිය පළකරලා තිබුණා. ඇත්තටම මොකක්ද මේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයන් ඉවත් වෙලා කියන කතාව? මොකක් ඒකට හේතුව?
මුලින්ම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා තමන් ඉවත් වුණා කියලා ප්‍රකාශයක් කරලා තිබුණා. ඊට පස්සේ බන්දුල බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමාත් එහෙම ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ හැමෝම කියලා තිබුණා අපි මේ පක්ෂයෙන් නෙවෙයි ඉවත් වෙන්නේ සංවිධායක ධුරවලින් කියලා. ඒ වගේම මේ ඉවත් වුණා කියලා නිවුස් ගිය සමහර නම් තිබෙන අය, ‘නෑ මම ඉවත් වුණේ නෑ’ කියලත් කිව්වා. වසන්ත අළුවිහාරේ මන්ත්‍රීතුමා කියලා තිබුණා ඔහු එවැනි ප්‍රකාශයක් කළේ නෑ, මාධ්‍යවල එහෙම ප්‍රවෘත්තියක් පළවුණේ කොහොමද කියලා තමන් දන්නේ නෑ කියලා. කොහොම නමුත් දැන් ප්‍රශ්නයක් තිබෙනවා. සාමාන්‍යයෙන් සමගි ජන බලවේගය කියලා කියන්නේ මාලිමාව වගේ ප්‍රශ්න හංගගෙන ඉන්නේ නෑ. මොකද අපිට ප්‍රශ්න අලුත් දේවලුත් නෙවෙයි, සාමාන්‍ය දේවල්. අපේ පක්ෂවල සංවිධායකවරු කියලා කියන්නේ රණ්ඩු වෙනවා, කෑගහ ගන්නවා. ඒත් ඒගොල්ලෝ පක්ෂයත් එක්ක ඉන්නවා, දේශපාලනය කරනවා. නමුත් මේ කියන්න යන්නේ එහෙම එකක් නෙවෙයි. මේ කියන්න යන්නේ මොකක්ද මතුවෙලා තියෙන ප්‍රශ්නය කියලා.
සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් මතුවුණාට පස්සේ ප්‍රකාශයට පත්වෙන්න පුළුවන් වරුණ රාජපක්ෂ කලකිරිලා, නැත්නම් වරුණ අයින් වෙලා යනවා කියලා. නමුත් ඒවා නෙවෙයි වැදගත් වෙන්නේ. ප්‍රශ්නයට හේතුව මොකක්ද, ඒ කාරණාවේදී කවුද නිවැරැදි, කවුද වැරැදි කියන එක. ඒ මත තමයි අපි විවේචනය කරනවා නම් කරන්න ඕනේ. ඉතින් මොකක්ද මේ කාරණාව? මේ කාරණාව තමයි පළාත් පාලන ආයතනවලට මන්ත්‍රීවරු පත්කිරීම සම්බන්ධයෙන් නිර්ණායක.
අපි දන්නවා සමගි ජන බලවේගය නම් පළමු වතාවට තමයි පළාත් පාලන ඡන්දයකට තරග කරන්නේ. නමුත් සමගි ජන බලවේගයේ ඉතිහාසයේදී එක්සත් ජාතික පක්ෂය විදියටනේ තරග කළේ. එතකොට මීට කලින් තිබුණු පළාත් පාලන මැතිවරණවලදී පළාත් පාලන ආයතනවලට කවුද තේරීපත්වෙන්නේ? විශේෂයෙන් කොට්ඨාසවලට නම් දිනන අය පත්වෙනවා. ලැයිස්තුවෙන් පත්වෙනකොට ඒ ලැයිස්තුවෙන් පත්කරන්නේ කොහොමද කියන එකේදී එහි පූර්ණ බලය දීලා තිබුණා සංවිධායකවරයාට. මේකේ හොඳ දේවලුත් තිබුණා නරක දේවලුත් තිබුණා. සංවිධායකවරයාට වැඩ කළේ නැත්නම්, සංවිධායකවරයාට කැමැති නැත්නම් කපලා දානවා. එහෙම නැත්නම් සංවිධායකවරයාගේ පෞද්ගලික හිතවත්කම්, ඥාති මිත්‍රකම් එක්ක මන්ත්‍රී ධුර පත්කරනවා. එහෙම අත්දැකීම් ඕනේ තරම් තියෙනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් තිබුණු ස්වභාවය. ඒ අතර හරියට මේක කරපු සංවිධායකවරුනුත් ඉන්නව.
දැන් කොහොම නමුත් මෙවර මැතිවරණය ආරම්භ කරනකොටම සමගි ජන බලවේගයේ නායකතුමා යෝජනා කළා මේ සම්බන්ධයෙන් නිශ්චිත විධිමත් ආකෘතියක් හදන්න විද්‍යාත්මක නිර්ණායක ප්‍රමාණයක් මත මන්ත්‍රී ධුර පත්කරන්න. එතකොට මොකක්ද ආකෘතිය? මේ සම්බන්ධයෙන් මැතිවරණයට කලින් මහලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රචාරක සැලසුම් කරන කමිටුවක් තිබුණා. ඒ කමිටුවේදී නොයෙක් දේවල් සාකච්ඡා වුණා. මමත් ඒ කමිටුවේ හිටියා. ඒකෙදී සාකච්ඡා වෙලා යම්කිසි නිර්ණායක ප්‍රමාණයක් ගැන යෝජනා කීපයක් ඉදිරිපත් වුණා. නායකතුමා එතැනට ඇවිල්ලා ඒ ගැන ඔහුගේ පැත්තෙන් තියෙන අදහසුත් ඉදිරිපත් කළා. අවසානයේ මහලේකම්තුමාගේ පැත්තෙන් මහජනාතවගෙනුත් අදහස් ගන්න ඇති. අදහස් අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා පක්ෂයේ නිර්ණායක. මොකක්ද? ඒ තමයි මැතිවරණයේදී ලැයිස්තු අපේක්ෂකයන් පත්කිරීමේදී කොට්ඨාසයෙන් තරග කරපු අයට 2ක් දෙනකොට, ලැයිස්තුවෙන් තරග කරපු අයට 1ක් දෙන්න. ඒ ලබාදෙන මන්ත්‍රී ධුර සියල්ල කොට්ඨාසයේ නම්, කොට්ඨාසය ලබාගත්ත ඡන්ද ප්‍රතිශතය මත සලකා බලන්න. ලැයිස්තුවේ නම් ලැයිස්තුව ලබාගත්ත ඡන්ද ප්‍රතිශතය මත සලකා බලන්න. මේක වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ කාරණා කීපයක් මත. එකක් තමයි කොට්ඨාසවලින් තරග කරපු අයගේ ප්‍රතිශතය සලකා බලද්දී සමහර වෙලාවට සමහරු දෙවැනි ස්ථානය ගත්ත අය ඉන්නවා. තුන්වැනි ස්ථානය ගත්ත අය ඉන්නවා. හතරවැනි ස්ථානය ගත්ත අයත් ඉන්නවා. එතකොට ඒ පිළිබඳ යම් සලකා බැලීමක් කරන්න පුළුවන්.
ඊළඟට ලැයිස්තුවෙන් හිටපු අය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ වසමේ ඡන්ද පෙට්ටිය ලබාගත්ත ඡන්ද ප්‍රමාණය තමයි සලකා බලන්න පුළුවන්කම තියෙන්නේ. අපි කොහොමත් දන්නවා මැතිවරණ පනත අනුව කාන්තාවන්ට 25%ක නියෝජනයක් සකස් කරලා දෙන්න ඕනේ. අපි පක්ෂය විදියට තීරණයක් ගත්තා තරුණයන්ටත් 25%ක් දෙන්න ඕනේ කියලා. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි, අපි දන්නවා මේ පක්ෂ අලුත් වෙන්න ඕනේ. අලුත් මිනිස්සු මේ පක්ෂවලට එන්න ඕනේ. තරුණ පිරිසට දේශපාලනයට පිවිසෙන්න ඉඩ දෙන්න ඕනේ. තරුණයන්ට දේශපාලනයට එන්න පාර තියෙන තැන තමයි පළාත් පාලන ඡන්දය. ඒ නිසා මේ දේශපාලන පක්ෂවල තරුණ නියෝජනය අතිශය වැදගත්. උදාහරණයක් විදියට මම ඉස්සෙල්ලාම පළාත් පාලනයට ඉදිරිපත් වෙනකොට මගේ වයස අවුරුදු 22ක්. ඒ නිසා මම කියන්නේ දේශපාලන අත්දැකීම් අරන් තරුණයන්ට හැදෙන්න ප්‍රාදේශීය සභා මැතිවරණවලදීවත් අපි තරුණයන්ට ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා තමයි 25%ක් තරුණයන්ට වෙන් කළේ. 4 දෙනෙක් පත්වෙද්දී ඉන් එක්කෙනෙක් තරුණයෙක් වෙන්න ඕනේ කියලා. මම හිතන්නේ මේක ඉතාම නිවැරැදි තීරණයක්.
ඒ තීරණයට අමතරව, ඒ තීරණය ක්‍රියාත්මක කරන්න ගියාම පළාත් පාලන පනතේ තියෙන සුවිශේෂ ස්වභාවයක් එක්ක ලොකු බරක් වැටුණා හැම වෙලාවෙම දෙවැනි ස්ථානය ගන්න පක්ෂයට. ඒකට හේතුව ඔබ දන්නවා පළාත් පාලන පනත අනුව පළාත් පාලන ආයතන ඇතුළේ කාන්තා නියෝජනය 25%ක් තියෙන්න ඕනේ. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක නීතියක්. ඒ 25% තීරණය වෙන්නේ කොට්ඨාසවලින් ජයග්‍රහණය කරන අයගෙන් තේරෙන කාන්තාවෝ ප්‍රමාණය අතහැරියාම. ඔවුනුත් එක්ක 25%ක් කොහොමද හැදෙන්නේ සභාවේ? එතකොට කොට්ඨාසයකින් එකම කාන්තාවක්වත් ආවේ නැත්නම් ලැයිස්තුවේ අර 25% සම්පූර්ණයෙන්ම නියෝජනය කරන්න ඕනේ. ලැයිස්තුවේ වැඩිපුරම ඉන්නේ දෙවැනි ස්ථානය ගන්න අය. මොකද 3, 4 ගන්න අයට තියෙනවා මැතිවරණ පනතෙන් සහනයක් දීලා. ඔවුන් කාන්තාවන් පත්කළ යුතු නෑ කියලා. නමුත් ඔවුන්ට ඕනේ නම් පත්කරන්න පුළුවන්. ඔවුන් බැඳිලා නෑ. උදාහරණයක් විදියට ගම්පහ ප්‍රාදේශීය සභාව ගත්තොත්, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් ලැබෙනවා. පොහොට්ටුවට මන්ත්‍රී ධුර 4ක් ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයට, තවත් පක්ෂවලට මන්ත්‍රී ධුර තියෙනවා. ඒගොල්ලන්ට කාන්තා නියෝජනය අනිවාර්යයක් නෑ. අනිවාර්ය වෙන්නේ පොදුජන එක්සත් පෙරමුණටත්, සමගි ජන බලවේගයටත්. සමගි ජන බවේගය 6න් 4ක් කාන්තාවෝ. පොහොට්ටුවේ 4න් 2ක් කාන්තාවෝ. එතකොට ගම්පහ නගර සභාවේ සමගි ජන බලවේගයටත් 4යි. පොහොට්ටුවටත් 4යි. නමුත් සමගි ජන බලවේගය තමයි ඡන්ද වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. ඒ නිසා සමගි ජන බලවේගයට පිරිමි 1යි, කාන්තා 3යි. පොහොට්ටුවට පිරිමි 2යි කාන්තා 2යි. කරන්න දෙයක් නෑ. නීතියේ තියෙන්නේ ඒ විදියට. මේ නීතිය හැදුවේ වැරැදි දෙයක් කරන්න නෙවෙයි. කාන්තාවට 25%ක නියෝජනයක් දෙන්න. යහපාලන ආණ්ඩු කාලේ අපිම හදපු හොඳ නීතියක් මේක. නමුත් ඕනෑම හොඳ දෙයක් ක්‍රියාත්මක කරද්දී ක්‍රියාත්මක තලයේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා, ඒ බර වැටිලා තියෙනවා මුළු රටේම දෙවැනි ස්ථානයේ ඉන්න පක්ෂය විදියට සමගි ජන බලවේගයට. ඒ නිසා සමහර ආසනවල මැතිවරණ කොමසාරිස්තුමාගේ නිර්ණායකත්, පක්ෂයේ නිර්ණායකත් දෙකම සපුරන්න ගියාම සමහර වෙලාවට සංවිධායකට ඉතා වැදගත් වෙන, පක්ෂයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරන කෙනෙක්ගේ මන්ත්‍රී ධුරය අහිමි වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට ගම්පහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරු 4 දෙනෙක් තරග කළා. නමුත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ටවත් නගර සභාව නියෝජනය කරන්න මේ ආකෘතිය අනුව අවස්ථාව එන්නේ නෑ. ඊළඟට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් එක්කෙනෙක්ට පමණයි අවස්ථාව ලැබුණේ. හොඳම අය. වැඩිම කැපකිරීමක් කරපු අය. සමහර වෙලාවට ගමේ මළගෙදර හට් එක ගහන වැඩ ටික කරලා, දන්සල කරලා, ගමේ වැඩ ටික කරන මනුස්සයා ගමේ ජනප්‍රියයි. හැබැයි ඒ ගමේම ඉන්නවා මුළු ආසනය පුරාම දුවන, පක්ෂයේ වැඩ කරන මනුස්සයෙක්. ඒ තමයි පක්ෂය වෙනුවෙන් වැඩිම මහන්සියක් වෙන කෙනා. එයා සමහර වෙලාවට තමන්ගේ කොට්ඨාසයේ ජනප්‍රිය නෑ. ඒ නිසා කෙනෙක්ට හිතෙනවා මේ තරම් දරදිය ඇදලා පක්ෂය වෙනුවෙන් වැඩකරන මනුස්සයට ඇයි මන්ත්‍රීකමක් ලැබෙන්නේ නැත්තේ කියලා. නමුත් කරන්න දෙයක් නෑ, ගමේ ජනතාව තමයි ඡන්දය දෙන්නේ. ගමේ කෙනාට අදාළ වෙන්නේ ගමේ වැඩේ. ඒ තමයි මේ මැතිවරණ ආකෘතිය.
ජනතාවගේ කැමැත්ත තමයි පරමාධිපත්‍යය. එතකොට පක්ෂයක් විදියට අපි ජනතාවගේ කැමැත්ත කියන එක ප්‍රධාන කරගෙන තමයි අපේ නිර්ණායක හදලා තියෙන්නේ. අපිට වැඩිපුර මන්ත්‍රී ධුර තියෙනවා නම්, මේ ප්‍රශ්නය ආවරණය වෙනවා. නමුත් තියෙන මන්ත්‍රී ධුර ප්‍රමාණය අනුව විශේෂයෙන්ම දෙවැනි එකට විශාල කාන්තා නියෝජනයක් ආපු එකෙන් පීඩනයක් එල්ල වෙනවා. නමුත් ඒක වැරැදි නෑ. මම නැවත් කියනවා මොකද කාන්තා නියෝජනය 25%ක් හදන්න තිබුණු ආකෘතිය තමයි මේ. ඒ ආකෘතිය ඡන්ද ක්‍රමයේ වෙනසක් රහිතව වෙනස් වෙන්නේ නෑ. ඔන්න ඔය පීඩනය මත දෙපැත්තකින් පීඩනයක් එනවා. එකක් තමයි ගමේ ඉන්න මන්ත්‍රී ධුරය අහිමි වෙන ක්‍රියාකාරිකයා සංවිධායකයාගෙන් ඉල්ලීමක් කරනවා මේක වෙනස් කරන්න කියලා. මේක වෙනස් කරලා දෙන්න, අපිව දාන්න, අරයව දාන්න, මෙයාව දාන්න කියලා. එතකොට සංවිධායකයා මේ පීඩනය අරගෙන යනවා පක්ෂයට.
අපි යම්කිසි විදියකින් මුළු රටේම හදපු ආකෘතිය එක තැනක වෙනස් කළොත් මොකද වෙන්නේ? ඒ වෙනස් කිරීමත් එක්ක හැමෝටම පීඩනයක් එනවා. උදාහරණයක් විදියට මම වෙනස් කළොත් මගේ ආසනය, අල්ලපු ආසනයේ ඉන්න කෙනා, අල්ලපු ආසනයේ සංවිධායකයට ගිහින් බලපෑම් කරනවා අන්න ගම්පහ කඩලා, ගම්පහ කැඩුවා නම් ඇයි අත්තනගල්ල කඩන්න බැරි කියලා. අත්තනගල්ල කැඩුවොත් ගම්පහෙන් අහනවා, අත්තනගල්ල කැඩුවා නම් ඇයි ගම්පහ කඩන්න බැරි කියලා. ඒ නිසා තමයි පක්ෂය දැඩි ස්ථාවරයක ඉන්නේ. ඒ හදපු ආකෘතිය සහ නිර්ණායක මත ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිර්ණායක හොඳයි නම් වැඩිම ප්‍රතිශතයක් ලබාගැනීම මත මන්ත්‍රී ධුර ලබාදීමද, සංවිධායකයගේ කැමැත්ත මත ලබාදීමද? තරුණයන්ට 25%ක් ලබාදීමද? ලබා නොදීමද? මොකක්ද හොඳ? ලැයිස්තුවෙන් තරග කරපු අයටත් 3න් 1ක අවස්ථාවක් දෙන එකද හොඳ? නොදෙන එකද හොඳ? මේ සියලු කාරණා බලපුවාම පේන්න තියෙන්නේ මේ නිර්ණායක නිවැරැදියි. ඒවා ඉතාම හොඳයි. ඒ නිසා ඒ නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා මම හිතන්නේ පක්ෂයට සහ පක්ෂ නායකත්වයට ධෛර්යය සැපයීම තමයි මේ වෙලාවේ සාමාජිකයෙක් කළ යුතු වෙන්නේ. එහෙම නැතුව ඒක වෙනස් කරන්න බලපෑම් කිරීම නෙවෙයි. නමුත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වතුවෙන්න පුළුවන්. කිසියම් තැනක අතිශය සුවිශේෂ කාරණයක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඒකට ඉඩ දෙන්න වෙනවා.
උදාහරණයක් විදියට අපි කොහේ හරි තැනක මුළු සභාවේම එකඟතාව මත කවුරු හරි කෙනෙක් කණ්ඩායම් නායකයෙක් තරග කරලා සභාවේ සියලු දෙනාම එකඟයි ඔහු තමන්ගේ කොට්ඨාසයේ විතරක් නෙවෙයි මුළු ආසනයේම ගිහිල්ලා වැඩ කරනවා. එතකොට ඒ තරග කරපු සියලු දෙනත් එකඟයි. ඔවුන්ගේ පූර්ණ එකඟතාවක්. එහෙම තිබුණු තැන් තියෙනවා. ඒ පූර්ණ එකඟතාවකින් එහෙම තරග කළා නම් එවැනි අවස්ථාවකදී ඒකට ව්‍යතිරේඛයක් තියෙනවා. ඒ වගේ සුවිශේෂ දේවලට. එතකොට අන්න එහෙම දේවල් සාකච්ඡා කරන්න කෙනෙක්ට අභියාචනාවක් යොමුකරන්න අවස්ථාව දීලා තිබුණා. ඉතින් ඒවා පක්ෂය සලකා බැලුවා. යම් සුවිශේෂත්වයක් තියෙනවා නම් පමණයි. ඉතින් මේකෙන් සතුටු වෙන අය ඉන්නවා. අසතුටු වෙච්ච අය ඉන්නවා. අසතුටු වෙච්ච අයගෙ පැත්තෙන් චෝදනා එල්ල වෙනවා. ඒ අසතුට අසාධාරණ නෑ. මම දන්නවා මට තියෙන පීඩනය කොතරම්ද කියලා. අනිත් සංවිධායකයන්ට තියෙන පීඩනය කොතරම්ද කියලා. එහෙම තමයි හොඳ දෙයක් ක්‍රියාත්මක කරන්න ගියාම අභියෝගාත්මක දෙයක් ක්‍රියාත්මක කරන්න ගියාම පක්ෂයක් විදියටත්, සමාජයක් විදියටත් අපි අපේ අනාගතය ඉදිරිගාමී විදියට සකස් කරන්න ගියාම අභියෝග තියෙනවා. ඒ අභියෝග හමුවේ ධෛර්යසම්පන්නව, ගෝඨාභය වගේ රිවස් වෙන්නේ නැතුව ඒ අභියෝගවලට මුහුණ දීම තමයි ඉතා වැදගත් වෙන්නේ.
මම විශේෂයෙන්ම මේ වෙලාවේ කියනවා මේ පීඩනය අපට විතරක් නෙවෙයි තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයත් මේ නිවැරැදි තීරණයම අරගෙන තියෙනවා. ඔවුන්ගේ ආකෘතිය වෙනස්. නමුත් ඔවුනුත් තීරණය කරලා තියෙනවා ඡන්ද ප්‍රතිශතය අනුව මන්ත්‍රී ධුර ලබාදිය යුතුයි කියලා. ඒ වෙලාවේ මම හිතන්නේ ඡන්ද ප්‍රතිශතය මත මන්ත්‍රී ධුර ලබාදිය යුතුයි කියන තීරණය ගත්තට පස්සේ මට පෞද්ගලිකව කතා කළා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු කීප දෙනෙක්. ඔවුන් තරග කළා මේ මැතිවරණයට. දිස්ත්‍රික්ක කීපයක. ඒ තරග කරපු අය මට කිව්වා අපි මේ තරම් පක්ෂයට දර දිය ඇද්දා, නමුත් අපිට මන්ත්‍රී ධුරයක් ලැබුණේ නෑ කියලා. මම ඔහුට කිව්වා ඒ වෙලාවේ ඔයා මේ ප්‍රශ්නය නිසා ඔබේ පක්ෂය අතහැරලා එන්න එපා කියලා. ඇත්තටම ඔහු මට කතා කළේ සමගි ජන බලවේගයට එකතු වෙන්න. මම කිව්වා එපා කියලා. මොකද හේතුව, දේශපාලනික තීරණයක් අරගෙන ඔබ පක්ෂයෙන් අයින් වෙලා එනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ ප්‍රශ්නයක් හදන්න එපා, මොකද හේතුව, මේ වෙලාවේ ඔබේ පක්ෂයත්, ඔබේ මහලේකම්තුමියත් ගත්ත ඒ තීරණය නිවැරැදියි. මොකද මොකක් හරි ආකෘතියක් හරි පදනමක් හරි තියෙන්න ඕනේ. එහෙම නැතුව මේවා ලබාදුන්නා නම් ඔබේ පක්ෂයට ඒක මීට වඩා අර්බුදයක් වේවි කියලා. ඒ නිසා බොර දියේ බිලීබාන එක අපේ දේශපාලන සම්ප්‍රදාය නෙවෙයි. එහෙම අවශ්‍ය නෑ.
අපි හැම වෙලාවෙම ඉන්නේ හොඳ තීරණයක් නම් ඒ තීරණය නිවැරැදියි කියලා කියන්න. ඒකෙදි සජිත් ප්‍රේමදාස මහත්තයද, සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයද, ඒකසත් ජාතික පක්ෂයේ නායකයද, එහි මහලේකම්වරයාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. තීරණය නැවැරැදි නම්, නිවැරැදියි කියනවා. තීරණය වැරැදියි නම් වැරැදියි කියනවා. හැම වෙලාවකම මොන තරම් අර්බුද ආවත් මොන තරම් සුළි කුණාටු හැමුවත් හරි තීරණ හමුවේ හරියට හිටගන්න ඕනේ. එහෙම හිටගත්තම තමයි ඒ දේශපාලන අනාගතය නිවැරැදි වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ මේ හැම දේශපාලන පක්ෂයකම නායකයෝ වැරැදි කරනවා නම්, වැරැදි කරන අයට ධෛර්ය දීම නෙවෙයි පක්ෂයේ සාමාජිකයන් කළ යුත්තේ. නායකයෝ නිවැරැදි දේවල් කරනවා නම් ඒ නිවැරැදි දේට ධෛර්යය දීමයි සාමාජිකයන්ගේ යුතුකමක්. ඒක අපිට අමාරුයි තමයි. සංවිධායකවරයෙක් විදියට මට විශාල පීඩනයක් තියෙනවා. නමුත් මම නිවැරැදියි කියලා හිතෙන දේ වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද වැදගත්ම දේ ඒක. මේ ටික කිව්වේ දකුණේ ඉවුරේ ඉන්න අයට.
දකුණු ඉවුරේ නොවන අනිත් අය පොඩි ආතල් එකක් ගන්නවනේ මේ දවස්වල. එහෙම ආතල් ගන්න එපා. ඕගොල්ලන්ගේ වගේ නෙවෙයි මේ දේශපාලන පක්ෂවල ‘මම යනවා’ කියලා එළියට බැහැලා එනවා. ආයෙත් හවසට කතා කරනවා. විහිළු තහළු කරනවා. බැණගන්නවා, රණ්ඩු කරගන්නවා, වාද කරගන්නවා, විවේචන කරගන්නවා. ඕවා අපිට හුඟක් පුරුදුයි. හැබැයි කවදාවත් ඔය කියන බෙදීම් වෙන්නෙත් නෑ. එහෙම රණ්ඩු වෙලා මාලිමාවේ වගේ නම් ඉන්න බෑනේ. ඊට පස්සේ දවසේ ටීවී එකට ඇවිල්ලා බණිනවනේ පාපිස්සක් තරම්වත් නැති එවුන් ඇවිල්ලා අපිට පාට් දාන්න එනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉවරම කරලා දානවනේ. නමුත් අපේ එහෙම සම්ප්‍රදායක් නෑ. බැණගන්න පුළුවන්, රණ්ඩු කරගන්න පුළුවන්, ආයෙත් එකට වැඩකරන්නත් පුළුවන්. අපි හැම වෙලාවකම ඒ රණ්ඩුවලදී වාදවලදී සංවාදවලදී හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවා. හරි දේ වෙනුවෙන් කතා කරනවා.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි










