2024 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් අතර කාලය තුළදී විදේශ වෙළෙඳාම මගින් ඩොලර් බිලියන 4.74ක පමණ අවාසියක් ශ්‍රී ලංකාවට සිදුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
අදාළ කාලපරිච්ඡේදය තුළ භාණ්ඩ අපනයනය තුළින් ලබා ඇති ආදායම ඩොලර් බිලියන 10.67ක් වන අතර, භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් බිලියන 15.42 පමණ වැයකොට ඇත.
මේ නිසා වෙළෙඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 4.74ක් ලෙස වාර්තා වේ.
එය පෙර වසරේ අදාළ කාලසීමාව හා සසඳන විට ඩොලර් මිලියන 720ක පමණ ඉහළ යෑමකි.
2024 පළමු මාස 10 තුළ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව වර්ධනය වී ඇත්තේ 7.7%කින් පමණි.
එහෙත් ආනයන වියදම 10.7%කින් පමණ වර්ධනය වීමක් පෙන්නුම් කරනු ලබයි.
විදේශ වෙළෙඳාම තුළින් මෙම වාසිසහගත තත්ත්වයක් මේ වනවිට නොමැති අතර, ආනයනය ක්‍රමයෙන් වැඩිකිරීම සඳහා රජය දිගින් දිගටම ක්‍රියාකරන්නේ නම් ඒ තුළින් රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණයට වඩා රටින් ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අනාගතයේදී තවදුරටත් වර්ධනය විය හැකිය.
මෙවැනි තත්ත්වයක් තුළ පෞද්ගලික වාහනද ආනයනය කිරීමට රජය ක්‍රියා කරන්නේ නම් එමගින් වෙළෙඳ ශේෂයේ හිඟය තවදුරටත් වර්ධනය වියහැකි යැයිද මහාචාර්යවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










