ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්ව මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගතව තිබේ. එම කාලය ඇතුළත ඔවුන් ජනතාව වෙනුවෙන් විවිධ සාධනීය ක්‍රියාමාර්ග ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුද ප්‍රකාශ කරන ආකාරය අපට නිතර අසන්නට දකින්නට දන්නට ලැබේ. එහෙත් විපක්ෂයේ චෝදනාව වී ඇත්තේ මහ මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය පොරොන්දු වූ කිසිදු සහනයක් ජනතාවට මෙතෙක් ලබාදී නොමැති බවයි. කළ යුතු දේ පසෙක තබා නිරර්ථක දේ කරමින් සිටින බවයි. එවන් පසුබිමක එම චෝදනාවන්ට පිළිතුරු දීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා පියවර ගත්තා. ජාතික ජන බලවේගයේ කෝට්ටේ පිහිටි කාර්යාලය තුළ පුස්තකාලයක් ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය 19 වැනිදා එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ තම ආණ්ඩුවේ ස්ථාවර ගමන විවේචනය කිරීමට හේතුවක් නොමැති තැන, විපක්ෂය විසින් හිස් මතවාද ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරය කරමින් සිටින බවයි. පහත පළවන්නේ ටිල්වින් සිල්වා මහතා සිදුකළ එම අදහස් දැක්වීමෙන් උපුටා ගත් කොටසකි. Sri Lanka Latest News
‘ජාතික ජන බලවේගය ආණ්ඩුව හදලා දැන් මාස දෙකක්. හැබැයි අපේ සමාජයේම ඉන්න විපක්ෂයේ කට්ටියයි, පක්ෂයකට නැති අයයි දැන් ආණ්ඩුවට වටකරගෙන දෝෂාරෝපණ කරනවා. අපි හරියට ඇහුවොත් මොකක්ද මේ ආණ්ඩුව කරපු වැරැද්ද කියලා. මේ ගෙවිච්ච මාස දෙකට අපි හදපු ආණ්ඩුව අපේ රටට, අපේ රටේ ජනතාවට කරපු වැරැද්ද මොකක්ද? කිසි වැරැද්දක් කරලා නෑ. අපේ රටේ කිසිම සම්පතක් විකුණලා නෑ. අපි අපේ රටේ සත පහක් හොරකම් කරලා නෑ. අපි අපේ රටේ ජනතාවට බලය පාවිච්චි කරලා නෑ. ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා නෑ. පලි අරගෙන නෑ. ප්‍රචණ්ඩත්වය යොදලා නෑ. කිසිවක් කරලා නෑ. ඔක්කොම අසතුටෙන් වගේ නේද කතාකරන්නේ? ඇයි ඒ? අපිට තාම සිද්ධ වෙලා තියෙනවා පැරැණි වැරැදි නිවැරැදි කරගෙන යන්න. හාල් ප්‍රශ්නයක් තියෙනවද? අපි එනකොට තිබිච්ච එකක්. අපිට සිද්ධ වෙන්නේ මොකක් කරන්නද? අපි එනකොට තිබිච්ච ප්‍රශ්නවලට උත්තර හොයන්න. අපි උත්තර හෙව්වා. මේ රටේ කවුරුවත් මම හිතන්නේ කුසගින්නේ මැරුණේ නෑ, හාල් හිඟයක් තිබුණා. තිබුණට වඩා වැඩියෙන් ප්‍රවෘත්ති හැදුණා. ප්‍රශ්නයක් නැතුව නෙවෙයි, ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඒක අතිශයෝක්තියට නංවලා තමයි ප්‍රවෘත්ති හැදුණේ. පොල් ප්‍රශ්නයක් තිබුණා එනකොට. ඒක අපි හදපු ප්‍රශ්නයක් නෙවෙයි. අපි පොල් හිටෙව්වේ නෑනේ. ඒවා භයානක ප්‍රශ්න.
පහුගිය දවස්වල කතාවක් ගියා වරායෙන් කන්ටේනර් එළියට එනකොට තදබදයක් තියෙනවා කියලා. අපි ඇවිල්ලා තදබදය හැදුවද? නෑ. ඒක අවුරුදු හත අටක් දහයක් තිස්සේ තියෙන තදබදයක්. ඒ කාලේ කවුරුවත් පෙන්නුවෙත් නෑ, කාටවත් ගානක් තිබුණෙත් නෑ, හැබැයි තිබුණා. දැන් ඒක දැකලා තියෙනවා, අපි නිවැරැදි කරන්න පටන් අරන් තියෙනවා. සමහර මහත්තුරු පැය විසිහතරෙම වැඩ. දැන් අඩුකරමින් යන්නේ. ඒ නිසා තාම අපි කරන්නේ අලුත් දේවල් නෙවෙයි. පරණ සමාජයෙන් අපට ඉතුරුවෙච්ච අර්බුද ටිකට උත්තර හොයන එක. සෙල්ලමක් නෙවෙයි මේක.
අපිට ඒගොල්ලො බාරදුන්නේ හොඳ රටක්ද? සමහරු හිතාගෙන ඉන්නේ අපිට බාරදුන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරිච්ච රාජ්‍යයක් කියලා. බංකොලොත් රාජ්‍යයක් අපි බාරගන්නකොට. හැබැයි බංකොලොත් බවෙන් මිදුණේ පහුගිය දවස්වල. ජාත්‍යන්තර ආයතන පහුගිය දවස්වල අපිව ආර්ථික වශයෙන් ඔසවලා තිබ්බා. දැන් අපි බංකොලොත් නෑ. අපි ගත්තේ බංකොලොත් රටක්. හැබැයි අපි දැන් බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට.
අපි බලයට එන්න කලින් අපේ හතුරෝ කිව්වේ අපිට කිසිම ජාත්‍යන්තර සහයෝගයක් නෑ, සම්බන්ධකමක් නෑ රට ගෙනියන්න බැරිවෙයි කියලා. ලංකාවේ වැඩියෙන්ම ජාත්‍යන්තර සහයෝගය ලැබිච්ච ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. මොකද ඒ සහාය දෙන්න හේතුව, ලෝකේ හැම රටක්ම විශ්වාස කරනවා මේ ආණ්ඩුව වංචා දූෂණ නැති, විනිවිදභාවයෙන් වැඩකරන, මහජන මුදල් හොරකම් නොකරන ආණ්ඩුවක් කියන විශ්වාස ඔවුන්ට තියෙන නිසා ඔවුන් අපිට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒකම මම හිතන්නේ අපි ලබපු ලෙකු ජයග්‍රහණයක්.
ඊයේ පෙරේදා අපේ ජනාධිපති අනුර සහෝදරයා චීනයට ගියා. අපිට චීනයේ විශාල ආයෝජන ප්‍රමාණයක් මුදල් ප්‍රමාණයක් ලබාදීලා තියෙන්නේ. ඒගොල්ලෝ කවුරුත් අපිට උදව් කරන්න ලෑස්ති ප්‍රධානම දේ මොකක්ද, අපේ ආණ්ඩුව හොරකම් නොකරන ආණ්ඩුවක් කියලා ලෝකේ පිළිඅරගෙන තියෙනවා. අපිට ඒ ගෞරවය මදිද? ලොකු දෙයක් ඒක.
ඔබ හිතන්න වෙන ආණ්ඩුවක් නම්, පහුගිය ඡන්දෙන් දිනුවේ, තාම පළිගැනීම්. තාම ගෙවල්වලට ගහනවා. තාම පාරට බහින්න බෑ. හැබැයි අපි එහෙම කළේ නෑනේ. රතිඤ්ඤා කරලක්වත් පත්තු කෙරුවේ නෑනේ. ඒ නිසා හෙටත් අපි බලය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි රටත් වෙනස් කරනවා, මිනිස්සු හිතන විදියත් වෙනස් කරනවා. හැබැයි ඒකට පුංචි කාලයක් අපිට ගතවෙයි. හැබැයි එතකන් අපේ හතුරෝ අපේ අඩුපාඩුකම් කියාවි, අරවා නෑ කියයි, මේවා නෑ කියයි.
