රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරුන් සමග ඖෂධ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම පිළිබඳව විමර්ශනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී පැවැති මෙම සාකච්ජාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු සහ භාණ්ඩාගාර නියෝජිතයෝ එක්ව සිටියහ.
මෙහිදී රට තුළ ඖෂධ සැපයුම සකස්වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සැපයුම ක්‍රම 03කට සිදුවන බවත්, ඒ රාජ්‍ය අංශයේ නිෂ්පාදන, පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහ දෙඅංශයම කරන ආනයන වශයෙන් බවත් කීය.
රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත්, ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගත වන බැවින් ඇතැම්විට හිඟයක් ඇති වන බවත් සභාපතිවරයා කීය.
ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන ලෙස සහ කළින් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කොට ඊළග වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළයුතු බව ජනාධිපතිවරයා ඔවුනට පවසා තිබේ. අතරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශ්වයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළයුතුය. ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. සියලු ඖෂධ ඉහළම ප්‍රමිතියෙන් තිබිය යුතු බව සහ ගුණාත්මක අගයෙන් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යය, එමෙන්ම ඖෂධ කල් ඉකුත්වීමේ දින ගණනය කොට ඇණවුම් කිරීමද වැදගත් වේ.
රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනය නිෂ්පාදනය කරන බව සඳහන් කළ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශියව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය. එමගින් වසරකට රුපියල් කෝටි 130ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වෙතැයි සභාපතිවරයා කීය.
සේවක අර්ථ සාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරය සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීමේ ඉඩ කඩ ද සාකච්ඡාවේ දි විමර්ශනය කෙරිණ. එවැනි ක්‍රමයක් සකස් කළහොත් මේ අරමුදල් දෙකට ස්ථීර ආදායමක් විවෘත වනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.











