එජාපයේ ප්‍රබලයකු වූ රංගේ බණ්ඩාර ඉලක්ක කොටගෙන ඉදිරි දින කිහිපය ඇතුළත දැවැන්ත හෙළිදරව්වක් සිදුවීමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය කාලයේදී රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් විවිධ පුවත් පළවූ අතර ඇතැම් වාර්තාවලින් කියැවුණේ ඔහු එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කොට ඇතැයි කියාය. එමෙන්ම පසුගිය සති දෙක තුළ රංගේ බණ්ඩාර ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටි බවක්ද දැකගන්නට නොලැබිණි. ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ඔහු සම්බන්ධයෙන් බරපතළ හෙළිදරව්වක් ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට නියමිතව තිබීම හේතුකොට ගෙන රංගේ ප්‍රසිද්ධියේ පෙනීසිටීමෙන් වැළකී ඇතැයි කියාය.Sri Lanka Latest News
ලොකු ගාණක් කැපුවාද?
පසුගිය අරගල සමයෙන් පසු දේශපාලනඥයන්ගේ ගෙවල් විශාල ප්‍රමාණයක් ගිනිතැබූ අතර, පසුව ඒවාට විශාල වශයෙන් වන්දි ගෙවීමද සිදුව තිබිණි. මෙම වන්දි ලබාගැනීමේදී ඇතැමුන්ට අරගලය ධන උල්පතක් වී තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ඇතැම් මැති ඇමැතිවරුන් වන්දි ලබාගැනීමේදී මහජන මුදල් විශාල වශයෙන් වංචා කොට ඇති බවක්ද ආරංචිය. එම වංචාව කොතරම් බරපතළද කියනවා නම් ඒවා කිසිදු ආකාරයේ සමාවක් දිය නොහැකි මට්ටමේ වංචා දූෂණ බව අපගේ හැඟීමය. ඒ අනුව අප මෙම ඉඟිය ලබාදුන්නේ රංගේ බණ්ඩාර සම්බන්ධයෙන්ද මෙවැනි සිදුවීමකට අදාළව ආන්දෝලනාත්මක අනාවරණයක් ඉදිරි දින කිහිපය ඇතුළත සිදුවීමට නියමිතව ඇති නිසාය.
ඊට අදාළ අතිශය රහසිගත ලිපි ගොනුවක් මේ වනවිට විපක්ෂයේ ප්‍රධානියකුගේ අතට පත්ව ඇති අතර, හෙතෙම ජනාධිපතිවරණයට දින දෙක තුනක් තබා එම හෙළිදරව්ව සිදුකිරීමට සූදානමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ‘රංගේ එජාප මහලේකම්කමින් නෙරපා දැමුවා’, ‘රංගේ එජාපයෙන් පැන්නුවා’ යනාදී වශයෙන් විවිධ පුවත් පළවූයේද මෙම ආන්දෝලනාත්මක අනාවරණය යටගසා ගැනීමේ වුවමනාවෙන් බවද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ.










