හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි. (Sri Lanka Latest News)
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේ බව සදහන් වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන් ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .
එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයෙන් බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිෂමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.
ලංගම මුලස්ථානයේ ප්‍රධාන විනය කළමණාකරු විසින් එකී වැඩ තහනම් නියෝගය නිකුත් කර ඇති බවද සදහන් වේ.










