2024 වර්ෂයේ ලංකාවේ කර්මාන්ත අංශයේ වර්ධනය පසුගිය කාර්තු තුනේම 10% ඉක්මවා පැවැති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
2024 පළමු කාර්තුවේදී කර්මාන්ත අංශයේ වර්ධනය 11.8%ක් ලෙසත් පැවැති අතර, දෙවැනි කාර්තුවේදී එය 10.9%ක්, තෙවැනි කාර්තුවේදී 10.8%ක වර්ධනයක් ලෙසත් පෙන්නුම් කරන බව වාර්තා වේ.
එහෙත් මේ වසරේ පළමු කාර්තු තුනේදීම කෘෂිකාර්මික අංශයේ සහ සේවා අංශයේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත.
2024 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික අංශයේ වර්ධනය 1.1%ක් ලෙස පැවැති අතර, දෙවැනි කාර්තුවේදී එය 1.7%ක් ලෙසත්, තෙවැනි කාර්තුවේදී 3%ක වර්ධනයක් ලෙසත් පැවතී ඇත.
තවද සේවා අංශයේ වර්ධනය 2024 පළමු කාර්තුවේදී 2.6%ක් ලෙසත්, දෙවැනි කාර්තුවේදී 2.5%ක් ලෙසත්, තෙවැනි කාර්තුවේදී 2.6%ක් ලෙසත් වාර්තා වේ.
මේ අනුව, පැහැදිලි වන්නේ කෘෂිකාර්මික සහ සේවා අංශයේ වර්ධනය තවමත් 3%කට වඩා අඩු මට්ටමක රටේ පවතින බවයි.
ආර්ථිකය තුළ පැහැදිලි වර්ධනයක් අත්පත් කරගැනීමට නම් කෘෂිකාර්මික සහ සේවා අංශ දෙක තුළද පැහැදිලි වර්ධනයක්, එනම් 5%කට වඩා වර්ධනයක් ළඟා කරගත යුතු බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










