බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය අතරතුර තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙම තුවාල සිදුකළ බවට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ තලංගම පොලීසිය මගිනි.
එසේ තිබියදී, අධිකරණයේ එදින පෙනී සිටි නිලධාරියා මෙවැනි කරුණු දැක්වීමක් සිදුකළා ද යන්න පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද දැනුම්දෙයි.
ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වනදා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලීසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් බවට මාධ්‍ය වාර්තාකර තිබූ පුවත සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මෙම නිවේදනය සිදුකර තිබේ.










