ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඝාතකයන් අද සිටින්නේ මාලිමා වේදිකාවේ බවට, එම ඝාතනය ඇසින් දුටු හිටපු යුද හමුදා සෙබළෙකු වන ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව එල්ල කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මැදිරිගිරියේ ජන හමුවකට එක් වෙමින්. (Sri Lanka Latest News)
සමාජවාදී ජනතා සංසදයේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේට සහය පළකිරීමේ ජන හමුවක් මැදිරිගිරිය නගරයේදී පැවැති අතර, කලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා ද එක්වුණා. එදා රෝහණ විජේවීර සහෝදරයා ගැන කතා කළ නිසා තමන්ට වසර 08ක් සිරගත වීමට සිදුවූ බවත් ඔහු එහිදී සඳහන් කළා. අද එහි ප්‍රධාන චූදිතයා මාලිමා රැස්වීම්වල ප්‍රධාන ආරාධිතයා වී ඇති බවත්, එම පුද්ගලයා විජේවීරට පිස්තෝලයෙන් වෙඩිතබා, පණපිටින්ම ආදාහනාගාරයට විසිකළ පුද්ගලයා බවත් ඉන්ද්‍රනන්ද පවසා සිටියා. මෙම සිදුවීම අසත්‍යයක් නම් තමන්ට නඩු පවරන ලෙස අභියෝග කළ ඔහු, එම සිද්ධිය අවස්ථාවේ ඡායාරූප ලබාගත් පුද්ගලයා තමන් බවද සඳහන් කර සිටියා.
ඉන්ද්‍රනන්ද ද සිල්වා එහිදී පළකළ අදහස් මෙසේය.
‘අද මේජර් ජෙනරල් කෙනෙක් ජේ.වී.පී. එකේ රැස්වීමකට ගිහිල්ලා ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට පොල්තෙල් පහන දල්වනවා. කවුද මේජර් ජෙනරල්? රෝහණ සහෝදරයා පිස්තෝලෙන් වෙඩිතියලා ආදාහනාගාරයට විසිකරද්දී බැම්මේ වැදිලා බිම වැටිලා කෙඳිරිගානකොට තොපිට බැරිද කියලා කෑගහලා වැඩක් කරන්න රෝහණ සහෝදරයව පණපිටින් ආදාහනාගාරයට විසිකරපු ගහලයා. මං තොගේ නමත් එක්ක කියනවා. පුළුවන් නම් දාපන් මට නඩු. එතැන ඡායාරූප ගත්තු මිනිහා මම. මම ලෑස්තියි උසාවියක් ඉදිරියේ මූණ දෙන්න. දාපන් මට නඩු. කාට හරි සැකයක් තියෙනවා නම් මේ රැස්වීම ඉවර වුණාම මම මේ ෆෝන් එකේ තියෙන මගේ ෆොටෝ ඔක්කොම පෙන්වන්නනම්. හඳුන්නෙත්තිත් එක්ක එකට මෙහෙම ෆොටෝ ගන්නවා. තොපේ හෘදසාක්ෂිය කුණුවෙලාද? යුක්තිය ඉල්ලපු මිනිස්සු උන්ට සාධාරණය ඉටු නොකරපු තොපි අද උන්ගේ ගහලයොත් එක්ක වේදිකාවල එකට ලගිනවා. එදා රෝහණ සහෝදරයගේ ඝාතනය මුළු ලෝකෙට කියලා අවුරුදු 8ක් හිරේ ලැගපු මට ඒ ඝාතකයොත් එක්ක මාලිමා වේදිකාවේ ඉන්න බෑ.
අනුර කුමාර දිසානායක. මාත් එක්ක එකට පක්ෂේ වැඩකරලා තියෙනවා. අපිත් එක්ක රතු ෂර්ට් දාගෙන හිටපු අය. අද දම්පාට වෙලා. ජනතාව ගොනාට අන්දන විදිය. අනුර කැතයි, ලැජ්ජයි, හිරිකිතයි. මෙන්න ඔහේගේ ප්‍රතිපත්තිය. මේකේ කොතැනකවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවා කියලා නෑ. අධ්‍යාපනය රජයේ වගකීමක්. අම්මටහුඩු. මං ඔබට වගකීමකින් කියනවා මාලිමාවේ ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශය ඔන්න යූටියුබ් එකේ තියෙනවා. පිටු 233යි. මේකේ නෑ අධ්‍යාපනය විකුණනවා කියලා. ඒකේ තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල හදනවා. මේක කොලේ හංගලා ගැහිල්ලක් නෙවෙයිද? නිදහස් අධ්‍යාපනයෙන් උපාධියක් ගත්ත අනුර උඹට පුළුවන්ද අධ්‍යාපනය විකුණනවා කියන්න? පුදුම වෙන්න එපා. අනුරගේ දරුවා ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට. ජොබ් එකක් කරන්නේ නෑ. බිරිඳට රැකියාවක් නෑ. කොහොමද දන්නේ නෑ ගියේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට? ලාල්කාන්ත ඔහේගේ දරුවා ගියෙත් පෞද්ගලික විශ්වවිද්‍යාලයට. සුනිල් වටගල උඹේ දරුවා ගියෙත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට නෙවෙයි. වසන්ත සමරසිංහ. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු. උඹේ දරුවා තවම විශ්වවිද්‍යාල වයසේ නෑ. හැබැයි යන්නේ රජයේ ඉස්කෝලෙකටද? නෑ. වරද්දගන්න එපා. හොරයිසන් ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙට. දියතේ තියෙන වෝටර්ස් එජ් හෝටලයේ තමයි මහින්ද ජයසිංහ දුවගේ බර්ත්ඩේ පාටි ගන්නේ. කොහොමද මේ නැගපු නැගිල්ල? උඹලට බෑ මෙහෙම කොලේ හංගලා ගහන්න.
අනුර දිසානායක, ඩඩ්ලි සිරිසේනගේ අතිජාත යාළුවා. අද ගජරාමෙට පොළොන්නරුවේ සල්ලි දෙන්නේ ඩඩ්ලි සිරිසේන. අයියා එහෙ ඉඳන් ඡන්දෙට ආවේ නෑ මෛත්‍රී. නිෂ්ක්‍රීයයි. එයා උදව් කරන්නේ මාලිමාවට. අනුර කුමාරට පුළුවන්ද ඉතුරු දවස් හතර ඇතුළත රටට කියන්න 21 වැනිදායින් පස්සේ ඩඩ්ලි, නිපුන, නිව් රත්න උඹලගේ මෝල් මාෆියාව ඉවරයි. එහෙම කියන්න පුළුවන්ද? අපි අභියෝග කරනවා. අනුර ආවොත් හොරකම්ලු නැතිකරන්නේ. හොරකම් හොරකම් හොරකම්… හොරකම් ගැන කියනකොටම මැදිරිගිරියෙන්ම කෙළවුණා. මාලිමාව පාලනය කළ සමුපකාරය ෂෙඩ් එකෙන් හතළිස් ලක්ෂයක් කෙළලා. විශ්‍රාම වැටුප් අහෝසි කරනවා, නිල නිවාස අහෝසි කරනවා කියන්න කලින් ලාල්කාන්ත ඔහේ අවුරුදු 17ක් ඉන්නේ කොහේද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 45ඩී නිල නිවසේ. අවුරුදු 17ක්. කැතයි යකෝ. රටට කියනවා බොන්නෙම නැතිලු සිගරට් එකක්වත්, මත්පැන් පොඩ්ඩක්වත්. හත්වලාමේ ලාලා උදේ ඉඳන්ම නස්කූනි වෙන්න බොන්නේ. විජිත හේරත් නස්කූනි වෙන්න බොන්නේ. යකෝ රටේ ජනතාවට කියලා බීපල්ලා. අපි දැන් ටිකක් ගහනවා….’
විජේවීර ඝාතනය සියැසින් දුටු යුද හමුදා ඡායාරූප ශිල්පියා සිදුකළ හෙළිදරව්ව
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර පිළිබඳ මේ වෙද්දී අපේ සමාජයේ අලුතෙන් කතාබහක් ඇතිවෙන්න පටන් අරන් තියෙනවා. ඒ කතාබහ ආරම්භ වෙන්නේ රෝහණ විජේවීර අතුරුදන් වෙලා වසර ගණනාවකට පස්සේ ඔහුගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර තම සැමියා සොයාදෙන ලෙස අධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කිරීමත් සමගින්.
1989 නොවැම්බර් 12 වැනිදා කර්නල් හෙට්ටිආරච්චි ප්‍රමුඛ විශේෂ ඒකකයක් විසින් උලපනේ ශාන්ත මේරි වතු යායේ පදිංචි වෙලා වැවිලිකරුවකු ලෙස සැඟව සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නවා. ඉන් පස්සේ ඔහුට අත්වුණු ඉරණම කුමක්ද කියලා රටේ ජනතාව දන්නවා. ඒත් ඔහුට අත්වූ ඉරණම පිළිබඳ සමාජය තුළ සැක සංකා බොහොමයක් පවතිනවා. අත්අඩංගුවට ගැනීමෙන් දිනකට පස්සේ එවක රට පාලනය කළ ප්‍රේමදාස ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රංජන් විජේරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ප්‍රකාශයක් නිකුත් කරනවා. එහිදී විජේවීර පිළිබඳ එක්තරා හෙළිදරව්වක් කරනවා. ඒ හෙළිදරව්වට අනුව රෝහණ විජේවීර ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වුණාලු. පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරු රැසක්ම හෙළිදරව් කර තිබුණ.ි
ඉතා වැදගත් ලිපිගොනුවක් භාරදෙන්නට විජේවීර සිය රහසිගත මූලස්ථානය වෙත ආරක්ෂක හමුදාව සමග ගියා. එහිදී එක්තරා ලාච්චුවක තිබිලා ලිපි ගොනුවක් ආරක්ෂක හමුදාව වෙත දෙන ලෙස එතැන හිටපු එච්.බී. හේරත් නම් අයකුට විජේවීර නියෝග කරලා තිබුණලු. ලිපි ගොනුව ගැනීමට ලාච්චුව අරින මුවාවෙන් ක්‍රියාත්මක වූ එච්.බී. හේරත් එහි තිබූ පිස්තෝලයක් ගෙන විජේවීර වෙත වෙඩි වරුසාවක් එල්ල කළාලු. වහාම ක්‍රියාත්මක වූ යුද හමුදාව හේරත්ට වෙඩිතැබුවා. වෙඩිතැබීම්වලින් දෙදෙනාම මරුමුවට පත්වුණාලු. ආරක්ෂක හේතු මත හමුදාව විසින් මේ දෙදෙනාගේම සිරුරු ඉතා ඉක්මනින් ආදාහනය කරනු ලැබුවා. රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් රජය නිල වශයෙන් ඒ වගේ නිවේදනයක් ලබාදුන්නද සැබැවින්ම විජේවීරට අත්විඳීමට සිදුව තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් අවාසනාවන්ත ඉරණමකටයි. ඒ අවාසනාවන්ත බිහිසුණු ඉරණමට තම ආදරණීය නායකයා මුහුණ දුන්නු ආකාරයට කෝපයෙන් දිළෙන ඇස් දෙකකින් බලා සිටි තුන්වැනි පාර්ශ්වයක්ද එතැන සිටියා. ඒ තුන්වැන්නා තමයි ඉන්ද්‍රනන්ද ද සිල්වා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වුවත් ඒ වන විට උපක්‍රමිකව යුද හමුදා පොලිසියේ සේවයේ නියුතු ඡායාරූප ශිල්පියෙක් ලෙස සේවය කළ මොහු විජේවීරගේ අවසන් මොහොත සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් වසං කළ සියලු තොරතුරු සමාජය හමුවේ හෙළිදරව් කරනු ලැබුවා. මේ, ඔහු දෑසින් දුටු අමිහිරි සිදුවීම පිළිබඳ සිදුකළ අනාවරණයයි.
‘එදා දවස 1989 නොවැම්බර් 12 වැනිදා. උලපනේ ශාන්ත මේරි වතුයායේ හිමිකරු ලෙස සිටි අත්තනායක නම් පුද්ගලයෙක් රෝහණ විජේවීර ලෙස හඳුනාගෙන හමුදාව විසින් අත්අඩංගුවට අරන් ගුවන් මගින් කොළඹට ගෙනාවා. මමත් පොළොන්නරුවේ පලුගස්දමන කියන ගමේ. ඉස්කෝලේ ගියෙත් පලුගස්දමන මහා විද්‍යාලයට. එවක පැවැති රජයට එරෙහිව ශිෂ්‍ය සටන් ඇවිළිලා තියෙන කාලේ මම 1984දී ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමයට බැඳෙනවා. පන්ති වර්ජන සංවිධාන කරන එක තමයි එදා අපේ රාජකාරිය වුණේ. ඇත්තටම මම හමුදාවට බැඳෙන්නේ නම් උපායමාර්ගිකව නෙවෙයි. එදා තිබුණු දරිද්‍රතාව නිසා පක්ෂයටවත් නොදන්වා තමයි මම හමුදාවට අයැදුම්පත් යොමු කරන්නේ. ඒ ගැන දැනුම් දුන්නාම පක්ෂය මුලදී විරුද්ධව හිටියා. පසුව ඔවුන් මාව දිගින් දිගටම සම්බන්ධීකරණය කරමින් පක්ෂයේ වැඩකටයුතු සඳහා යොදාගන්න සැලසුම් කළා. ඔය කියන සිදුවීම වෙද්දී මම හිටියේ නාරාහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයේ.
කොළඹ දිස්ත්‍රික් සංවිධානය හරහා මම පක්ෂය සමග හොඳින් සම්බන්ධකම් තියාගෙන හිටියා. විජේවීරව 12 වැනිදා අත්අඩංගුවට ගත්තට මම මේ සිද්ධියට මුහුණ දෙන්නේ එදා රාත්‍රී 12න් පස්සේ. ඒ කියන්නේ 13 වැනිදා. එදා උදේ පාන්දර 1ට විතර මම නිදාගෙන ඉන්න බැරැක්කයට කෙනෙක් ඇවිල්ලා මගේ මූණට සැර විදුලි පන්දමක් එල්ල කරලා මාව නැගිට්ටෙව්වා. ඒ ආපු කෙනා කැප්ටන් අබේනායක. මට ලොකු සැකයක් ඇතිවුණා. අපි වගේ සෝල්ජර්ස්ලා හිටපු බැරැක්කවලට නිලධාරීන් එන්නේ නෑ. නිලධාරීන්ගේ නිවස්න පැත්තට අපි යන්නෙත් නෑ. යන්නේ මොකක් හරි විශේෂ හේතුවක් ඇතිව විතරයි. ඒ වෙද්දී මම ගැන යම් යම් සැක සංකා ඉහළට දැනිලා තිබුණු හින්දා කැප්ටන් අබේනායකගේ කැඳවීම මට එච්චර දිරෙව්වෙත් නෑ. ඔහු මාව එළියට ගෙනල්ලා කිව්වා රහසිගත රාජකාරියක් තියෙනවා, ඡායාරූප ගන්න වුවමනා ආම්පන්න ඔක්කොම අරගෙන ඔෆිස් එක ඉස්සරහා විලෝ ගහ යට නතර කරලා තියෙන කාර් එකට නගින්න කියලා. මම ආම්පන්න ඔක්කොම අරගෙන විලෝ ගහ යටට එනකොට එතැන නතර කරලා තිබුණේ අපේ අණ දෙන නිලධාරී කර්නල් දසනායකගේ කාර් එක. මම එතැනට යනකොටත් කර්නල් දසනායක කාර් එක ඇතුළේ හිටිය. මට මුලදී චකිතයක් ඇතිවුණා. කැමරා ආම්පන්න අරගෙන එන්න කියනකොටම මට අමුත්තක් දැනුණා. මට ඒ වෙද්දී පක්ෂයෙන් දීලා තිබුණු ගිනි අවිය අතටත් අරගත්තා. නමුත් ආයෙ වතාවක් කල්පනා කළා. එහෙම හිතලා ඒක මාධ්‍ය අංශයේ හංගපු තැනම තැන්පත් කරලා කැමරාව විතරක් අරගෙන වාහනයට යද්දී කර්නල් දසනායක මට පැහැදිලි කිරීමක් කළා. ‘මේ යන්නේ ඉතා රහසිගත ගමනක්. එතැන සිදුවෙන කිසිම දෙයක් පිටට දිය යුතු නැහැ’ ඔහු මට ඒ විදියට කිව්වා. අපි තුන්දෙනාම කෙළින්ම ගියේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයට. එදා ඒක තිබුණේ කිරුළපනත් නාරාහේන්පිටත් අතර තැනක. අපි එතැනට යනකොටත් එතැන තිබුණේ කලබලකාරී පරිසරයක්. කර්නල් දිසානායක මාවත් එක්කගෙන උඩ තට්ටුවට ගියා. අපේ යුද හමුදාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියෝ 20ක් විතර අඩ කවයක් ලෙස වාඩිවෙලා ඒ ඉදිරියේ පුටුවක් තියාගෙන වාඩිවෙලා ඉන්න කෙනෙක් එක්ක ලොකු සාකච්ඡාවක් කරමින් හිටියේ. ඇත්තටම ඒක ප්‍රශ්න කිරීමක් විදියට නෙවෙයි මම නම් දැක්කේ. ඊට වඩා කිට්ටු බොහොම සුහද සාකච්ඡාවක් විදියට. ඒත් මට මේක හරි ප්‍රශ්නයක්. මේ ඉන්න විශේෂ පුද්ගලයා කවුද කියලා දැනගන්නකන් මට ඉස්පාසුවක් තිබුණේ නෑ. එතැන හිටියා තුවාන් නිසාම් මුතාලිෆ්. ඒ කාලේ ඔහු තරු දෙකක් තියෙන ලෙෆ්ටිනන් කෙනෙක්. මම ඔහුගෙන් ඇහුවා මේ ඉන්නේ කවුද කියලා. ‘ඇයි උඹ දන්නේ නැද්ද? ඔය ඉන්නේ රෝහණ විජේවීර’ කියලා ඔහු ඉතා සැහැල්ලුවෙන් මට කිව්වා.
මුතාලිෆ් එහෙම කියද්දී ඇත්තටම මට නම් හිතුණේ විජේවීරට වගේ කවුරු හරි නළුවෙක් අන්දලා නාට්‍යයක් රඟදක්වනවා කියලා. ඒ වගේ වැඩ ඒ ආණ්ඩුවෙන් ඕනේ තරම් කරපු බවත් මට මතකයි. මට හිතුණෙම නාට්‍යය හොඳටම රඟදැක්වෙනවා කියලා.
අපිත් එක්ක වැඩකරපු දෙන්නෙක්ම තමයි වීඩියෝ කළේ. මමත් ඔවුන්ට උදව් කරමින් මේ පුද්ගලයා ගැන වටෙන් පිටෙන් විමසිලිමත් වුණා. මටත් කිව්වා ඔහුගේ විශේෂ ඡායාරූප කීපයක් ගන්න කියලා. මමත් ඔහුගේ හොඳ ෆොටෝ කීපයක් ගත්තා. ඒ අතර තමයි මම ළං වෙලා ඇහුවේ ‘ඇත්තටම ඔබ රෝහණ විජේවීරමද?’ කියලා. මේ ඉන්නේ නියම මනුස්සයෙක් කියලා මම ඔහු සමග කතාකරපු වචන කීපයෙන්ම අවබෝධ වුණා. මගේ හිත ඇතුළාන්තයෙන් හඬාවැටෙන්න පටන්ගත්තේ ඒ වෙලාවෙයි. මේ අසමසම මනුෂ්‍යයා කොහොම මේගොල්ලන්ට අහුවුණාද කියලා මට පුදුම හිතුණා. පක්ෂයේ කෙනෙක් විදියට මම තමයි එතුමාව මුණගැහිලා අවසානයටම කතා කළේ. ඒත් මම කවුද කියන එක නායක සහෝදරයා දැනගෙන හිටියේ නෑ. කොහොමටත් මට එතැන වැඩි වෙලා කතා කරකර ඉන්න ලැබුණේ නෑ. මුතාලිෆ් මාව පහළ තට්ටුවේ හිටපු කෙනෙක්ගේ ෆොටෝ ගන්න පිටත් කරලා යැව්වා. එතැන හිටියේ එච්.බී. හේරත් සහෝදරයයි. ඒක මම පසුව දැනගත්තේ. ඔහුට නම් මස් වැදැල්ලක් බවට පත්වෙන තුරුම හොඳට ගහලයි තිබුණේ. ඇහැකුත් එළියට පැනලා තිබුණා. මම බොහොම අමාරුවෙන් බිත්තියට හේත්තු කරලා කෙළින් කරලා ඡායාරූප කීපයක් ගත්තා. ඒවා ඒ තරම් සාර්ථක වුණේ නෑ. එච්.බී. හේරත් කියන්නෙත් අපේ පක්ෂයේ ඒ කාලේ හිටපු ඉහළම දේශපාලන මණ්ඩල සභිකයෙක්. ඒ වෙද්දී අපේ හමුදාපති ලෙස හිටියේ ලුතිනන් ජනරාල් හැමිල්ටන් වනසිංහ. එයා මේ ස්ථානයේ නම් හිටියේ නෑ. මේජර් ජෙනරල් සිසිල් වෛද්‍යරත්නගේ ප්‍රධානත්වයෙන් තමයි මෙතැන සියලු කටයුතු සංවිධාන වුණේ. ඒ හැරුණාම බි්‍රගේඩියර් ලකී අල්ගම, බිගේඩියර් ජයසුන්දර, කර්නල් දිසානායක, මේජර් උඩුගම්පළ, මේජර් තෝරදෙණිය, කර්නල් බලගල්ල, ජානක පෙරේරා වැනි අය එතැන හිටියා.
ඒ හැරුණාම ආණ්ඩුවේ එවක ප්‍රබලම පොලිස් නිලධාරියා වෙච්ච රොනී ගුණසිංහත් එතැන හිටියා. ඒ අය තමයි ඉතා සුහදව කෝපි බිබී නායක සහෝදරයාගෙන් ප්‍රශ්න කර කර හිටියේ. මුලදී නම් මම හිතුවේ නෑ නායක සහෝදරයාව ඝාතනය කරන්න මෙතැන සැලසුමක් තියෙනවා කියලා. මට එහෙම දැනුණෙම නෑ. ප්‍රශ්න කිරීම ඉතාම සුහද මට්ටමක කෙරුණේ. ලකී අල්ගම, තෝරදෙණිය, රොනී ගුණසිංහ හැරුණාම අනෙක් ඔක්කොම ඉතා සුහදව නායක සහෝදරයත් එක්ක කතා කළා. එයාලා ප්‍රශ්නයක් ඇහුවාම නායක සහෝදරයා දුන්නේ දේශනා තරමට දිග උත්තර. සමහරු මෝහනය වෙලා වගේ මේ දේශනා අහගෙන හිටියා. එක වෙලාවකදී නායක සහෝදරයා ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. එක කණ්ඩායමක් විජේවීර සහෝදරයව අරගෙන ගිහිල්ලා තිබුණේ ගොල්ෆ් පිටියට.
එතැනදී එයාගේ ජීවිතේ පිළිබඳ අවසන් කටයුතු කරලා ඉවර වෙලා බොරැල්ල කනත්තේ ආදාහනාගාරයට ගේන්න තමයි සැලැස්ම. අපි එතැනට ගියාම ඇති කියලයි කර්නල් කිව්වේ. කොහොම හරි අපි එතැනට යනකොට සැලසුමේ මුල් කොටස ක්‍රියාත්මක වෙලා ඉවරයි. ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකට ගෙනිහිල්ලා මස් වැදැල්ලක් බවට පත්කරලා තිබුණු විජේවීර සහෝදරයගේ දේහය ආපහු ගෙනැවිත් ආදාහනාගාරය ඉස්සරහා බිම අතහැරලා දාලා තිබුණා. මගේ හිත කීරිගැහිලා ගියා. මම අත් දෙකෙන්ම කැමරාව තදකරලා අල්ලගත්තා. මේ සිදුවෙන කිසිම දෙයක් ඡායාරූප ගතකරන්න එපා කියලා මට දීපු උපදේශය මතක් වුණා. විජේවීර සහෝදරයාගේ සිරුරෙන් උණු ලේ ධාරාවන් බිම දිගේ ගලාගෙන යන හැටි මම දැක්කා. ඇත්තෙන්ම නොවැම්බර් 12 වැනි උදේ වරුවේ අත්අඩංගුවට ගත් විජේවීර සහෝදරයාගේ කතාව 13 වැනිදා එළිය වැටෙනකොට අළු දූවිලි බවට පත්වෙලා රහසක් බවට පත්වෙන්න යන ලකුණු තමයි පේන්න තිබුණේ. ඒ වෙද්දී ඉතා ඉක්මනින් වෙනත් ප්‍රබන්ධ කතාවක් නාට්‍යානුසාරයෙන් රඟදක්වන්නට උදෙන්ම දේශපාලන බලධාරීන් හා ආරක්ෂක ප්‍රධානීන් සැලසුම් කරලා තිබුණා. එදා දවල් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න අතිවිශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳෙව්වා. දෙස් විදෙස් ජනමාධ්‍ය රැසක් ඊට සහභාගි වුණා. රංජන් ඇමැතිතුමා නාට්‍යයේ පිටපත කියවන්න පටන් ගත්තා.
ජනතා විමුක්ති පෙරමුණේ, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායක රෝහණ විජේවීර ඊයේ උදේ වරුවේ යුද හමුදාව විසින් උලපනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ගුවන් මගින් කොළඹට ගෙනත් කරන ලද සාකච්ඡාවකදී සියලු සටන් අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිසෙන්න ඔහු එකඟ වුණා. ඊට පස්සේ ඔහු රූපවාහිනී මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයකුත් කළා.
මේ අතර විජේවීර ඉතා වැදගත් රහසිගත ලිපිගොනු රැසක් හමුදාව වෙත භාරදෙන්න හමුදා කණ්ඩායමක් එක්ක කොළඹ පිහිටි තම මූලස්ථානයක් වෙත පිටව ගියා. හමුදාව විසින් කරන ලද වැටලීමකින් පස්සේ මූලස්ථානය ඇතුළට ගිය විජේවීර එහි තිබූ යම් රහසිගත ලිපිගොනුවක් හමුදාව වෙත ලබාදෙන්නට එච්.බී. හේරත් නමැති පුද්ගලයකුට බාරදුන්නා. ලිපිගොනුව සොයා දෙන මුවාවෙන් සඟවා තිබූ අවියක් සොයාගත් එච්.බී. හේරත් ඉන් විජේවීර වෙත වෙඩි වරුසාවක් එල්ල කළා. එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දැක්වූ හමුදා වෙඩි පහරින් එච්.බී. හේරත් මියගියා. ඔහුගේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ විජේවීරත් ඒත් සමගම අවසන් ගමන් ගියා. ආරක්ෂක හේතූන් මත මේ දෙදෙනාගේම සිරුරු ආරක්ෂක හමුදාව විසින් ආදාහනය කළා.
රංජන් විජේරත්න ඇතුළු පිරිස මොන තරම් සූක්ෂ්ම ලෙස ප්‍රබන්ධයක් නිර්මාණය කර තිබුණත් ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඒ කතාව විශ්වාස කළේ නැහැ. සමහරු රහසිගත එම මූලස්ථානය කොළඹ කොහේද තියෙන්නේ කියලා ප්‍රශ්න කරන්න වුණා. මේ අවස්ථාවේදී රංජන් විජේරත්න බලවත් අපහසුතාවට පත්වුණා. ඒ විතරක් නෙවෙයි රටේ වැරැදි මත පැතිරිලා ගියා.
එවක ජනාධිපතිවරයා මේ ඝාතනයේ වගකීම වෙනත් අයට පැවරෙන ලෙස වේදිකාවල විවිධ ප්‍රකාශ නිකුත් කළා. තමන් මේ බව දැන සිටියා නම් විජේවීරට මේ ඉරණම අත්වෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා ඔහු කිව්වා. ඒ ප්‍රකාශවලින් අපහසුතාවට පත්වුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්නයි. අන්තිමේ මටත් වැඩි කලක් හෙළිදරව් නොවී ඉන්න බැරි වුණා. හමුදාවේ රහස් තොරතුරු ඡායාරූප පිටස්තර පාර්ශ්වලට යන්නේ කොහොමද කියලා හොයපු බුද්ධි අංශවලට මං ගැන ඉව වැටුණා. මාවත් මරන්නයි හිටියේ. ඒත් රංජන් විජේරත්නටත් පාර්ලිමේන්තුවේදී සිදුවුණු එක්තරා කට වැරැදීමක් හින්දා මට ජීවත් වෙන්න වාසනාව ලැබුණා. විරුද්ධ පක්ෂයෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට උත්තර දෙමින් රංජන් විජේරත්න කිව්වා ‘අපි ජේ.වී.පී. සැකකරුන්ව මරන්නේ නෑ. කොටින්ම කියනවා නම් මාව මරන්න හමුදාවට බැඳුණු මිනිහා දැන් අපිට අහුවුණා. මිනිහා පවා නිරුපද්‍රිතව දැන් අපි ළඟ ඉන්නවා’ කියලා. ඒ කිව්වේ මං ගැන.
ඒ ප්‍රකාශය ප්‍රසිද්ධ වුණු හින්දා මාව මරන්න තියෙන ඉඩකඩ අහිමි වුණා. අන්තිමේ අවුරුදු 7කුත් මාස 9ක් මම හිරගෙවල්වල දුක් විඳලා 1997 සැප්තැම්බර් 27 වැනිදා නිදහස් වුණා. ඉන් පස්සේ කෙළින්ම පක්ෂ දේශපාලනයට අවතීරණ වෙලා 1999දී උතුරුමැද පළාත් සභාවට පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස පත්වුණා. වසර 8ක් පළාත් සභා මන්ත්‍රී ධුර දරමින් කටයුතු කළා. නමුත් අවසානයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන සභිකයෙක් විදියට මෙරට දේශපාලනය කරන්න මගේ ජීවිතේ මම කැප කළා. මම අද වෙද්දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ සාමාජිකයෙක්.’










