රුපියල් මිලියන 25.5ක වංචාවක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
බණ්‌ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ කුලියට ගත් කාර්යාලයක ලිපිනයක් දක්වමින් ඔවුන් විසින් ඉරිදා පුවත්පතක විකිණීමට ඇති වාහන ලියාපදිංචි අංක සහ වාහන වර්ග ලැයිස්තුගත කර මෙම වංචාවට සම්බන්ධ දැන්වීමක් ප්‍රචාරය කර ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව මෝටර් රථයක් සහ ජීප් රථයක් බදාදා (20) දිනයේ මිලදී ගැනීමට අදහස් කළ ගැනුම්කරුවන් දෙදෙනකු මෙම දැන්වීමට ප්‍රතිචාර දක්වා ඇත.
ගැනුම්කරුවන් බණ්‌ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි පසු,දැන්වීම පළකළ කාර්යාල කළමනාකරු සහ ආයතන ප්‍රධානියා විසින් ගැනුම්කරුවන්ට දන්වා ඇත්තේ වාහන අලෙවිය සඳහා අවශ්‍ය ලියකියවිලි ආරම්භ කිරීමට පෙර ගෙවීම් කරන ලෙසයි.
ඒ අනුව එක් ගැනුම්කරුවකු රු. මිලියන 12.5ක් සහ අනෙක් ගැනුම්කරු රු. මිලියන 13ක් ඔවුන් වෙත ලබාදී තිබේ.
පසුව මුදල් ලබාගත් පුද්ගලයා වාහනයේ යතුරු සහ ලියකියවිලි ලබාදෙන බවට සහතික වෙමින් පරිශ්‍රයේ කාමරයකට ගොස් පිටුපස දොරකින් අතුරුදන් වී ඇත.
වංචාවට හසු වූ ගැනුම්කරුවන් විසින් කරන ලද පැමිණිල්ලි මත පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ අනුව එම සැකකරුවන් තිදෙනා වන කළමනාකරු, සහකාර කළමනාකරු සහ මුදල් අයකැමි අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පන්නිපිටිය, මාලිගාවත්ත සහ කොළඹ 15 ප්‍රදේශවල පදිංචි අවුරුදු 41, 43 සහ 65 යන වයස්වල පසුවන පුද්ගලයන් බව පොලිසිය කියයි.
දැනට නිදැල්ලේ සිටින ප්‍රධාන සැකකරුට රටින් පිටවීම වළක්වමින් විදේශ ගමන් තහනමක් පනවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වංචා විමර්ශන කාර්යාංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිත බව පොලිසිය පවසයි.










