මැතිවරණයක් ආසන්න වන විට දේශපාලකයන් පක්ෂ මාරු කිරීම ලාංකේය දේශපාලනයට අමුතු දෙයක් නොවෙයි. විවිධ වරදාන, වරප්‍රසාද, තනතුරු ප්‍රසිද්ධියේ හෝ රහසින් ලබාගනිමින් එලෙස පිල් මාරුකරන අය ගැන මැතිවරණ කාලවලදී නිතර අසන්නට දකින්නට ලැබේ. සමගි ජන බලවේගය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටද එලෙස වරදාන ලබාදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට එක්කර ගත් බවට පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ කියැවුණා. මත්පැන් බලපත්‍ර මෙන්ම රුපියල් මිලියන ගණනක මුදල් අල්ලස් වශයෙන් ලබාදෙමින් එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට නම්මවා ගත් බවටයි සජබ වේදිකාවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේ. ජයසේකර මහතා එල්ල කළ එම චෝදනාව වඩාත් සවිස්තරව ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේ Iraj Show යූටියුබ් නාලිකාව වෙනුවෙන් ඉරාජ් වීරරත්න සමග සාකච්ඡාවකට එක්වෙමින්. පහත පළවන්නේ දයාසිරි ජයසේකර මහතා සිදුකළ එම හෙළිදරව්වයි. (Sri Lanka Latest News)
ඔබතුමා පසුගිය දවසක වේදිකාවේදී චෝදනා කළා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බාර් පර්මිට් ගත්තා කියලා. ඔබට නඩු වැටෙන්නත් පුළුවන් මේ චෝදනා බොරු වුණොත්. ඔබ මේ චෝදනාව එල්ල කරන්නේ සියලු විස්තර සහිතවද?
ඒගොල්ලන්ට නඩු දාන්න කියන්න. අපි බලාගමු උසාවියේදී. මොකද හේතුව උසාවියේදී ඒගොල්ලන්ගේ කුණු ටික ඔක්කොම මට ඇදලා ගන්න පුළුවන්. අපහාස නඩුවලට එනකොට ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපහාස නඩුවක් කියන්නේ ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම තියෙන කුණුකන්දල් ටික ඇදගන්න වැඩක් කියලා. එතකොට මම කියන්නම් ඒගොල්ලෝ කොහොමද ඒවා ගත්තේ, මොකක්ද වුණේ, ඒගොල්ලන්ගේ ඉතිහාසය මොකක්ද කියලා.
ඔබ ඒ රැලියෙදී කියනවා කිහිප දෙනකුගේම නම්?
ඔව්. තව 90ක් තියෙනවා කියන්න.
ඒ කියන්නේ මේ පැනපු අය ඔක්කොම ගියේ බාර් පර්මිට්වලටද?
අනිවාර්යයෙන්. ඔය ඔක්කොම ඒවත් අරගෙන තමයි ගියේ. අපි නම් රාජපක්ෂ පවුලත් එක්ක හෝ රාජපක්ෂ මහත්තරුත් එක්ක තරහා වුණේ හෝ ප්‍රශ්නයක් ඇතිකරගත්තේ ඇමැතිකම්වලින් අයින් වෙලා. අපි ප්‍රතිපත්තිමය වශයෙන් ඒගොල්ලෝ එක්ක අපට ප්‍රශ්නයක් තිබුණා. නැතුව අපි රාජපක්ෂවරු කියලා කකුල් දෙක අල්ලලා වැඳලා මම අප්පච්චිගේ පුතා කිව්වේ නෑ. අපිට ගෞරවයක් තිබුණා. ඒ වගේම අපි ආණ්ඩුව හදන්න 2019 සියලු ප්‍රශ්න මැද පෙනීහිටියා. හැබැයි අපිට ප්‍රශ්නක් ඇතිවුණාම අපි එතැනින් ඉවත් වුණා. අපි දැනගත්තා ගෝඨාභය මහත්තයා එක්ක මේක කරන්න බෑ, බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි මේ විනාශය කරන්නේ කියලා. මේකත් එක්ක තව ඉස්සරහට යන්න බෑ කියලා අපි එතැනින් ඉවත් වුණා. මේගොල්ලෝ මේ සියල්ල අරගෙන, අර මනුස්සයාව පාවිච්චි කරලා, ඒ මනුස්සයගේ නමින් ඡන්දේ අරගෙන අන්තිමට ඒ මනුස්සයව පාවා දුන්නා. අපිට නම් ඒ වගේ වැඩ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ.
