කලාකරුවකුට වැඩිය කලහකාරී චරිතයක් වූ ඉරාජ් වීරරත්න ගැනයි මේ ලියන්න යන්නේ. ඉරාජ් වීරරත්න ගැන අපි කොයි කවුරුත් දන්නවා. පහුගිය දවස්වල, ඒ කියන්නේ ගෝල්ෆේස් අරගලය දවස්වල ඉරාජ් කා අතරත් කතාබහට ලක්වුණා. කලහකාරී කලාකරුවකු ලෙස මෑත කාලයේදී කවුරුත් ඔහුව හැඳින්වූවා. සංගීත කලාවට පයතියපු මුල් දවස්වල ඔහුගේ දක්ෂකම් ගැන කියන්න අපට වචන තිබුණේ නැහැ. මතකය නිවැරැදි නම් ඉරාජ් ආවේ සහස්‍රයත් සමගයි. භාතිය සන්තුෂ් යුගලය වාගේ රැල්ලක් ඔහුත් හරි ඉක්මනට හැදුවා. තරුණ පරපුර අතර 2005 ‘නින්ද නේන හැන්දෑවේ’ සින්දුවම එයට කදිම නිදසුනක්. ඉරාජ්ගේ සංගීත ජීවිතයේ තවත් විශේෂිතම සිදුවීමක් වුණේ 2009 කොලිවුඩ් සුපිරි තරුව විජය රඟපෑ බොක්ස් ඔෆිස් සිනමා පටයක් වූ ‘වෙට්ටයිකාරන්’ වෙනුවෙන් තම හැකියාව ප්‍රදර්ශනය කිරීමට ලද ආරාධනයයි. එහිදී ඔහුට චෙන්නායි සංගීත ප්‍රස්ථාරවල අංක එක වීමේ භාග්‍යය උදාවිය. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ ප්‍රීතිරාජ් වීරරත්න ඉරාජ්ගේ පියා වුවද ඉරාජ් තම සුපිරි ජනප්‍රියත්වය උදාකර ගත්තේ ඔහුගේ නම භාවිතයට නොගෙනය. තමා විසින්ම ගොඩනගා ගත් එකී සුපිරි ප්‍රතිරූපය තුළ ඔහු වසර ගණනක් එයට හානියක් නොකර ගනිමින් දිගු ගමනක් ආවා. (Sri Lanka Latest News)
මහින්ද රාජපක්ෂ රෙජීමය ඇතුළුව නිල් බළකාය සුපිරි කලාකරුවන්ව මුදලට බිලී බාගන්නට ගත් ක්‍රමවේදයට මුලින්ම ගොදුරු වූ ලිස්ට් එකේ සුපිරි කලා කවයට ඉරාජ්ද හසුව සිටියේ කාටත් එකල එය පුදුමයක් බවට පත්කරමිනි. ඉරාජ් වැනි තරුණ රැල්ලේ හිපොප් ආර්ටිස්ට් කෙනෙක් සල්ලි මල්ලක් නිසා රාජපක්ෂලාට හසුවේ යැයි කිසිවකු සිතා තිබුණේ නැත. අන්න ඒ කොන්ද නැමීම තුළදී අර ඉහත කී සුපිරි තරුණ නිර්මාණශීලී ගී තරුව සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ සිතාගන්නවත් බැරි විදියටය. සෝෂල් මීඩියා ඔස්සේ බොහෝ කලාකරුවන්ට අපහාස කරන්නට මඩ ගහන්නට ගත් ඔහු තමන්ගේ තාත්තාටත් වඩා වයස ප්‍රවීණයන්ටද මියුසික් වීඩියෝ නිර්මාණයන් හරහා තදින් අපහාස කළේය. අරගලයට වෛර බැඳි අරගලය කඩුපට්ටම් කර දමන්නට පිඹුරුපත් සකසන ප්‍රබලයන් හට ඔහු ප්‍රසිද්ධියේම උදව් දුන්නේය. ආයුධ අතේ ඇතිව මැර කතා කියවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සනත් නිශාන්තට සිය බලපුළුවන්කාරකම් ලෝකය හමුවේ ප්‍රසිද්ධ කරන්නට යූටියුබ් නිර්මාණ කෙරුවේ ඉරාජ්ය. මුහුණු පොත හරහාද තම දේශපාලන මතය මේ යැයි කියමින් ඔහු පෙන්වන නාඩගම් බහුබූත තවමත් එහෙමමය. රාජපක්ෂලාට ගැතිකම් කරපු බොහෝ ප්‍රවීණයන් පසුව තමා කළ වරද වැටහී නිහඬව පැත්තකට වී සිටියද ඉරාජ් තවමත් තම බයිෆෝස් ගති පැවැතුම් අතහැර නැතුවා වාගේය. රාජපක්ෂලා සමග පෑහීමත් සමගම ඔහුගේ ඇඟෙන් ආ සදාචාරාත්මක නොවූ නොමනාකම්වල තවමත් ඉවරයක් නැතුවා සේය.
එහෙම කියන්නට සිදුව ඇත්තේ පසුගිය දිනෙක ප්‍රයිවට් ටීවී චැනල් එකකට ඇවිදින් ඔහු කළ බොරු රැඟිල්ල නිසාය. චැට් ප්‍රෝග්‍රෑම් එකකට ආරාධනා ලැබ හිටපු ඉරාජ් තමාගේ හතුරෙකුය, එහෙමත් නැතිනම් තමාට නිතරම මුහුණු පොත හරහා අපහාස කරනවාය කියන කලාකරුවකු වූ සුදන්ත තිලකසිරිද එයට සහභාගි වීමට නියමිත බව දැන තදින් පරලව සිටියේය. එයට පසුව තමා චැට් ප්‍රෝග්‍රෑමයට එන බව සුදන්ත දැනගෙන බයේ පලාගිය බව කියමින්ද මුහුණු පොත හරහා වහසි බස් දොඩවන වීඩියෝවක් මුදාහැරියේය. විනාඩි ගණනක් විටින් විට සංසරණය වූ ඒ වීඩියෝවේ ඉරාජ් පසුපසින් සිට ඔහුව පැත්තකට කරන නියායෙන් තවත් රැඟිල්ලක් කරන්නේ තවත් ප්‍රවීණයකු වූ පේෂලය. ඉන් පසු ඒ සියල්ල අවසානයේ සුදන්ත ඉරාජ්ට සහ පේෂලටත් චැට් ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවන අයටත් එකසිය ගානට දෙහි කපමින් විටින් විට සිය මුහුණු පොත හරහා වීඩියෝ පට මුදාහරිමින් සිටියි. චැට් එකට සුදන්තට එන්නැයි ආරාධනා කළ එම ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවන අය සුදන්තගෙන් සමාව අයැදින මනස්තාප කතාව වීඩියෝ ගතකොට සුදන්තට එවා ඇත. සුදන්ත දැන් දිගට හරහට එය මුහුණු පොත හරහා මුදාහරිමින් සිටින්නේය. සුදන්ත තිලකසිරි කියන්නේද බොහෝ විට අමුතු තාලෙට රඟන කැරැක්ටර් එකකි. ඔහු අද එක් පක්ෂයක හිටගෙන තව පක්ෂයකට අපහාස කරයි. ආයෙම තව දවසක අපහාස කළ පක්ෂය පැත්තේ හිටගෙන අර හොඳ කී පක්ෂයේ පතුරු ගලවයි. පසුව තවත් තැනක හිටගෙන විලම්බීත පුරසාරම් දොඩයි. ඉහත කී පලහිලව්වේදී සුදන්ත එම පලහිලව්වට මැදිව සිටින හැමෝටම දෙස්දෙවොල් තබමින් ප්‍රසිද්ධියේම අපහාස කරමින් තමා විසින්ම තමාට සුදු හුණු ගාගනිමින් සුදනාගේ චරිතය රඟයි.
ඇත්තටම කියනවා නම් මේ මොන විලම්බීතයක්ද?
තමන් කලාකරුවන්ය කියාගන්නා පිරිස මෙලෙස විකාර නාඩගම් කරන්නේ ඇයි? චැට් ප්‍රෝග්‍රෑම් එක විකාශනය වන මොහොතේද ඉරාජ් කමකට නැති ලෙස හැසිරුණේය. කටමැත දෙඩුවේය. නොසරුප් අසැබි වදන්ද කීවේය. ඒ සමහර තැනවලදී මෙහෙම කරන්නට එපා යැයි අයැදිමින් එය මෙහෙයවූ අය ඔහුට කන්නලව් කළේය. ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්නට කලින් රූපවාහිනී මැදිරියට වී නැහැදුණුකමට හැසිරෙන ඉරාජ්ව ඔහු මෙල්ල කරමින් සිටියේද මඟුල් ගෙදරක ගිහින් රතු කට්ට පනින පදමට සුරා පානය කළ බේබද්දෙකුව හසුරුවන ආකාරයටය.
කලාකරුවන් මෙහෙම හැසිරෙන්නේ ඇයි? කලාව යනු මෙයද? කොහොමත් කලාකරුවන් කෙලෙස වුවද ටීවී කලාවත් දැන් නාඩගමක් වී ඉවරය. චැට් ප්‍රෝග්‍රෑම්වලට නිළියන් එන්නේ බාගෙට ඇඳගෙනය. යූටියුබ්ද මුහුණු පොතද එලෙසම විකාරයකි. බාලවයස්කාර දරුවකුට බලන්නට නුසුදුසු චිත්‍රපටවලට වැඩිහිටියන්ට පමණයි වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියා ලේබල් කර හෝල්වල ප්‍රදර්ශනය කළාට එවැනිම අසැබි දර්ශන සහිත සමහර වීඩියෝ පට දැන් දැන් මුහුණු පොතේ සේම යූටියුබ් නාලිකාවලද කිසිදු තහනමක් නැතිව මුදාහැරේ.
අසැබි දේ නැතිව වුවද සෝෂල් මීඩියාවල මුදාහැරෙන වැඩිහරියක්ම දේ තුළ ඇත්තේ බහුබූතය. මඟුල් ගෙවල්වල නටන ඒවා මළගෙවල්වල අඬන ඒවා වගේම රට යන ඒවත්, රට ගිහින් එන ඒවත් මුහුණු පොත පුරා දැමීම දැන් දැන් විලාසිතාවක් වී ඇත.
ඒ අතරට ඉරාජ්ලා සහ සුදන්තලාද පිස්සු නටති. සුදන්ත එක්ක ඉරාජ්ට මොකක් හෝ ප්‍රශ්නයක් තිබුණා නම් එය විසඳා ගැනීම වෙනම එකකි. ලෝකයට පේන විදියට එය සෝෂල් මීඩියාවලට ප්‍රසිද්ධ වෙන විදියට මුදාහැරීම තවත් විහිළුවකි.
‘මේකා කුඩු ගහලද මංදා’
ඉරාජ්ගේ පිස්සු නැටිල්ල බයිට් එකක් විදියට රසවිඳපු සමහරු කීයේ එහෙමය. තව සමහර දෙනා කීවෙ අදාළ ප්‍රෝග්‍රෑම් එක ප්‍රසිද්ධ කරන්න ඕනෑකමට එම රූපවාහිනී සේවය විසින් මෙවැන්නක් නිර්මාණය කළ බවය. එවැනි පීචං කතා අහන්න තරමට කලාකරුවන් සහ මාධ්‍ය කලාව පහතට වැටුණේ ඇයි? කලාකරුවන් අතර ගැටුම් තිබීම සාමාන්‍ය දෙයකි. අපහාස කරගැනීම සහ එකිනෙකාට බැණගැනීමද අලුත් දෙයක් නොවේ. එහෙත් ඒවා මේ තාලෙට සෝෂල් මීඩියා පුරා මුදාහැරීම විහිළුවකි. කලාකරුවන් මෙලෙස කුලල් කාගන්නා විට වෙනදාක නම් සිද්ධ වූයේ එය පැපරාසීන් විසින් ප්‍රසිද්ධ කිරීමකි. නමුත් මෙදා සිදුවන්නේ තම තමන් කරගන්නා ගෝරිය තම තමන් විසින්ම සමාජ මාධ්‍ය හරහා විකුණාගෙන කෑමකි.
බලාගෙන යනකොට හැම දේම විහිළුවකි. නළු නිළියන්ට වෙනත් කලාකරුවන්ට වාගේම සාමාන්‍ය මිනිසුන්ටද පුද්ගලිකත්වයක් නැත. වෙඩින් එකේදී ඉවක් බවක් නැතිව නටන තැන ඉඳලම ජීවිතයේ හැම පුද්ගලික වූ සුවිශේෂ අවස්ථාවක්ම වීඩියෝ කර මුහුණු පොතට දමති. දරුවකු පිළිසිඳ ගත් අවස්ථාව සේම එය සැමියාට සර්ප්‍රයිස් කළ අවස්ථාවද මුහුණු පොතට වීඩියෝ කර මුදාහරිති. මේ කිසිවකට සංයමයක් නැත. සදාචාරයක් නැත. මේ යන විකාරරූපී කලාවෙහි අවසානය කුමක්ද? මේවාට වාරණයක් හෝ යම් සදාචාරාත්මක වූ නීති පද්ධතියක් නියම වන්නේ කවදාකද? කාලයක ඉඳන් මේ ප්‍රශ්නය අපි අසන්නෙමු. නමුත් එයට උත්තරයක් නැත. කලාකරුවන් නටන නෙයියාඩගම්වලද අවසානයක් නැත. හැබැයි එකක් කියන්නට පුළුවනිය. ඒ, මේ නාඩගම්වල අවසානය අලුත් පරම්පරාවෙහි විනාශය බවය.
ඒ විනාශය සිනමාව, රූපවාහිනී කලාව, සංගීත කලාව සේම ඔබේ අපේ අසරණ දූදරුවන්ද ගොදුරු වන වග නිසැකය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු









