නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
අද(10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මෙම කරුණුද පෙන්වා දුන්නේය.
නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට නීතිපතිවරයාට සුවිශේෂී වගකීම් සමුදායක් හිමිවන බවත්, 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවත්, නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා විසින් දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය තව දින 34කින් ආරම්භ වන බවත්, මැතිවරණ කාලසීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා විය හැකි බවත් කී මහාචාර්යවරයා ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් නීතිපති ධූරය පිළිබඳ මහජන විශ්වාසය විනාශ විය හැකි බවත් සදහන් කළේය.
නීතිපතිවරයාගේ සේවා දිගුව ලබාදීම සඳහා රජය පාර්ශවයෙන් ගෙන එන තර්ක නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉදිරියට ගෙනයාම සඳහා, X press Pearl නෞකාව සිද්ධිය සම්බන්ධව හා IMF පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා මෙම නීතිපතිවරයාගේ අවශ්‍යතාවය ඇතැයි රජයේ තර්ක වන නමුත් එම තර්ක පදනම් විරහිත බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
වර්තමාන නීතිපතිවරයාගේ සේවා දිගුවක් ලබාදීම හේතුවෙන් ඊළඟට පත් වීමට අපේක්ෂා කරන නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය කඩා වැටීය හැකි බවද පීරිස් මහතා කීය.