දැන් බලන්න ලැයිස්තුවේ 2024.05.10 දින දක්වා නිකුත් කරන ලද බලපත්‍ර. ‘ර.බී. 04’ ඒ කියන්නේ වයින් ස්ටෝර්ස් තියෙනවා 1028ක්. අනුරාධපුරේ 43ක් තියෙනවා. පොළොන්නරුවේ 17යි. ඔක්කොම මට කියන්න පුළුවන් විස්තර ටික. කොළඹ 137ක් අලුත් වයින් ස්ටෝර්ස්. ගම්පහ 128යි. කළුතර 24යි. ගාල්ලේ 47යි. මාතර 31යි. යාපනේ 30ක් තියෙනවා. යාපනේ ඉන්නේ මිනිස්සු ලක්ෂ කීයද? ඒ මිනිස්සු බීලා මැරෙනවා මේ ටික ගත්තාම. කිලිනොච්චියේ 7යි. මුලතිව් 2යි. වවුනියාවේ 9යි. මන්නාරමේ 4යි.
කාටද ඕවා ගිහින් තියෙන්නේ?
මේවා පැහැදිලිවම එක එක පුද්ගලයන්ට දුන්නා පර්මිට් 3ක්. දුන්නාම ඒ පර්මිට් 3 අරගෙන ගියාම ඒකට පෝරමයක් තියෙනවා පුරවන්න. ඒකට අවශ්‍ය කරන ලේඛනය එන්නේ මුදල් අමාත්‍යාංශයෙන්.
මේවා දැන් දීලාද තියෙන්නේ හරියටම?
ඔව්. සමහර ඒවා තාම මැද හරියේ යනවා. මේවා දෙනකොට ප්‍රශ්නයක් ආවා මේ ප්‍රමාණය දෙන්න පුළුවන්ද කියලා. අපි මේ සම්බන්ධව කලින් ගහපු ගැසට් එක තියෙනවා. 2008 අප්‍රේල් 10 නිවේදන අංක 902. ඒ නිවේදනයේ තියෙන්නේ මත්පැන් හල් දෙන්න පුළුවන් 1134යි කියලා ලංකාවටම. දැන් දෙනවනේ හෝගාලා. දෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිය උල්ලංඝනය කරලා. එතකොට නීති උල්ලංඝනය කරලා දීපු ඒවා වහන්න ඕනනේ. දැන් දීගෙන යනවා. මේකට මොකද කළේ, මේගොල්ලෝ 2024 ජනවාරි 12 ආපහු අලුත් ගැසට් එකක් ගෙනවා 2366/39 කියලා. සුරාබදු නිවේදන අංකයක් විදියට තමයි ඒක දාන්නේ. කලින් තිබුණේ සුරාබදු නිවේදන අංකය 902. දැන් තියෙන සුරාබදු නිවේදන අංකය 2/2024 කියන අලුත් ගැසට් එක. දැන් ඒ 2024 ජනවාරි 12 කියන ගැසට් එක ගහලා තියෙන්නේ. ගැසට් එකක් ගහලා මාස තුන හතරක් ඇතුළත ඒක පාර්ලිමේන්තුවට ඇවිල්ලා සම්මත වෙන්න ඕනේ. හැබැයි තාම සම්මත වෙන්න ඕනේ. මේක පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් මේ බාර් පර්මිට් ටික බය නැතුව දෙන්න පුළුවන්. හැබැයි දැන් මේකට එරෙහිව නඩුවක් පැවරුවා ලංකාවේ ඉන්න බාර් හිමියන්. ඒකට නීතිඥයන් ලෙස පෙනීසිටියා සුමන්තිරන් මැතිතුමා ඇතුළු පිරිසක්.
