ලබන 2024 වසරේ සිට නැවත ශ්‍රී ලංකාව මහා ගිනි ජාලාවකට පත්වන්නේය. එසේ වන්නේ වත්මන් රජය විසින් ජනතාව මත වැට් බදු ඉහළ දැමීම තුළින් මහා අගාධයකට පත්කිරීම හේතුවෙනි. මෙම දිනවල මෙරට සමාජයේ ප්‍රධාන වශයෙන්ම කතාබහට ලක්වන්නේ මෙම වැට් බදු ඉහළ දැමීමේ වගතුගයි. 2024 වසර එළඹීමට තවත් ඇත්තේ සති දෙකක කාලයකි. එනම් ජනවාරි මාසයේ 01 වැනිදා සිට ජනතාව මෙම ගිනි ගොඩට වැටෙන්නේය.(Sri Lanka Latest News)
මෙලෙස වැට් බදු ප්‍රතිශතය වැඩිවන්නේ 15% සිට 18% දක්වාය. මෙම තත්ත්වය මිනිසුන්ට දරාගත නොහැකි වනු ඇත. රජය මෙවර මෙම බදු නාඩගම නටන්නට යන්නේ IMF නොහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුබසිද්ධිය උදෙසාය. IMF සංවිධානය ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළකර ඇති ඩොලර් බිලියන 2.9ක සොච්චම් ණයක් නිසා දැන් මෙරට ජනතාව දඬුකඳේ ගසා ඇත්තේ වත්මන් රජය විසිනි. මෙම වැට් බදුවලට අමතරව පසුගිය වසරකට අධික කාලය තුළද රජය ජනතාව විවිධාකාරයෙන් තළාපෙළා දැම්මේය. මෙරට රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් මිස ජනතාව නොවේ.
මෙලෙස වැට් බදු 18%ක් දක්වා වැඩිකිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත්, මේ ප්රතිගාමී බදු වැඩිකිරීම තුළින් මේ රටේ සාමාන්‍ය ජනතාවට දිළිඳු ජනතාවට සහ වැඩකරන ජනතාවටද අධික බදු බරක් පැටවෙන බවත්, පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේය. රජය මෙසේ ගත් තීන්දු තීරණ තුළ රජයේ දුරවලකම අකාර්යක්ෂමතාව සහ දුර්වල රාජ්‍ය පාලනයද පිළිබිඹු වන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
රජයේ මෙම නව වැට් බදු සංශෝධනය යටතේ මෙතෙක් වැට් බද්ද අයත් නොවූ වෙළෙඳ ක්ෂේත්‍ර රැසකටම එම නව වැට් බද්ද අදාළ කර ඇත. මෙහිදී ඉතා ප්‍රබල ලෙස ජනතාව වෙත බලපානු ලබන්නේ විවිධ ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති වැඩිකළ වැට් බදුය. එනම් මෙවර මෙම සංශෝධනය යටතේ සමාජය තුළ ඉතා දැඩි කතාබහකට ලක්ව ඇති ක්ෂේත්රයන් කිහිපයක්ම වෙයි. එහිදී මෙරට වගා කරන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන කාණ්ඩයට අයත් අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර වර්ගද වැට් බදු යටතට පත්කිරීමට තීරණය කර ඇත.
එසේම මෙරට ආහාර නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් උරදෙන මෙතෙක් මීට පෙර වැට් බද්ද අයත් නොවූ (නිදහස් කර තිබූ) කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර ඇතුළු අනෙකුත් කෘෂි උපකරණ රැසකටද මෙම නව බදු පැනවීම සිදුකරනු ඇත. රජයේ මෙම වැට් බදු සංශෝධනයට අයත් වන භාණ්ඩ ලැයිස්තුවක් මේ වන විට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙලෙස නව වැට් බදු අයත් වන වෙළෙඳ භාණ්ඩ කාණ්ඩ 95ක්ද, නව වැට් බද්දෙන් නිදහස් වන වෙළෙඳ භාණ්ඩ කාණ්ඩ 43ක්ද මෙසේ ප්‍රකාශයට පත්ව ඇත. මෙයට විවිධ සේවාවන්ද රැසක් අයත්ය.
නව වැට් බදු සඳහා අයත් වන වෙළෙඳ භාණ්ඩ ක්ෂේත්රයන් මෙසේ සාරාංශ වශයෙන් ගෙනහැර දැක්විය හැකිය.
● ශ්‍රී ලංකාව තුළ වගාකර නිෂ්පාදනය කරනු ලබන ධාන්‍ය වර්ගවලින් නිෂ්පාදිත අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර වර්ග කාණ්ඩය.
● දේශීයව නිෂ්පාදිත පොල් කිරි සහ පොල් තෙල්.
● පෙට්‍රල්, ඩීසල් සහ ද්‍රව ගෑස්.
● මෝටර් රථ වාහන, ලොරි, ට්‍රක් රථ, බස් රථ, බර වාහන.
● කෘෂිකාරමික යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර ඇතුළු අනෙකුත් කෘෂි උපකරණ සහ අමතර කොටස්.
● ජංගම දුරකතන, උපාංග සහ අමතර කොටස්.
● ආනයනය කරන හෝ මෙරට නිෂ්පාදනය කරනු ලබන එතින් මද්‍යසාරය.
● ආනයනය කරනු ලබන හෝ මෙරට නිෂ්පාදනය කරනු ලබන විදුලි උපකරණ වර්ග.
● අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ සහ අමතර කොටස්.
● ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා පරිත්‍යාග කරනු ලබන විවිධ ඖෂධ වර්ග සහ රසායනික නිෂ්පාදන, මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය (බටහිර හෝ ආයුර්වේද) සඳහා විදේශයන් විසින් ආනයනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර සහ එම යන්ත්‍ර සූත්‍ර සඳහා භාවිත කරන අමතර කොටස්.
● ඉස්සන් සහ ඉස්සන් ආශ්රිත නිෂ්පාදන වර්ග.
● දේශීය නිෂ්පාදිත කිරිපිටි වර්ග හැරෙන්නට අනෙක් කිරිපිටි නිෂ්පාදන සහ පශු සම්පත් නිෂ්පාදන.
● සූර්ය පැනල පද්ධති සහ එයට අදාළ සියලු උපාංග සහ අමතර කොටස්.
● මැණික්, මුතු සහ දියමන්ති සහ රනින් සෑදූ භාණ්ඩ.
● පුවත්පත් හැරෙන්නට අනෙකුත් මුද්‍රිත සඟරා සහ ප්‍රකාශන.
● පරිගණක සහ උපාංග මෙන්ම පරිගණක අමතර කොටස්.
● බේකරි නිෂ්පාදනය සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සහ අමතර කොටස්.
● දේශීය නිෂ්පාදිත සීනි.
● දේශීයව නිෂ්පාදිත ජල විදුලි බලය සහ සුළං විදුලි බලය සඳහා භාවිත කරන යන්ත්‍ර සූත්‍ර සහ උපාංග.
● දේශීයව නිෂ්පාදිත රෙදිපිළි වර්ග.
● දේශීයව නිෂ්පාදිත පරිගණක මෘදුකාංග.
● දේශීයව නිෂ්පාදිත පාම් තෙල්.
● ශ්‍රී ලංකාවට සපයනු ලබන ජාත්‍යන්තර සන්නිවේදන සේවා.
● චිත්‍රපට නිෂ්පාදන දේශීයව හෝ විදේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ චිත්‍රපට නිෂ්පාදන උපකරණ (කැමරා ඇතුළු).
ඉහත වැට් බදු අයකෙරෙන භාණ්ඩ ඇතුළත් ප්‍රධාන කාණ්ඩයන් එසේ ලියා තැබූ අතර, එයට තවත් අනු කාණ්ඩ සිය ගණනක් අයත් වෙයි. ඒ සියල්ලක්ම මෙහි ලියා තබන්නට ඉඩක් නැත. මෙයට අමතරව නව වැට් බදු සංශෝධනයට අයත් නොවන භාණ්ඩ සහ සේවා කාණ්ඩ රැසක්ද ප්‍රකාශයට පත්කර ඇත. ඒවා කුමක්දැයි මෙහිදී සොයා බලමු.
● තිරිඟු සහ තිරිඟු පිටි.
● ළදරු කිරිපිටි වර්ග.
● සහල්, සහල් පිටි සහ පාන් මෙන්ම එම අමුද්‍රව්‍යවලින් දේශීයව සාදන ලද ආහාර ද්‍රව්‍ය වර්ග.
● භූමිතෙල්, අමු ඛනිජ තෙල්, ගුවන් සේවා තෙල්, නාවික යාත්‍රා සඳහා තෙල් වර්ග.
● විදුලි බලය සහ විදුලි බල බෙදාහැරීම්.
● ඖෂධ සහ ඖෂධමය නිෂ්පාදන වර්ග.
● ආයුර්වේද සහ හෝමියෝපති ඖෂධ නිෂ්පාදන.
● ආබාධිත පුද්ගලයන් සඳහා වන වෛද්‍ය උපකරණ. ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ, රෝද පුටු, කෘත්‍රිම අත් සහ පාද, කිහිලිකරු, සැරයටි වර්ග සහ අදාළ උපකරණ.
● රෝහල් සහ වෙනත් වෛද්‍ය ආයතන විසින් සපයනු ලබන විවිධ වෛද්‍ය සේවාවන්.
● රසායනික පොහොර නොවන අනෙක් පොහොර වර්ග.
● කෘෂිකාර්මික බීජ සහ කෘෂිකාර්මික පැළෑටි වර්ග.
● දේශීයව නිෂ්පාදිත අත්යන්ත්‍ර ඇඟලුම් වර්ග.
● යම් පුද්ගලයකුගේ පුද්ගල සහභාගිත්වයක් යටතේ පවත්වනු ලබන විවිධ අධ්‍යාපනික සේවා.
● පොදු මහජන මගී සේවාවන් (ගුවන් සහ සමුද්‍ර සේවාවන්ට අදාළ නැත.)
● ආදාහන, භූමදාන සහ අනෙකුත් අවමංගල්‍ය සේවාවන්.
● සියලු මූල්‍යමය සේවාවන් සහ මෙහෙයුම්.
● රාජ්‍යතාන්ත්‍රික සහ තානාපති සේවාවන්.
● ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍යමය නීති පනතේ 422 වගන්තිය යටතේ අයත් වන සේවාවන්.
මෙසේ වැට් බදු සංශෝධනයට අයත් නොවන භාණ්ඩ සහ සේවාවල ප්‍රධාන කාණ්ඩයන් පමණක් මෙසේ දක්වා ඇති අතර, තවත් අනු කාණ්ඩ රැසක්ද එයට අයත් වෙයි. මෙහිදී සේවාවන් රැසක්ද එයට අයත් වෙයි.
මේ ආකාරයට 2024 ජනවාරි 01 වැනිදා සිට මෙම නව වැට් බදු සංශෝධනය නිසා සමාජය තුළ මහත් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වීමට ඉඩ ඇත. ඪ්ඔ නොහොත් එකතු කළ අගය මත බද්ද මුලින්ම මෙරටට හඳුන්වාදී ඇත්තේ 2002 අගෝස්තු මස 01 වැනිදාය. එනම් මෙයට වසර 21කට පෙරදීය. මෙහිදී භාණ්ඩ හා සේවා සඳහා එම බද්ද පනවනු ලැබුවේය. මෙම වැට් බදු වැඩිකිරීම නිසා ජනතාව කබලෙන් ළිපට වැටෙනු ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ










