ලංකාව දැන් අවුරුදු කීපයක් තුළ ණය ගෙවීමේ අර්බුදයක ඉඳලා තියෙනවා. මේකෙන් ගොඩ එන්න නම් අපි ණය හිමියන් සමග සාකච්ඡා කරලා එකඟතාවකට එන්න ඕනේ කොහොමද ගෙවන ණය හැකි තරමකට කප්පාදු කරන්නේ කියලා. ඒක තමයි ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ. දැන් සැප්තැම්බර් මාසෙ අපි ආයෙත් පෞද්ගලික ණය හිමියන් සමග මේ වගේ එකඟතාවකට එළැඹුණා. එහි ඇති ප්‍රධාන සාධකයක් ගැන අපි අද කතා කරමු. (Sri Lanka Latest New)
ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී කරන්නේ ඒ ගෙවිය යුතු ණය යම් විදියකට කප්පාදුවකට ලක්කරපු අලුත් බැඳුම්කර නිකුත් කිරීමයි. දැන් ලංකාව ඉන්න තැනේ ඒ අලුත් බැඳුම්කර වර්ග දෙකක් නිකුත් කරන්න සූදානම් වෙලා තියෙනවා. එක වර්ගයක් තමයි සාමාන්‍ය බැඳුම්කර. ඒ කියන්නේ ඒ බැඳුම්කරවල ගෙවිය යුතු පොලී අනුපාතය නිශ්චිත වන බැඳුම්කර. දෙවැනි වර්ගය තමයි ඒ ගෙවිය යුතු පොලී අනුපාතය යම් අනාගත සාධකයක් මත බලපාන විදියට අඩු වැඩි වෙන බැඳුම්කර. අනාගත සාධක මත බැඳණු බැඳුම්කරවල මෙවලම් දෙකක් තියෙනවා. එකක් තමයි ආර්ථික වර්ධන මත බැඳුණු බැඳුම්කර. ඒ කියන්නේ ආර්ථික වර්ධනය අඩුවැඩි වන ආකාරයට ගෙවිය යුතු පොලී අනුපාතයත් අඩු වැඩි විය හැකි වෙනවා. දෙවැනි එක තමයි ආණ්ඩුකරණය මත බැඳුණු බැඳුම්කර. ඒ කියන්නේ ඉදිරියේ ආණ්ඩුකරණය ගැන ගන්නා තීරණ මත අඩු වැඩි වෙන බැඳුම්කර.
ආණ්ඩුකරණය සමග බැඳුණු බැඳුම්කර කියන්නේ ලෝකයේ අලුත්ම මෙවලමක්. ඒක වෙරිටේ රිසර්ච් ආයතනයෙන් තමයි ලෝකයට හඳුන්වා දීලා තියෙන්නේ. එය ලෝකයේ ණය හිමියන් විසින් පිළිගත්ත ක්‍රමයක් බවට අද පත්වෙලා තියෙනවා. එමගින් කරන්නේ රටකට අවස්ථාවක් දෙනවා යම් ආණ්ඩුකරණ ක්‍රියාවලි යහපත් මගට හරවලා ගෙවිය යුතු ණය අඩුකරගන්න. සාමාන්‍ය බැඳුම්කරවල ගෙවිය යුතු පොලී අනුපාතය නිශ්චිතව තියෙනවා. මෙතැනදී ඉදිරි සාධකයක් හැටියට හඳුන්වනවා ආණ්ඩුකරණය දියුණු කිරීමේ ක්‍රියවලිය. ඒ සාධකය ඉෂ්ට වුණොත් එතකොට ගෙවිය යුතු ණය අඩු කරගන්නවා.
එහෙම එකක් ඇත්තටම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය හිමියන් විසින් ඉදිරිපත් කරන්නේ ඇයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒක කරන්නේ මේ හේතුව නිසයි. මොකද ණය හිමියන් විශ්වාස කරනවා රටක ඉදිරියේ ණය ගෙවීමේ අවදානම අඩුවෙන තරමට ණය පොලියත් අඩුකරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අවදානමයි, ණය පොලියයි සමානුපාතිකව බැඳිලා තියෙනවා. ආණ්ඩුකරණය දියුණු කරනවා කියන්නේ, දූෂණය අඩුකරනවා කියන්නේ ඉදිරියේ ණය ගෙවීමේ හැකියාවේ අවදානම අඩුකර ගැනීමයි. ඇත්තටම ණය හිමියන් එකඟ වෙනවා එහෙම අවදානමක් අඩුකර ගත්තොත් රටකින් වැයකර ගන්නට හැකි ණය පොලියත් අඩු කරගන්න එක සාධාරණයි කියලා. ඉතින් මේ අලුත්ම ක්‍රමයක්. මේකෙන් කරන්නේ රටේ ආණ්ඩුකරණය දියුණු කරලා, ඒ කියන්නේ දූෂණයට තියෙන ඉඩකඩ අඩු කරලා, ඒ හරහා ණය ගෙවීමේ හැකියාවේ අවදානම අඩු කරගෙන, ඒක අඩුකිරීමේ වාසිය ණය හිමියන්ට විතරක් දෙන්නේ නැතුව රටටත් ඒ වාසිය ගැනීමට කටයුතු කිරීමයි.