ඔබ දන්නවා අපේ රටේ විදුලි බිල අඩුකරනවා. විදුලි බිල අඩුකරන්නේ නෑ කියාල බැණ බැණ හිටියා. දැන් අඩු කළාමත් බණිනවා. කොමිෂන් එක ගැනමයි කියන්නේ. කොමිෂන් තියෙන්නේ මොකටද? කොමිෂන් එක ඒගොල්ලෝ පත්කරපු එකක් නෙවෙයිනේ. උපයෝගිතා කොමිසම කියන්නේ ආණ්ඩුව පත්කරපු කොමිසමක්. කොමිසමේ කාර්යය තමයි මේ සම්බන්ධයෙන් හොයලා බලලා මිල තීරණය කරලා කියන්නේ ජනතාවගේ අදහස් එක්ක. විදුලි බිල සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ මොකෙන් පස්සෙද? කොමිසමේ නිර්දේශවලින් පස්සේ. ඊට කලින් බෑ. කොමිසම නිර්දේශ කළා. ඒ නිර්දේශයට අනුව අපේ ආණ්ඩුව විදුලි බිල අඩුකරන්න තීන්දු කළා. හැබැයි අපිට මතකයි කලින් ආණ්ඩුව ඔය කොමිසම නිර්දේශ කළාම නිර්දේශ පැත්තකට දාලා කොමිසමේ සභාපතිව ගෙදර යවන්න නීතිරීති ගෙනාවා. එහෙම කරපු මිනිස්සු. එහෙම කරපු ආණ්ඩු තිබුණේ. දැන් ඒක අමතක කරලා තමයි මේ කතාකරන්නේ. ඉතින් දැන් ජනතාවට හොඳයි. විදුලි බිල අඩුවෙලා තියෙනවා, කර්මාන්තවලට හොඳයි. සංචාරක ව්‍යාපාරයට හොඳයි. හැමෝටම හොඳයි. එතකොට ඒ හොඳ වැඩේ දකින්නේ නැතුව මොකක්ද හොයන්නේ? මොකක් හරි ඇදයක් හොයන්න පටන් අරගෙන තියෙනවා. ඒ තමයි මේ වෙනස්වීමට අකැමැති අයගේ ප්‍රතිචාරය. ඒ නිසා වෙනස්වීම්වලට අකැමැති අයගේ ප්‍රතිචාර අපි බාරගන්න ඕනේ නෑ. මොකද අපි හොඳටම දන්නවා වෙනසක් කරන්න ගියාම ඒක අමාරු වැඩක්, ටිකක් සීරුමාරුව කරන්න ඕනේ වැඩක්, පරිස්සමෙන් කරන්න ඕනේ, කාලයක් ගතවෙන වැඩක් කියලා. ඒ නිසා වෙනස් කරන්න ගිහිල්ලා අපි වරද්ද ගන්න ඕනේ නෑ. වෙනස කරන්න බෑ කියලා අපි අත්හරින්නෙත් නෑ. මේක අපි ස්ථිරවම කරනවා. කවුරුවත් කලබල වෙන්න එපා. මේ පටන්ගත්ත වෙනස අපි අවසන් කරනවා කියන සහතිකය ඔබට දෙන්න පුළුවන්. ඒක අපි අතරමග නවත්තන්නේ නෑ. ඒ සඳහා හැකියාව, ශක්තිය, ධෛර්යය ඔක්කොම අපි සතුව තියෙනවා. එහෙම කරන්න ගියාට පස්සේ විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්කම තියෙයි.
මේ වෙලාවේ තියෙන ලොකුම ව්‍යාපෘතියක් තමයි ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය. මේක මාසෙක දෙකක තුනක එකක් නෙවෙයි. මේකෙදී ජනතාව තුළ අධ්‍යාත්මික වශයෙන් සහ භෞතික වශයෙන් වෙනසක් ඇතිකරන්න ඕනේ. ටොෆිය කකා යන ගමන් පාරට කොළේ දාන ප්‍රජාවක් වෙනුවට ටොෆි කොළේ සාක්කුවේ දාගෙන ගිහිල්ලා බැහැර කරන තැනට වෙනස් කරන්න ඕනේ. වාහනේ එළවන ගමන් වීදුරුව ඇරලා එළියට බුලත් කෙළ ගහන පරම්පරාවක් වෙනුවට එහෙම නොකරන පරපුරක් හදන්න ඕනේ. පාරේ පිළිවෙළට යන්න පුළුවන් පරපුරක් හදන්න ඕනේ. අනෙකාගේ දුක දැනෙන, සහකම්පනය තියෙන, එකිනෙකාට උදව් කරන ප්‍රජාවක් අපි හදන්න ඕනේ. රට ලස්සනට තියන එක අපි හැමෝගෙම වැඩක් කියලා හිතන ප්‍රජාවක් අපි හදන්න ඕනේ. අපේ දරුවන්ට විෂ මත්ද්‍රව්‍ය විකුණන්නේ නැති එහෙම හිතෙන්නෙවත් නැති ප්‍රජාවක් අපි හදන්න ඕනේ. හැබැයි අද දරුවන්ට විෂ මත්ද්‍රව්‍ය විකුණනවනේ. මිනිස්සුනේ විකුණන්නේ. එහෙම සමාජයක් අද අපි ඉස්සරහා තියෙන්නේ. ඒ නිසා ක්ලීන් ශ්‍රී ලංකා කියලා කියන්නේ පාරේ කුණු අයින් කරන එක විතරක් නෙවෙයි. පාරේ කුණුත් අයින් කරන්න ඕනේ, හිත්වල තියෙන කුණුත් අයින් කරන්න ඕනේ. අයින් කරලා පිරිසිදු රටක් හදන්න ඕනේ. අලුතෙන් හිතන පරපුරක් හදන්න ඕනේ. ඔබ හිතනවද ඒක සතියකින් කරන්න පුළුවන් කියලා? පාරේ තියෙන කුණු නම් ට්‍රැක්ටරේ පටවගෙන යන්න පුළුවන් තමයි. හැබැයි මිනිස්සුන්ගේ හිත ඇතුළේ තියෙන වැරැදි අදහස් වෙනස් කරන්න කාලයක් ගතවෙයි. සමහර විට අපිට මොන්ටිසෝරියෙන් පටන්ගන්න වෙයි. ළමයින්ට කියලා දීලා, මවුපියන් දැනුවත් කරලා, රටක් ලෙස ඉස්සරහට ගියොත් මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකෙත් අපිට භෞතික පාර්ශ්වයක් තියෙනවා, ආධ්‍යාත්මික පාර්ශ්වයක් තියෙනවා.
සමහර විට ටිකක් පස්සේ කරන්න ඕනේ දේවල් කලින්ම කරන්න ගියාමත් ගැටලු මතුවෙනවනේ. ඒ කියන්නේ අපි කණ්ඩායමක් විදියට වැඩක් පටන්ගන්න ගියාමත් ඒක ඇතුළේ ගැටලු මතුවෙන්නත් පුළුවන්. අපි හැමෝම දන්නවා ක්ලීන් ශ්‍රී ලංකා පටන්ගන්න ගියාම ගැටලු මතුවුණේ ත්‍රීවීලර් සහ වාහනවල කෑලි ගලවන්න ගිහිල්ලා. ඒක ඊට වඩා ටිකක් සංයමයකින් දැනුම් දීලා කරගන්න තිබුණු වැඩක්. නමුත් දැන් ඒක හදලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. අඩුවක් දැක්කම ඒක හදන එකනේ අපේ වැඩේ.
අපිට විනයගරුක ලස්සන රටක් අපි හදන්න ඕනේ. ඒකට අපිට දැනුම කියන එක ඕනේ. පුස්තකාලයක් වගේ එකක් ඒ සඳහා වටින්නේ සමහර වෙනස්කම් කරන්න ගියාම ඒ සඳහා වන දැනුම ලබාගන්න. මොකද, සහෝදරවරු අපි ඔක්කොම මීට කලින් මේ වැඩේ කරලා නෑනේ. සමාජයක් වෙනස් කරලා අත්දැකීමක් අපිට නෑ. මේ තමයි පළමු අවස්ථාව. හැමෝටම පළමු අවස්ථාවක් තමයි තියෙන්නේ. දෙවැනි අවස්ථාව කියලා එකක් නෑ. එහෙම කරන්න ගියාට පස්සේ ඒක ඇතුළේ මතුවෙන ගැටලු මොනවද කියලා දන්නේ කොහොමද? ඊට කලින් කරපු පරම්පරාවන් ඒවා සටහන් කරලා තියෙන්නේ. මේ පුස්තකාලයේ තියෙනවා රුසියාවේ සමාජය වෙනස් කරන්න ගියාට පස්සේ මතුවෙච්ච ගැටලු ගැන ලියවිච්ච පොත් ගොඩක්. ලොකු පොතක් තියෙනවා මිහයිල් ෂොලහොව් ලියපු ‘පෙරලූ නැවුම් පස’ කියලා. එක්දාස් නවසිය තිස් ගණන්වල සෝවියට් දේශයේ හිටපු විශිෂ්ට කතුවරයෙක් ලියපු පොතක්. ඒ පොත කියෙව්වාම අපිට තේරෙනවා සමාජය වෙනස් කරන්න ගියාම මොන තරම් ගැටලු ආවද, මොන කුමන්ත්‍රණ තිබුණද, කඩාකප්පල්කාරී ක්‍රියා කොච්චර තිබුණද කියලා. හැබැයි ඒ ඔක්කොම පරාජයට පත්කරලා අවසානයේ සමාජය ජයග්‍රහණය කරා ඉස්සරහට ගියා. අපි කවුරුත් දන්න චින්ගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ කියන පුංචි පොතෙත් තියෙන්නේ ඒකමයි. ගමක දරුවන්ට උගන්වන්න ගියාම ඒ ගමේ පැරැණි වැඩිහිටියෝ ඒකට හරස් වෙනවා. ඒ ගුරුවරයට ගුටිකන්නත් වෙනවා. අවසානයේදී ඒ පාසලෙන් මහාචාර්යවරයෙක් බිහිකරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ සාහිත්‍යය ඇතුළේ ඒසා අත්දැකීම් සම්භාරයක් තියෙනවා මිනිස්සු පිළිබඳ, සමාජය පිළිබඳ, සමාජයක් වෙනස් කරද්දී ඇතිවෙන ගැටලු පිළිබඳ. ඒ නිසයි අපිට මේ පුස්තකාලය වැදගත් වෙන්නේ.
අපේ සහෝදර සහෝදරියන් සමහර වෙලාවට පොඩ්ඩක් කලබල වෙලා ඉන්නවා වටින් පිටින් එන විවේචන නිසා. ඔබට කලබල වෙන්න කිසිම හේතුවක් නෑ. අපි යමක් පටන්අරන් තියෙනවා. අපි ස්ථාවරව ඉස්සරහට යනවා. අපි ගත්ත ජයග්‍රහණ ගොඩක් තියෙනවා. අපි අපේ රටේ දේශපාලන පලිගැනීමේ සංස්කෘතිය නතර කළා ඡන්ද දෙකේදිම. ඒක වටිනවා. අපි අපේ රටේ මහජන මුදල් නාස්ති කරන, හොරකම් කරන සංස්කෘතිය මුළුමනින්ම අවසන් කරලා තියෙනවා. අපේ ජනාධිපති සහෝදරයා දිවුරුම් දෙද්දී උත්සව ගත්තේ නෑ. ඇමැතිවරු දිවුරුම් දෙද්දී උත්සව ගත්තේ නෑ. වී-8 වර්ගයේ දැවැන්ත වාහන පාවිච්චි කරන්නේ නෑ. විශාල පිරිවර දාගෙන ගමන් බිමන් යන්නේ නෑ. මහජන මුදල් ඉතිරි කරන්නේ මේ විදියට. ඊයේ පෙරේදත් චීනේ ගිහිල්ලා ආවා. ඔක්කොම අටක් දහයක් ඉන්න ඇති ඔක්කොම නිලධාරීනුත් එක්ක. ඉස්සර ගියේ එහෙම නෙවෙයි. ඉස්සර ගියේ ගුවන් යානයක් පුරවලා ගියේ. දැන් ඒවා නතර කරලා තියෙන්නේ. ඒ මහජන මුදල් නාස්ති වෙන්නේ නෑ. ඒවා මදිද?
ඊට අමතරව ජනතාවට කොච්චර සහන දීලා තියෙනවද? අපි විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපට රුපියල් 3000ක් එකතු කළා. අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩිකළා. දුප්පත් දරුවන්ට රුපියල් 6000ක් දුන්නා පොත් ටික ගන්න. පොත් මිල අඩුකළා. ඒ වගේ සහනත් ගොඩක් දීලා තියෙනවා. ගොවියන්ට සහනාධාරයක් දුන්නා. පොදු ජනතාවට සහන ගොඩක් දීලා තියෙන්නේ. දැන් විදුලි බිලත් අඩුවෙලා තියෙන්නේ. සමහර භාණ්ඩවල මිල අඩුවෙලා. තෝරාගත් ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක මිල අඩුවෙලා. ඒ නිසා ජනතාවට සහනදායී තත්ත්වයක් ලැබිලා තියෙන්නේ. ඔහොම තත්ත්වයක් තුළ අපේ හතුරෝ කිව්වේ මොකක්ද? හතුරෝ කිව්වේ අපි ආවම ආපහු පෝලිම් යුගයකට යනවා කියලා. තෙල් පෝලිම් ගැන කතා කළේ. හැබැයි අපි තෙල් අඩුකරලා දීලා තියෙන්නේ. විදුලිය අඩුකරලා දීලා තියෙන්නේ. පෝලිම් හදන්නේ නෑ කාටවත්. ආර්ථිකය කඩාවැටෙයි කියලා කිව්වා. අපි ආර්ථිකය ශක්තිමත් කරලා තියෙන්නේ. කොටස් වෙළෙඳපළ කඩාවැටෙනවා කියලා කිව්වා. ලංකාවේ කොටස් වෙළෙඳපළ වැඩියෙන්ම ඉහළ ගියේ පහුගිය දවස්වල. රුපියල බාල්දු වෙනවා කිව්වා. අපි රුපියල බාල්දු කරන්නේ නෑ. ඩොලරය රුපියල් 300ට යටින් තියාගෙන ඉන්නවා තාම. මේවා ජයග්‍රහණ. ඒ නිසා කඩාවැටිච්ච ආර්ථිකයක් තුළ අපි මේ මාස දෙකට කරපු දේවල් විශාලයි. බොහෝ දේවල් කරලා තියෙන්නේ. ඒ වගේම රට හදන්න පදනමක් දාලා තියෙන්නේ.
හතුරෝ මිතුරෝ ඔක්කොම බලන්න ඕනේ ජනාධිපති ඇතුළු කණ්ඩායම චීනෙට ගිහිල්ලා මොනවද රටට ගෙනාවේ කියලා. චීන සංචාරයේ අවසන් ප්‍රතිඵලය හොඳද නැද්ද? හොඳයි. අපි මුකුත් වික්කේ නෑ චීනයට. අපි මුකුත් දුන්නේ නෑ. හැබැයි අපි ඒගොල්ලන්ගෙන් ගිවිසුම් 15ක් අස්සන් කළා. අපිට අලුත් දැවැන්ත තෙල් පිරිපහදුවක් හම්බන්තොට හදන්න ඩොලර් බිලියන 3.7ක ආයෝජනයකට අස්සන් තිබ්බා. ඒක ජයග්‍රහණයක්. හැබැයි අපේ විරුද්ධවාදීන් මොනවද කියන්නේ? විරුද්ධවාදීන් කිව්වේ අනුර සහෝදරයා ඇඳපු කෝට් එකේ රැලි ගැන. බොත්තම දාලා තිබුණු එක ගැන. ඒ කියන්නේ අපේ විරුද්ධවාදීන් මොන තරම් ප්‍රාථමිකද? මොන තරම් දුර්වලද? වෙන විවේචනයක් නෑනේ. ඇඳුම ගැන හොයනවා කියන්නේ ඕපාදූපනේ. එතැනට වැටුණා කියලා කියන්නේ අපේ විවේචකයෝ නරකද? නෑ, අපි කියන්නේ හොඳයි. මොකද, ඒගොල්ලන්ට අපිට දේශපාලන විවේචනයක් කරන්න බැරිවෙයි. අපි නරක ගිවිසුමක් අස්සන් කළා කියන්න බැරිවෙයි. අපි අස්සන් කරපු ගිවිසුම් රටට හානිකරයි කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ඔවුන් කියන්නේ ඇඳපු කෝට් එක හරිනෑ, කෝට් එක ගැළපෙන්නේ නෑ වගේ දේවල්. ඒකෙන් පේන්නේ මොකක්ද? හැම දේකම වැරැදි බලන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ එහෙම කරගෙන ගියාවේ. අපි ඒ ඔක්කොම ඔළුවට ගන්න ගියොත් අපිට මේ ගමන යන්න බෑ. පොත්පත් බලන එකේ තියෙන වටිනාකම ඒකයි.
එංගලන්තේ හිටපු අගමැති වින්සන්ට් චර්චිල් මහත්තයා වරක් කියලා තිබුණා ‘ඔබ ගමනක් යනවිට ඔබට මගදී බුරන හැම බල්ලාටම ගලකින් ගහන්න ඔබ නතර වුණොත් ඔබට ගමන යන්න වෙන්නේ නෑ’ කියලා. බල්ලෝ ඉන්නේ බුරන්න තමයි. ඒ නිසා බල්ලො බුරපුවාවේ. කන්න පැනගෙන ආවොත් වගේ ගලකින් ගහන්න වෙයි. නැත්නම් තියෙන්නේ නොසකලා ඉන්න. ඒ නිසා බුරන ඒවා, කෑගහන ඒවා, විවේචන ගණන් ගන්න එපා. ඕගොල්ලෝ අපි කරන්න යන්නේ අතිශය විශාල බරපතළ, විශාල, අමාරු වැඩක් කියලා අපිට දැනෙන්න ඕනේ. සරල වැඩක් කරනවා නෙවෙයි. අපි හොරකම් නවත්තන්න ගියාම මොකද වෙන්නේ? හොරකමෙන් ජීවත් වෙච්ච මිනිහා ඒකට විරුද්ධ වෙනවා. අපි හොරු අල්ලන්න ගියාම මොකද වෙන්නේ? හොරකම් කරමින් ඉන්න කෙනා ඒකට බාධා කරන්න එයාට පුළුවන් හැම දේම කරනවා. අපි පාරේ විනය හදන්න ගියාම මොකක්ද සිද්ධ වෙන්නේ? පාරේ විනයක් නැතුව යන කෙනා ඒකට කැමැත්ත දක්වන්නේ නෑ. එහෙම තමයි. හැබැයි අපි ඒක ක්‍රමානුකූලව කරන්න ඕනේ දැනුමත් එක්ක. දැනුවත් කරලා කරන්න ඕනේ. නීතිවලින් රටක් හදන්න අමාරුයි. නීතිවලින් මිනිස්සු හදන්න අමාරුයි. හදන්න පුළුවන් සවිඤ්ඤාණිකත්වයෙන්. පොත් ඕනෙ වෙන්නේ එතකොට. පොත් දෙන්න ඕනේ කියවන්න. අපිත් තව තවත් කියවන්න ඕනේ. කියවලා අත්දැකීම් ගන්න ඕනේ මේ වගේ වැඩක් කරන්න කොච්චර අමාරුද කියලා. එතකොට ඒ අමාරුකමට මුහුණ දෙන්නේ කොහොමද? මිනිස්සුන්ව හසුරුවන්නේ කොහොමද? මිනිස්සුත් එක්ක තරහා වෙලා බෑනේ. ඔබ කියන්නේ මිනිස්සු වෙනස් කරන්න බැරිද? වෙනස් කරන්න පුළුවන්. අපි ඔක්කොම ඒකට උදාහරණනේ. මම වෙනස් වෙලා ඉන්නේ. මම වෙනස් වුණේ නැත්නම් තාත්තා ගිය පාරේ තමයි මමත් යන්නේ. අපි වෙනස් වුණා. අපි අපේ දේශපාලන අදහස් වෙනස් කරගත්තා. ඒ නිසා මිනිස්සු වෙනස් කරනවා, වෙනස් කරන්න අපිට පුළුවන්. හොඳ පැත්තට වෙනස් කරන එක අපේ වගකීම. හොඳ පැත්තට වෙනස් කරන්න අපිට අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට අත්දැකීම් දෙන්න ඕනේ. ඒ සඳහා පොතපත කියවන එක ගොඩක් වැදගත්….’










