ලබන ජුනි 20 වැනි දිනට මහමැතිවරණය පැවැත්වීමට නියම කර තිබුණද ලබන සැප්තැම්බර් මාසය දක්වාම මැතිවරණය කල් දැමීමට සිදු වනු ඇති බව දැනගන්නට තිබේ.
මේ වනවිට රට තුළ මතුව ඇති වාතාවරණය මුල් කරගෙන මෙම කල්දැමීම සිදු කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
මීට පෙර මැතිවරණ කොමිසම මගින් මැතිවරණය ජුනි 20 වන දිනට පැවැත්වීමට දින නියම කර තිබුණු අතර ඒ සදහා මැයි 15 දින රැස්වී පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබිණ.
අවම වශයෙන් ජුනි 20 ජන්දය පවත්වන්නේ නම් මැයි 15 වනවිට කොරෝනා වයිරසය රටින් තුරන් වී තිබිය යුතු බව කොමිසමේ ස්ථාවරය වී ඇත.
සාමාන්‍යයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා අපේක්ෂකයන්ට සති 5ක කාලසීමාවක් ලබා දිය යුතු අතර සැමට සාධාරණ මැතිවරණ පිටියක් තනාදීමද මැතිවරණ කොමිසමේ අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම අවම වශයෙන් ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 60%ක්වත් ජන්දය භාවිත කළ යුතු බවත්, එසේ නොවුණහොත් එය මැතිවරණයේ විශ්වසනීයත්වය පිළිබද ගැටලු මතු කරනු ඇති බවත් කොමිසමේ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව සාධාරණ හා බියෙන් සැකෙන් තොරව ජන්දය භාවිත කිරීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන තුරු මැතිවරණය කල් දැමීමට සිදුවනු ඇති බව කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.