දැන් මේ පනතට අත උස්සන්නේ කවුද?
මේකට විරුද්ධව අපි අත උස්සන්න ඕනේ. අපිට බලාගන්න පුළුවන් මේකට විරුද්ධ කවුද පක්ෂ කවුද කියලා. බාර් පර්මිට් එකට අත උස්සන මිනිස්සු මොන වගේ අයද කියලා හොයාගන්න පුළුවන්. අපි කියන්නේ බාර් පර්මිට් එක දෙන්න කැමැති නම් අත උස්සන්න. බාර් පර්මිට් එක දෙනවට විරුද්ධ නම් අත උස්සන්නේ නැතුව ඉන්න. අපේ ගම්වල තියෙන විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධව දිගින් දිගටම උද්ඝෝෂණ කරනවා. ඊයේ පෙරේදත් කුලියාපිටියේ එයාලා දාපු එකක් සම්බන්ධව විශාල උද්ඝෝෂණයක් තිබුණා.
සංචාරක ප්‍රදේශවල බාර් තිබීමේ ගැටලුවක් නෑ නේද?
ඒකෙ ගැටලුක් නෑනෙ. මේ රටේ ටුවරිස්ට් බෝඩ් එකේ අනුමැතිය සහිතව කරන හොඳ හෝටලයකට බාර් පර්මිට් එකක් දීම සම්බන්ධයෙන් ගැටලුවක් නෑ. මේකෙ වෙන්නේ ඒක නෙවෙයි. මේ සිල්ලර වෙළෙඳ බලපත්‍රය. හොටෙල්ස්වලට දෙන ඒවා නෙවෙයි. මීට අමතරව බියර් පර්මිට් අතිවිශාල සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒකේ තියෙනවා බියර් පර්මිට් 447ක්.
මේ මත්පැන් බලපත්‍ර ගත්තු පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා ටික කවුද?
වේලුකුමාර් කියලා මන්ත්‍රීවරයෙක් හිටියා. එතුමාට දීපු එක විකුණලා තියෙනවා එන්.කේ.එස්. පල්ලේගම ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට. තව එකක් තියෙනවා දිගන වයින් ස්ටෝර්ස් එකේ. ඒකට දැන් නඩුවක් වැටිලා තියෙනවා. ප්‍රසන්න රණතුංග මැතිතුමාට දුන්න එක එතුමා ගත්තේ නෑ වෙන කෙනකුට දුන්නා. හුවමාරුවක් සිද්ධ වෙන්න ඇති. දිලුම් අමුණුගම මැතිතුමාට දීපු එක දීලා තියෙන්නේ උහුමීය මාපා මුදියන්සේලාගේ ජයවතී කුමාරිහාමි රත්මලේට. තව එකක් දීලා තියෙනවා අංගජන් රාමනාදන් මැතිතුමාගේ ඥාතියෙක් වන කිලිනොච්චියේ විතූෂන් කියලා කෙනකුට. ලොහාන් මැතිතුමාගේ එක දීලා තිබුණේ එතුමාගේ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ට. තව සමහර ඒවා දීලා තියෙනවා සුරාබදු නිලධාරීන්ට.
එස්.එම්. චන්ද්‍රසේන?
එතුමා ගැනත් කියන්න තියෙනවා. තව මට ලැබෙමින් තියෙනවා නම්. මේ වගේ 90ක් තියෙනවා අපිට කතාකරන්න. අපි බලමු මේවා වුණේ කොහොමද කියන එක. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනදාට වඩා බරපතළව මේ ගැන හොයනවා. මම මේ අයගේ නම් ටිකත් එක්කම දෙනවා. මේ අයට මේවා දීමේදී ඒගොල්ලෝ කොහොමද මේක ගෙව්වේ, කොච්චර ගෙව්වද, සල්ලි කොහොමද දුන්නේ, මොකක්ද වුණේ කියන එක සොයා බලන්න කියලා. අද එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ට රිසිසේ හොරකම් කරන්න දීලා තියෙනවා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සමහර නිලධාරීන් මට කිව්වා ‘මන්ත්‍රීතුමා අපි ගාවට සමහර ඇමැතිවරුන් සම්බන්ධයෙන් ලැබිලා තියෙන දූෂණ ලිපි අතිවිශාලයි’ කියලා. අපි කිසි දවසක හොරකම් කරලා, මංකොල්ල කාලා රටට විනාශයක් කරලා නෑ. ගුටි කන්න වෙලා තියෙන්නේ අපිට දැන්. 225ම ගුටි කනවනේ. ඇයි අපි මොනවා කළාටද ගුටි කන්නේ? අපි රුපියලක ආදායමක් හොයාගෙන නෑ ඇමැතිකම් දරලා.
අරෙහෙන් වී.එෆ්.එස්. එකෙන් හොරකම් කරනවා. ඔබතුමාලා විපක්ෂය විදියට මේ දේවල් නවත්තන්න ඕනේ නේද?
අපි වී.එෆ්.එස්. එකට විරුද්ධව නඩු දාලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක නැවැත්තුවා. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධ නඩුවත් දැන් අහගෙන යනවා.
මේ බාර් පර්මිට් කැන්සල් කරන්න බැරිද?
පුළුවන්. අපි බොහොම පැහැදිලිව කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග අපි එකතු වෙන්න එක හේතුවක් තමයි රටේ දූෂණය සහමුලින්ම නතර කරන්න පුළුවන් තැනකට මේක තල්ලු කරන්න. ඒක කරන්න පුළුවන් වුවමනාව තියෙනවා නම්, නිකන් කයිවාරු ගහලා ආපු ගමන් අරයා අල්ලනවා, මෙයා අල්ලනවා කියලා නෙවෙයි. ඒකට අවශ්‍ය නීති රට ඇතුළේ ඕනේ තරම් තියෙනවා. නීතිය ක්‍රියාත්මක නොවන එකයි හේතුව. ඒ වගේම අලුත් නීති හඳුන්වාදිය යුතුයි.
මම හොංකොංවලට ගියා එක අවස්ථාවක. එහෙදී කෑම කලා ඉවර වෙලා හොංකොං ඩොලර් 3ක් මේසේ උඩින් තිබ්බා. මා එක්ක හිටපු අය මට කිව්වා ඕක වහාම ගන්න කියලා. මම ඇහුවා ඇයි කියලා. ඒ රටේ සේවකයෙකුට ටිප් එකක්වත් දෙන්න බෑ කිව්වා. ඉතින් ඒ වගේ රටවල් හදන්න පුළුවන්. නමුත් අපේ රටේ මේ හොරකම පුරුදු කරලා තියෙනවා පොඩි මිනිහගේ ඉඳලා. ලොකු මිනිහා ලොකුවට හොරකම් කරනවා. මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න ඉතා සීමිත පිරිසක් තමයි හොරකම් නොකරනවා කියලා අපට කියන්න පුළුවන්.
ඉදිරි ජනාධිපතිවරණයෙන් කවුද දිනන්නේ?
මම හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයග්‍රහණය ලැබේවි කියලා. අපේ අදහස තියෙන්නේ නිකන් කතාකරන්න නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණෙන් කියනවානේ උඹලා ඔක්කොම පහුගිය අවුරුදු ගානෙම කෙරුව, උඹලා කරලා තියෙන්නේ, දැන් අපි තමයි කරලා නැති කට්ටිය, අපිට කරන්න ඉඩ දෙන්න කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇමැතිකම් දරලා තියෙනවා. ඒ ඇමැතිකම්වල ඔහු වැඩ කරලා තියෙනවා. මේ රටේ තීරණ ගන්න ස්ථානය තියෙන්නේ ජනාධිපතිවරයා සහ කිහිප දෙනෙක් අතේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා නැහැ තවම. ඔහු අගමැති ධුරයවත් දරලා නෑ, මම අගමැති වෙලත් නෑ, ජනාධිපති වෙලත් නෑ.
ඔබලා ආවට පස්සෙත් බාර් පර්මිට් බෙදයිද?
අපි ඒක පැහැදිලිව කියලා තියෙනවා. මේවා අපි සම්පූර්ණයෙන් තහනම් කරනවා.
බාර් පර්මිට් 3යි ලක්ෂ 1500යි දෙනවා කියලා ඔබටත් එන්න කිව්වේ නැද්ද?
අපිව බාර් පර්මිට්වලටවත්, මුදලටවත් ගන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා අපිත් එක්ක ඕවා කතාකරන්න එන්නේ නෑ.
ඔබට මේ තොරතුරු දීපු කෙනාව අපට සම්බන්ධ කරන්න පුළුවන්ද?
මම ඒක ඉදිරියේදී කියන්නම්. සුරාබදු එකේ කට්ටිය ඔක්කොම දන්නවා. මේ පර්මිට් එක දෙන්න කියලා ලියුම එන්න ඕනේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන්. එතකොට ඒකට සුරාබදු කොමසාරිස් ජනරාල් අවශ්‍ය දේවල් දෙනවා. ඒකේ තියෙනවා කාටද මේ පර්මිට් එක දෙන්නේ කියලා. ඒ පර්මිට් 3 අරගෙන තමයි ඒ වැඩේ කරන්නේ.
අනිත් අයට මොනවද දීලා තියෙන්නේ?
ඉන්ධන පිරවුම්හල් 25ක් දෙන්න හදද්දී යන්තම් ඒක උසාවියෙන් නැවැත්තුවා. මේ විදියට පුළුවන් තරම් රටේ අමාත්‍යාංශ ඇතුළේ ගන්න පුළුවන් සියල්ල ඒගොල්ලෝ ගන්නවා. විදේශ රැකියා විකුණන ඒවා සියල්ලම. අප දකිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සද්ද නැතුව බලාගෙන ඉන්නවා හොරකම් කරන්න දීලා. තව අවුරුදු 5ක් රනිල් වික්‍රමසිංහ මහත්තයට දෙනවා කියන්නේ රට කාබාසිනියා කරලා ඉවරම කරන්නයි මේ හදන්නේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වටේත් හිටියනේ කප්පම් හොරු මාල හොරු. ඒ හොරු සෙට් එකම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වටේ නේද?
දැන් ඒ ඔක්කොම අප්පොච්චි වෙනුවට බාප්පොච්චි ගාවට ගිහිල්ලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් කියලනේ කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයට බෑ. අපිට පුළුවන්. ශ්‍රී ලංකාවට පුළුවන්. කප්පම් අරගෙන, හොරකම් කරලා, මංකොල්ල කාලා නම් මේ රට හදන්න පුළුවන් කියලා හිතන්නේ රටට දෙයියන්ගෙම පිහිටයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අයින් වෙනකොට ඕගොල්ලන්ට රට බාරගන්න කිව්වලු. ඒත් ඕගොල්ලෝ බාරගත්තේ නෑලුනේ?
ඒක බොරු කතාවක්. ඒක රනිල් වික්‍රමසිංහ කියන බොරු කතාවක්. මම එතැන හිටියා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට උත්සාහ කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒකට අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කතා කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒ කමිටුවේ හිටියා. වමේ දේශපාලන පක්ෂ. විමල්, උදය ඇතුළු සියලු දෙනා, ඩලස් ඇමැතිතුමාලා. මේ සියලු දෙනාම එකතු කරලා අපි සාකච්ඡා කළා. සාකච්ඡා කරලා අපි අගමැතිවරයෙක් යෝජනා කරන්න වැඩපිළිවෙළක් සකස් කළා. එදා දවල් 12 විතර වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා ලියුමක් යවලා තිබුණා. ඒ ලියුමේ තියෙනවා පළමු කාරණය විදියට සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. දෙවැනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සති දෙකක් ඇතුළත ගේන්න ඕනේ. ඊළඟට ජනාධිපති ක්‍රමය අහෝසි කරන 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම නීතිය හා සාමය ස්ථාපිත කරන්න ඕනේ. මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා නම් තමයි ඒක කරන්න අපි සූදානම් කියලා කිව්වේ.
අරයා ටක් ගාලා ගත්තා ගිහිල්ලා?
ඔව්, ඊට කලින් ගිහින් ලියුමකුත් නැතුව ගත්තා.
බලයට තියෙන කෑදරකම?
ඔව් කෑදරකම. දෙවැනි කාරණය තමයි රාජපක්ෂවරු හිතුවා අපිව බේරන්න පුළුවන් හොඳම මිනිහා තමයි රනිල් වික්‍රමසිංහ කියලා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසත් එක්ක ඔය වැඩේ කළා නම් සජිත් ප්‍රේමදාසට සිද්ධ වෙනවා හොරු එක්ක ලගින්න. නැත්නම් හොරුන්ගෙන් වෙන් වෙන්න. රන්ජන් කියනවා වගේ ඔක්කොම යාළුවෝ මල්ලි වගේ තමයි. අරගොල්ලෝ මේගොල්ලන්ව රකිනවා, මේගොල්ලෝ ඒගොල්ලන්ව රකිනවා. ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලේ තීරණය කරන්න ඇති හොඳම මිනිහා රනිල් වික්‍රමසිංහ කියලා. ඒකනේ දැන් ඔක්කොම රනිල් වික්‍රමසිංහට මාර ආදරේ. රනිල් වික්‍රමසිංහ හිරේ ඉන්න ඕනේ කියලා කියපු මහින්දානන්ද සහෝදරයා දැන් එතුමාට කොයි තරම් ආදරෙන්ද ඉන්නේ? රනිල් වික්‍රමසිංහ පත්කරන්න තරම් මොළේ අමාරුවක් නෑ කියපු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, රනිලෝ රනිලෝ හෙණ ගහන්න ඕනේ කියපු පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය වගේ තව ඕනෙ තරම් කියන්නම්. මේගොල්ලෝ ඔක්කොම අද ඇයි එතැනට හේත්තු වුණේ?
එතුමා ගාවට ගිය ගොඩක් අය අනුරාධපුර රැලියෙන් පස්සේ නැවත එනවා කියලා කතාවක් තියෙනවා නේද?
අනුරාධපුර රැලියේ ඇත්ත කතාව මට එහේ ඉන්න අය කිව්වා. ඇත්තටම අනුරාධපුර මිනිස්සු ඒකට ඇවිල්ලා නැහැ. ඒකට ආවේ කිලිනොච්චියෙන්, වවුනියාවෙන්, ත්‍රිකුණාමලෙන්, කුරුණෑගලින්. ලංකාවේ හැම තැනින්ම මිනිස්සු ගෙනල්ලා කරපු රැස්වීමක් ඒක. ඒ අය ගෙනල්ලත් 10,000ක්වත් හිටියේ නෑ. ඕක සාමාන්‍යයෙන් 25,000ක් විතර ඉන්න පුළුවන් පිට්ටනියක්. එතැනින් පස්සේ කැම්පේන් එක වැටුණා. දැන් රැස්වීම් තියාගන්න බෑ. මම අභියෝගයක් කරනවා පුළුවන් නම් කුරුණෑගලට 5000ක් 10000ක් ගෙනල්ලා රැස්වීමක් කරන්න කියලා. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කුරුණෑගල කරපු රැස්වීමට 40,000කට වැඩි සෙනඟක් ආවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කැම්පේන් එක බිඳවැටිලද තියෙන්නේ දැන්?
පුද්ගලයන්ගෙන් ඡන්ද හොයන්න බෑනේ. පුද්ගලයෝ එහාට මෙහාට ගියා කියලා මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ. මම ඡන්ද 1,14,000ක් ගත්තා 2020 මැතිවරණයෙන්. අපිට අද ඒ ඡන්ද සංඛ්‍යාව තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කළේ අරයට 150,000ක් ඡන්ද තියෙනවා, මෙයාට 60,000ක් තියෙනවා, මෙයාට 75,000ක් තියෙනවා කියලා එයා එකතු කරනවා. ඊට පස්සේ එයා කල්පනා කළා අපි දීලා තියෙනවා ඉඩම් ලක්ෂ 20ක්, අස්වැසුම ලක්ෂ 15ක් කියලා. ඒවා එකතු වුණාම දිනන්න පුළුවන් කියලා එතුමා හිතුවා.
ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් දීලා තියෙනවද?
ඔව්. ඕවා මත ජයග්‍රහණය තීන්දු කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මේ රටේ පල්ලෙහා මිනිස්සුන්ගෙන් ඡන්ද ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. බැරි හින්දා තමයි 2010 හුංගෙක්ව දාලා යන්තම් බේරුණේ. 2015ත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දැම්මා. 2020 සජිත් ප්‍රේමදාස මහත්තයව දාලා කකුලෙන් ඇදලා ඒ මනුස්සයව පැරැද්දුවා. දැන් හරි, පොහොට්ටුවේ ඉන්න හොඳම බඩු ටික මා ගාවට ඇවිල්ලා තියෙන්නේ කියලා එතුමා හිතුවා. ඒ නිසා දෙමළ මන්ත්‍රීවරුත් එහෙන් මෙහෙන් බාගෙන අරගොල්ලන්ටත් බාර් පර්මිට් ටිකක් දීලා, සජබෙන් තව 10ක් 12ක් ගළවගන්න.
සජබෙන් 15 දෙනෙක් ගළවගන්නවා කියලා කියනවා නේද?
තව ගළවන්න කියන්න. ගළවන්න ගළවන්න මිනිස්සු දන්නවා මේ යන්නේ කෝටි 15කට 20කට විකිණිච්ච මන්ත්‍රීවරු කියලා. ඔය වගේම 2015 මහින්ද රාජපක්ෂ මහත්තයත් ගත්තනේ. තිස්ස අත්තනායක මහත්තයවත් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ලේකම් එතුමා. ලේකම්ව ගත්තා නම් සෙනඟ විශාල ප්‍රමාණයක් එන්න ඕනනේ. නමුත් එහෙම එන්නේ නෑ. රැල්ල අනිත් පැත්තට කැරැකිලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහොම නෙවෙයි කහ වතුරෙන් නාලා ආවත් ගමේ මිනිස්සු ඡන්දයක් දෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව.
ඔබට අනුව මේ ජනාධිපතිවරණයෙන් 1, 2, 3, 4 ස්ථාන හිමිකරගන්නේ කවුද?
මම හිතන්නේ අංක 1 සජිත් ප්‍රේමදාස. අංක 2 අනුර දිසානායක වෙන්න ඕනේ. අංක 3 නාමල් රාජපක්ෂ වෙයි කියලා මම හිතනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 4ට විතර වැටිලා තමයි නතර වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙච්චර වියදම් කරලා, ෆේස්බුක් එකෙනුත් ලොකු කැම්පේන් එකක් කරලා, එතුමා නාමල්ටත් වඩා පස්සට යනවා කියලද ඔබ කියන්නේ?
මට තේරෙන්නේ ඒ විදියට. මේ රටේ පොහොට්ටුවට ආදරේ කරන කණ්ඩායමක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඔවුන් ධම්මික පෙරේරා වගේ කෙනෙක්ට වඩා නාමල් රාජපක්ෂ වගේ කෙනෙක් ගෙනාපු නිසා ඔහුට ඡන්දයක් දෙන්න ඉඩ තියෙනවා.