සමහරුන්ට හිතෙන්න පුළුවන් කොහොමද විදේශ ණය හිමියන් අපේ රටේ පරිපාලන කටයුතු පිළිබඳ සාධක බැඳුම්කරවලට එකතු කරන්නේ කියලා. අපි හිතන්න ඕනේ විදේශිකයන් අපිට එකතු කරන සාධක හැටියට නෙවෙයි, අපි විසින් විf්දශකියන්ට එකතු කරන සාධක කියලා. මොකද, මෙතැනදී ආණ්ඩුක්‍රම දියුණු කරන ක්‍රමය ලංකාව විසින් නියෝජනය කරන ක්‍රමයක් වෙනවා. ජනතාවටත්, ආණ්ඩුවටත් විශේෂ අවශ්‍යතාවක් තියෙනවා දූෂණය අඩුකිරීමට. අපි දන්නවා අද ණය ලැබෙන්නේ විශාල අවදානමක් තුළ. පරිපාලනයේ අඩුපාඩු තුළ ලංකාටව ඉදිරියේදී ණය ගෙවීමේ හැකියාව අඩුවිය හැකියි කියන තක්සේරුව මත. එතකොට ණය පොලියත් වැඩියි. බැඳුම්කර මෙවලමෙන් අපි කියන්නේ නෑ අපි ඉදිරිපත් වෙනවා, අපිට අධිෂ්ඨානයක් තියෙනවා ඉදිරියේ ලංකාවේ දූෂණය අඩුකරගන්න පරිපාලනය දියුණු කරන්න. එතකොට මේ අධිතක්සේරු අවදානමත් ඒකට සම්බන්ධ අධිතක්සේරු ගෙවීම් ක්‍රමයත් අපිට අඩුකරගන්න බැඳීමක් අවශ්‍යයි කියලා. මේක ඇත්තටම ලංකාව විසින් ණය හිමියන්ට කරන යෝජනාවක් හැටියට සලකන්න පුළුවන්. ඒකෙන් අපි කරන්නේ අපේ පරිපාලනය දියුණු කරගැනීමේදී අපේ ණය පොලී අනුපාතයත් අඩුකර ගැනීමයි. මේ මෙවලමේ කිසි විදියකට සාමාන්‍ය බැඳුම්කරවලට සාපේක්ෂව ණය පොලිය වැඩි වෙන්නේ නෑ. ඒක අඩු කරගැනීමේ අවස්ථාවක් හැදෙන එක විතරයි සිදුවෙන්නේ.
මේ විශේෂ බැඳුම්කර මෙවලම ආණ්ඩුකරණය සමග බැඳුණු බැඳුම්කර අප්‍රේල් මාසේ තමයි පළමු වරට ලංකාවත්, ණය හිමියන් අතරත් එකඟතාවට එන්නේ. අප්‍රේල් එකඟතාව තිබුණා. ඊට පස්සේ ජුනි එකඟතාවට ඒක ඇතුළත් වුණා. සැප්තැම්බර් එකඟතාවෙත් ඒක ඇතුළත් වුණා. අපි දන්න විදියට තවමත් ආණ්ඩුව විසින් නිශ්චිතව ආණ්ඩුකරණය දියුණු කිරීමේ ක්‍රමවේදයක් බැඳුම්කරවලට එකතු වෙන විදියට සාකච්ඡා කරලා ඉදිරිපත් කරලා නෑ. ඒක කරන්න ප්‍රමාද වුණොත් සමහර විට මේ බැඳුම්කරවල තියෙන වාසිය ලබාගන්න පුළුවන් ඉඩකඩ අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අද වෙද්දී රටටත් අලුත් අධිෂ්ඨානයක් තියෙනවා. දූෂණය අඩු කළ යුතුයි. ආණ්ඩුකරණය දියුණු කළ යුතුයි කියලා. ආණ්ඩුවටත් අධිෂ්ඨාණයක් තියෙනවා මේ දියුණුව සිදුවිය යුතුයි කියලා. ඒ අධිෂ්ඨානය අපි ලියවිලි මාර්ගයෙන් මේ බැඳුම්කරවලට එකතු කළොත් එතැන් පසු ඉදිරියට ගෙවිය යුතු ණය අඩුකර ගැනීමේ විශේෂ අවස්ථාවක් ලංකාවට ලැබෙනවා. හැබැයි නොපමාව ඒ මාර්ගයට එළඹිය යුතුයි. එහෙම නැතිවුණොත් ඒ හරහා ලබාගත හැකි වාසිය ලංකාවට අහිමි වෙයි.
ආචාර්ය නිශාන් ද මෙල්
(Verité Research යූටියුබ් නාලිකාවෙනි)










