ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යාවත්කාලීන කිරීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අමාත්‍යාංශ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වී ඇත.
මෙහිදී දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම, මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, කෘෂි හා ධීවර කටයුතු අඛණ්ඩව පවත්වාගන යාම, අපනයන කෘෂිකර්මය නගා සිටුවීම සහ අනෙකුත් ව්‍යාපාරවලට අවශ්‍ය පසුබිම සකස් කරදීමට වැඩකටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම කටයුතුවලදී ජනතාව ඒකරාශී වීම අවම කරමින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ප්‍රමිතීන් පවත්වාගන යාමේ වගකීම ආයතන ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත භාරවනු ඇත.
ඉදිරි කාලය තුළ රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නීතිය ලිහිල් කිරීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.











