පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන් අද (5) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් විය. Sri Lanka Latest News
ඉදිරියේ දී පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව එකට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකගතාවක් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේ ආණ්ඩුවේ යහපත් දේට සහය දෙනවා සේම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි. මෙහි දී සියලු පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ කමිටු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළේය.
පසුගිය ජනවාරි 29 වැනි දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් ලෙස ද හැදින්විය හැකිය.
මේ අවස්ථාව සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන් වන ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොන්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී. වී චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්වූූහ.

























