
ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක භීතිය ගෙන දෙමින් යාපනයට කිලෝමීටර් 500ක් පමණ උතුරු දෙසින් හමා ගිය ‘මිචෝං‘ සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍රා වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊට පෙර පෙරේදා පස්වරුවේදී චෙන්නායි නුවරට ඇතුළු වූ සුළි කුණාටුව මුළු නගරයම වනසා දැමූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දකුණු චෙන්නායි නුවර දැවැන්ත ගංවතුර තත්ත්වයක් ඇති කරමින් පැයට කිලෝමීටර් 110ක වේගයෙන් හමා ගිය මිචෝං සුළි කුණාටුව නිසා මිලිමීටර් 400කට වැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර, පුද්ගලයන් අටදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද වාර්තා වේ.Sri Lanka Latest News
‘සුපිරි සුළි කුණාටුවක්’ ලෙස එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හැඳින් වූ මිචෝං සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් පෙරේදා සහ ඊයේ දෙදින චෙන්නායි නුවර සියලු පාසල්, කඩසාප්පු, කාර්යාල සහ කර්මාන්තශාලා වසා දමා තිබූ බවත්, සියලු දුම්රිය ගමන් වාර අත්හිටුවීමට සිදු වූ බවත් වාර්තා වේ. ධාවන පථය ජලයෙන් යටවීම හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපොළ වසා දැමීමට ද බලධාරීන්ට සිදු වී තිබූ අතර, ඊයේ පෙරවරුවේ ජලය බැස යෑමෙන් පසු ගුවන්තොටුපොළ මෙහෙයුම් යළි ආරම්භ වූ බව ද වාර්තා වේ. අධික ගංවතුරෙන් රෝහල් සහ පාසල් රැසක් ජලයෙන් යට වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි අධික ගංවතුරට හසු වී ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පට රැසක් ද සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබිණි.
මීචෝං සුළි කුණාටුව ඊයේ දහවල් ආන්ද්‍රා ප්‍රාන්තයට කඩාවැදීමට පෙර එම ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක අටකට රතු නිවේදන නිකුත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබූ බව වාර්තා වේ. ඊයේ පස්වරුවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ බොහෝ දිස්ත්‍රික්කවලට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී ඇති අතර, අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන කඳවුරු 21ක් ස්ථාපිත කිරීමට සිදු වී තිබේ.










