‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’ යැයි සඳහන් කළ ලිපියක් ඊයේ (11) අරලියගහ මන්දිරයට යොමු කර තිබිණි. ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම ලිපිය අග්‍රාමාත්‍යවරයා අතටම ගෙනැවිත් භාර දුන්නේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ වෙසෙන අසූ හය හැවිරිදි වියේ පසුවන එස්. බී. හේවාහැට නම් හිටපු ගම්සභා සභිකයෙක් විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයාට යොමු කර තිබිණි.
එහි වූයේ ලිපියක් සහ රුපියල් 5000ක නෝට්ටුවකි.
‘දැනට අසූ හය වැනි වියේ පසුවන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇදේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේදී රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදි ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් කොරෝනා අරමුදලට මේ මස රුපියල් 5000 බැර කර මා ද එම පිංකමට සහභාගි කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.” යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබිණි.
ලිපිය කියැවූ අග්‍රාමාත්‍යවරයා ලෙඩ ඇඳේ සිට පවා රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට මැදිහත්වීම අගය කරමින් හේවාහැට මහතා අතින්ම මෙම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළේය.
එම අවස්ථාවේදීම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා කැඳවූ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදී ඇති දින හේවාහැට මහතාට, ඒ මහතා අතින්ම මෙම මුදල ජනාධිපතිවරයා අතට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නැයි උපදෙස් දෙනු ලැබීය.














