• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චෝදනා එල්ල වෙන ඔක්කොම ආණ්ඩුවේ! සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ! පාස්කු ප්‍රහාර විවාදයේදී අනුර කරපු සම්පූර්ණ කතාව! VIDEO I Sri Lanka Latest News‍

September 23, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
රනිල් ගෙනාපු අයවැයේ ලබන අවුරුද්දට වියදම බිලියන 7900යි! ඡන්දෙ තියන්න බිලියන 10ක් නෑලු! රනිල් ආපු දවසෙ ඉඳන් ගහපු ගැහිලි ටිකත් අනුර එළියට දායි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් බවයි ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේ දෙවෙනි දිනය වූ ඊයේ (22) යි. අනුර දිසානායක මන්ත්‍රීවරයාට පෙර සභාව ඇමතුවේ හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය, පොහොට්ටුවේ මන්ත්‍රී සරත් වීරසේකර යි.

පහත දැක්වෙන්නේ අනුර දිසානායක මන්ත්‍රීවරයා කළ සම්පූර්ණ කතාවයි.

“පොලීසිය බාර අමාත්‍යවරයාගේ උත්සාහය තිබුණේ ජාති, ආගම, මව්බිම පිළිබඳව අපේ රටේ සෑම පුරවැසියෙකුටම තිබෙන භක්තිය අපරාධකරුවන් වසාගැනීමෙ ලෝගුවක් ලෙස භාවිතා කිරීමටයි. අපේ සෑම පුරවැසියෙක් තුළම ආගම, ජාතිය, මව්බිම පිළිබඳව භක්තියක් හා ගෞරවයක් තිබෙනවා. ඒ භක්තිය, ගෞරවය අපරාධකරුවන් වසන්කර ගැනීම සඳහා හා ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගැනීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. හිටපු පොලිස් අමාත්‍යවරයාගේ මුළු ක්‍රියාදාමයම ඒකට සම්බන්ධවී තිබෙන බව පැහැදිලි වුණා.

ඊබ්‍රාහිම්, ජාතික ලැයිස්තුව සහ අලි සබ්රි

මේ විවාදයේදී ඊබ්‍රාහිම් අපේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් බවට කරුණු ඉදිරිපත් කොට තිබුණා. ඔව්. 2015 ඔහු අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා. ඒ වන විට ඔහු ලංකාවේ ඉතාමත් කීර්තිමත් ව්‍යවසායකයෙක් හැටියට කටයුතු කරමින් තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුට ඇගයීම් සම්මාන දී තිබුණා. කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ජී.එල්. පීරිස් ඔහුට ඇගයීම් සම්මාන දී තිබුණා. රත්නසිරි වික්‍රමනායක ඔහුට ඇගයිම් සම්මාන දි තිබුණා. 2015දී ඔහු ත්‍රස්ත ක්‍රියාවකට හෝ ඔහුගේ දරුවන් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වූ බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වත් දැන සිටියේ නැහැ.

2014දි කොළඹ දිසා අධිකරණයේ ඔහුට නඩුවක් තිබෙනවා. එම නඩුව යූසුබ් මොහොමඩ් ඉබ්‍රාහිම්, අංක: 37, පරණ යෝන් වීදිය, කොළඹ 12. මේ නඩුවේ නීතිඥයා අලි සබ්රි. ඒකෙන් ඔහු මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධයි කියා ලඝු කළ යුතු නැහැ. ඊබ්‍රාහිම් අවුරුදු දෙකකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළා. ඒ කොතනකදී හෝ අප හෝ අපේ ව්‍යාපාරය එයට සම්බන්ධ බව කිසිදු හෙළිදරව්වක් සිදුවී නැහැ. ඔහු දැන් ඇප මත නිදහස ලබාගෙන තිබෙනවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, මලල්ගොඩ වාර්තාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා තිබෙනවා, මේ කිසි තැනක ඊබ්‍රාහිම් සහ අපගේ දේශපාලන ගනුදෙනුව මෙම ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වු බව කිසිසේතම සනාථ වී නැහැ. ඒවා අනෙකාට චෝදනා එල්ල කිරීම සඳහා සුපුරුදු පරිදි එල්ල කරන ලද පුස් වෙඩි මිසක් සත්‍ය වෙඩි නොවෙයි.

මගේ තර්ක දෙක

වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා උත්සාහ කළා, විටින් විට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කරන ලද මන්ත්‍රීවරුන් ගැන සඳහන් කරන්න. හැබැයි 2020, 2021, 2022, 2023 මෙ සෑම අවස්ථාවකදීම මා විසින් ඉදිරිපත් කරන්නේ තර්ක දෙකයි. මේ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අසමත් වූ පාර්ශ්වය කවුද? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වය ලෙස නිශ්චිත ලෙස සඳහන් කළ යුතුයි. එකක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ඉතා පැහැදිලිව මේ ප්‍රහාරය වළක්වා ගැනීමට තමන්ට තිබෙන වගකීම ඔහු ඉටු නොකළ බවට. එයින් ඔහුට ගැලවෙන්න බැහැ. ඒ වගේම විශාල අරාජිකත්වයක් නිර්මාණය වෙලා තිබුණා. මේ අඟහාරුවාදට රැස්වීමට තිබෙන බුද්ධි සමාලෝචන රැස්වීමේ මුලසුන දරන්නේ ආරක්ෂක ලේකම්වරයා. ඒ වෙලාවෙදි ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ කරුණාසේන නමැති මහත්මයා. ඒ කරුණාසේන මහත්මාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක සිදුකරමින් තිබෙනවා. නමුත් ඔහු මුලසුන දරන සාකච්ඡාවට සී.අයි.ඩී. එක කැඳවනවා. එම බුද්ධි මණ්ඩල රැස්වීම නියෝජනය කරනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා. රවී විජේගුණවර්ධන. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ළමුන් 11දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයේ වගඋත්තරකරුවෙක් හැටියට පරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. මේක නියෝජනය කරනවා හමුදා බුද්ධි අංශය නියෝජනය කරන මහත්මා. ඔහුට එක්නැලිගොඩ පැහැරගෙන යාම පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා, එම සී.අයි.ඩී. එකම. මේක නියෝජනය කරනවා හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ, අමල් කරුණාසේන. ඔහුට සී.අයි.ඩී. එකේ පරීක්ෂණයක් තිබෙනවා, කීත් නෙයාර් පැහැරගැනීම සම්බන්ධව. මොළේ කළඳක් හෝ තිබෙන දේශපාලන නායකයෙක් එවැනි බුද්ධි සමාලෝචන රැස්වීමක් කැඳවනවාද? අපරාධ චෝදනා තිබෙන, අපරාධ පරීක්ෂණ විසින් පරීක්ෂණ තිබෙන, චුදිතයන් මුලසුන දරන. දේශපාලන අධිකාරියක් පිහිටුවන්නේ එකට තමයි. මෙවැනි තත්වයක් ඇති වුණාම ඔහුට විධායක බලය දී තිබෙන්නේ කුමකටද? ඔහුට විධායක බලය දී තිබෙන්නේ ඒ බුද්ධි සමාලෝචන රැස්වීම නිසි පරිදි පිහිටු වීමට. ඔහු ඒ බලය ක්‍රියාත්මක කළේ නැහැ. මෛත්‍රීපාල සිරිසේනට ඒකෙන් ගැලවෙන්න බැහැ.

පාස්කු සහ දින 52

දින 52 කුමන්ත්‍රණයෙන් පසුව තමන්ගේ පුද්ගලික කෝන්තර මත පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැහැ. තමන්ගේ පුද්ගලික කොන්තර ආරක්ෂක මණ්ඩලයත් එක්ක පිරිමහ ගන්න යනවාද? ඒ නිසා නිසි පරිදි ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡාවකට බඳුන්වුණේ නැහැ. ආරක්ෂක මණ්ඩලය නිසි පරිදි කැඳවනු ලැබුවේ නැහැ. ඒ වගේම අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැහැ. තමන්ගේ ඉතාමත් ළදරු, බොල්, මානසිකත්වය තුළ මෙම ප්‍රහාරයට අවශ්‍ය වෙන අරාජිකත්වයක් නිර්මාණය කළා. ආරක්ෂක මණ්ඩලය, බුද්ධි සමාලෝචන රැස්වීම අරාජිකයි. ඔහු වැඩිපුර ප්‍රියතාවයක් දැක්වූයේ රාජ්‍ය බුද්ධි සේවය උපයෝගී කරගෙන දේශපාලකයින් පස්සේ හඹාගෙන යන්න.

එක රෙදිපිළි ව්‍යාපාරිකයෙක් මහින්ද රාජපක්ෂට විශාල ගෙයක් දෙන්න තිබුණා. ඔහුගේ පස්සෙ එස්.අයි.එස්. එක ඇරියා. ඇරලා පසුවදා ගේ දුන්නේ නැහැ. එවැනි තමන්ගේ පෞද්ගලික දේශපාලන පිරිමසා ගැනීම් වෙනුවෙන් තමන් සතුව තිබෙන විධායක බලය, තමන් සතුව තිබෙන වගකීම් අවභාවිතා කරපු නායකයෙක්. ඔහු මෙයට වගකිව යුතුයි. ඔහු නියෝජනය කරන්නේ කවුද? අද ඔහු නියෝජනය කරන්නේ ආණ්ඩුව. ඔහුගේ පක්ෂයේ උප සභාපතිවරයා ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඔහුගේ පක්ෂයේ ප්‍රධානියා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්. ඔහු මේ පැත්තේ මා අසලින් වාඩිවී සිටියාට ඇත්තෙන්ම ඔහු ඉන්නේ එහා පැත්තේ. මෙයට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයා අද ආණ්ඩුවේ පංගුකරුවෙක්. ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මේ වගකීමෙන් අත්හරින්න බැහැ. ඔහුටත් වගකීමක් තිබෙනවා. තමන්ගේ ජනාධිපතිවරයා, ඉහළ බලධාරියා තමන්ගේ වගකීම නිසි පරිදි ඉටුකිරීමට බාධා කරනවා නම්, ඔහු මේ පාර්ලිමේන්තුවට කියන්න ඕනෑ. ඔහුටත් කෙසේ හෝ අගමැතිකම තියා ගන්න ඕනෑ. ඔහුටත් ඕනෑ බලය. මෛත්‍රීපාල සිරිසේන තමන්ට අවශ්‍ය පරිදි වගකීම් බාර දෙන්නේ නැතිනම්, වගකීම් ලෙස හැසිරෙන්න දෙන්නේ නැතිනම් අගමැතිකමක් තබාගෙන කුමකටද? ආරක්ෂක මණ්ඩලයේ ගේට්ටුව ගාව පැය එකහමාරක් වාඩිවෙලා සිටි බව වජිර අබේවර්ධන කිව්වා. ඔහුට අගමැතිකම ඕනෑ. රට ඕන දෙයක්. මිනිස්සු මැරෙනවා, බෝම්බ පිපිරුවා ඕන දෙයක්. හැබැයි රනිල්ට ඕනෑ අගමැතිකම. අදත් එහෙමයි. රටට ඕන දෙයක් සිදුවුණාදේ. ඔහුට ඕනෙ ජනාධිපතිකම. ඒ නිසා ඒ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මේ ප්‍රහාරයේ වගකිවයුත්තෙක්. ඒ වගේම ප්‍රධාන චෝදනාවක් එල්ල වී තිබෙනවා, දැන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට. ඔහුත් අද ආණ්ඩුවේ. හිටපු රාජ්‍ය අංශයේ බුද්ධි ප්‍රධානියාට චෝදනාවක් එල්ල වෙනවා. ඔහුත් දැන් ආණ්ඩුවේ. අපරාධය වළක්වා ගැනීමට නොහැකි වූ කණ්ඩායමත්, අපරාධය පිළිබඳ චෝදනා එල්ලවෙන කණ්ඩායමත් දෙකම ආණ්ඩුවේ. අපරාධය පිළිබඳ චෝදනාවක් එල්ල වෙනවා පිල්ලෙයාන්ට. අද ඔහු ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක්.

යුක්තිය ඉල්ලන්නේ කාගෙන්ද

කාගෙන්ද මේ ප්‍රශ්නය පිළිබඳ යුක්තිය ඉල්ලන්නේ. අපරාධය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායමත්, අපරාධය සිදුකළා යැයි චෝදනා එල්ලවන කණ්ඩායමත් අද ආණ්ඩුවේ. මේ ජනාධිපතිවරයා, මේ ආණ්ඩුව, මේ නිලධාරීන් මේ පුටුවල තබාගෙන යුක්තිය ඉල්ලනවා නම්, ඒක මානසික ආබාධයක්. ජාතිය, ආගම, මව්බිම කියන වගන්ති ඇතුලේ, ඉතාමත් වැදගත් අධ්‍යාත්මයන් ඇතුලේ මේ අපරාධය වසන්කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයන් තමයි තිබෙන්නේ.

දැන් අහනවා, මේකෙ දේශපාලනය තිබෙනවාද? ඔව්, මේකෙ දේශපාලනය තිබෙනවා. 2015 මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පරාජයට පත්වුණා. ඔවුන් කවදාවත් සිතුවේ නැහැ බලය අත්හැර යන්න සිදුවේවි කියා. බලය අත්හරින්න සිදුවෙයි කියා සිතුවා නම් කවදාවත් අවුරුදු දෙකකට කලින් ජනාධිපති ඡන්දය පවත්වන්නේ නැහැ. ඔවුන් තැති ගන්වන ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබුණා. ඒ නිසා තමන්ගේ අහිමි වූ බලය ලබාගැනීමට ඔවුන් ප්‍රයත්න දැරුවා. පළමු උත්සාහ වුණේ “උතුරේ කොටි යළි නැගිටියි” 2015න් පස්නේ අපේ ශබ්ද කෝෂයට ආ වචන පේළියක්, යළි කොටි නැගිටියි. “ආවා කල්ලිය. නැවත ප්‍රහාරයක්” නමුත් 2017 විතර වන විට යළි කොටි නැගිටියි කියන සාකච්ඡාව යට ගියා. 2017 වන විට අලුත් මාතෘකාවක් එන්න පටන් ගත්තා.

අලුත් කොණක් අහුවුණා. අලුත් මාතෘකාව ‘මුස්ලිම් අන්තවාදය’ සිංහල ජාතික වඳ කිරීම සඳහා ‘වඳ කොත්තු’ තිබෙන බව කිව්වා. පරීක්ෂණ කළාද? කෝ වඳ කොත්තු. කවුද වඳ කොත්තුවල අයිතිකාරයා. ඊළඟට එළියට එනවා වඳ ඇඳුම්. මා දන්නා ඉතිහාසයේ විද්‍යාවේ කොතනකවත් ඇඳුම් ඇඳලා වඳ කළ හැකි බවට සාකච්ඡාවක් වෙලා නැහැ. ඉතාමත් ප්‍රබල මාධ්‍ය ජාලයක් සම්බන්ධ කරගෙන, සමාජ විද්‍යාත්මක කරුණු පසෙකලා, ජාතිය පිළිබඳ තමන්ගේ තිබෙන භක්තිය අන්ධ භක්තියක් බවට පරිවර්තනය කරලා, 2050 වෙනකොට සිංහල ජාතිය සුළු ජාතිය වෙනවාය, මුස්ලිම් ජාතිය ප්‍රධාන ජාතිය බවට පත්වෙනවාය කියන දේශපාලනයක් නිර්මාණය කළා. මාධ්‍ය ජාලාවල ඇඳුම්වල ලේයර් එකින් එක ගලවලා මෙන්න ඇඳුම්වල ජෙල්, පිටි තිබෙනවා. ඒ ඇඳුම් ඇන්දාම වඳ වෙනවා කීවා. එක් පැත්තකින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කරමින්, අනෙක් පැත්තෙන් සිංහල ජාතිවාදය පෝෂණය කරමින් නැවත අලුත් දේශපාලන තත්වයක් ගොඩනැංවූවා. යුද්ධ කාලයේදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව තොරතුරු දීපු, ක්‍රියාකාරිත්වයේ යෙදුණු කණ්ඩායමක්. යුද්ධ වෙලාවෙදි කොතනකදීවත් මෙවැනි සාකච්ඡාවක් මතු වුණේ නැහැ. යුද්දෙන් පස්සේ විශේෂයෙන් 2015 පරාජයෙන් පස්සේ අලුත් මාතෘකාවක් ගෙනාවා, “මුස්ලිම් අන්තවාදයෙන් ජාතිය බේරා ගන්න ඕනෑ”. එහි අන්තිම ප්‍රතිඵලය තමයි අප්‍රේල් 21දා පාස්කු ප්‍රහාරය.

නොවැම්බර් ඡන්ද ප්‍රතිඵලය අප්‍රේල් මාසයේ ලිවීම

2019 නොවැම්බර් මාසෙ 17දා ඡන්ද ප්‍රතිඵලය අප්‍රේල් මාසෙ 21 දා ලියැවිලා ඉවරයි. 2019 නොවැම්බර් මාසයේ මැතිවරණ කොමිසම කළේ, ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම විතරයි. අප්‍රේල් 25දා ගෝඨාභය රාජපක්ෂ කියනවා, ඔහු ජනාධිපතිවරණයට තරග වදින බවත්, මුස්ලිම් අන්තවාදය පරාජයට පත්කරන බවත්. මැයි මස 10වැනිදා මිලින්ද මොරගොඩ පදනමට එනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපතිවරයා රොබෙට් ඕ බ්ලේක්. ඔහු ඇවිත් රැස්වීමක් පවත්වලා කියනවා, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමතිවරයා හැටියට කටයුතු කළා නම්, මේ ප්‍රහරය සිදු නොවෙන බව. ඒ වගේම ඔහුට බාධාවක්ව තිබුණා ද්විත්ව පුරවැසිභාවය. මම අධිකරණ ඇමතිවරයාට කියනවා, අපට සොයා කියන්න ඔහු ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා අස්කර ගැනීම සඳහා ලියුම බාරදුන්නේ කවද්ද කියා. සිදුවීම් පෙළ ගැසී තිබෙන ආකාරයට මේක තුළ දේශපාලනයක් තිබෙනවා. මේ සිදුවීමම දේශපාලනිකයි. මුළු අඩංගුවම දේශපාලන භූමිකාවක් වුණාම, ඒ පිළිබඳ සාකච්ඡාව දේශපාලනයෙන් තොර වෙන්නේ කොහොමද? සිදුවීමේ සමස්තයම දේශපාලනික නම්, ඒ පිළිබඳ කෙරෙන සංවාදය දේශපාලනික සංවාදයක්. ඒ නිසා මා කතා කරන්නේ දේශපාලනය. ඒ නිසා තමයි හිටපු ජනාධිපති ගෝඨාභය දෙසට ඇඟිල්ල දිගුවෙන්නේ. ඔහුත් අද ආණ්ඩුවේ රැකවරණය සහිතව, උදව්පදව් ඇතිව ජීවත් වෙන කෙනෙක්. එසේ නම් ඔහුත් ආණ්ඩුවේ.

ඊළඟට චෝදනාවක් එනවා බුද්ධි අංශ පිළිබඳව. ඕනෑම රාජ්‍යයකට වැදගත් ශක්තිමත් බුද්ධි අංශයක් පවත්වාගෙන යෑම. රාජ්‍යයේ ස්ථාවරභාවයට, ජනතාවගේ ආරක්ෂාවට, මේ සියල්ලන්ටම වැදගත්. බුද්ධි අංශ යම් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් කටයුතු කරනවා නම්, අපි අතිශය භයානක අත්දැකීම් විඳින්න සිදු වෙන්න පුළුවන්. ආණ්ඩුවේ ඉන්නේ එක පාර්ශ්වයක. තවත් පාර්ශ්වයක වුවමනාවක වෙනුවෙන් බුද්ධි අංශ හසුරුවන්න පුළුවන් නම්, රට කොතනද තියෙන්නේ? බුද්ධි අංශ නිලධාරීන් සමග තිබෙන අගෞරවයක් හෝ ඔවුන් සමග තිබෙන වෛරයක් හෝ කෝපයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි මේ තිබෙන්නේ. රජයක් පෙරළා දැමීම සඳහා, සිතාමතාම සැලසුම්කොට ක්‍රියාත්මක වෙන්න බුද්ධි අංශයට හැකිනම්, අපි කොහේද ඉන්නේ. මේ පාර්ලිමේන්තුවෙන් පලක් තිබෙනවාද? ආණ්ඩුවකට පක්ෂව බුද්ධි අංශ කටයුතු කරනවා නම් යමක් හිතා ගන්න පුළුවන්. ආණ්ඩුවක් තිබියෙදී, විපක්ෂයේ කණ්ඩායමක් බලය ගැනීම සඳහා බුද්ධි අංශයක් සමග මැදිහත් වෙලා කුමන්ත්‍රණයක් කරනවා නම්, එතැන් සිට අපි අපේ රාජ්‍යයක් ගැන කතා කිරීමෙන් පලක් නැහැ. මේ සිදුවීම් පිළිබඳ බුද්ධි අංශයේ යම් සබඳතාවයක් තිබෙනවා නම්, අපේ සෑම කෙනෙක්ගේම ඇස් අරවන, තැති ගන්වන භයංකාර චිත්‍රයක් අපේ ඇස් ඉදිරිපිට තිබෙන්නේ. ඒ නිසා අපි පොර බදන්න ඕනෑ මේක පිළිබඳ සත්‍යය හෙළිදරව් කරගැනීමට. සත්‍ය හෙළිදරව් නොකරන තාක්කල්, ජනතා පරමාධිපත්‍යය කියන්නෙ මිරිඟුවක්. සත්‍යය හෙළිදරව් නොකරනතාක් කල් පාර්ලිමේන්තුව කියන්නේ විහිළුවක්. සත්‍ය හෙළිදරව් නොකරනතාක් කල් මහජනතාවගේ ආරක්ෂාව කියන්නේ බොල් පිළිමයක්. මේ පාර්ලිමේන්තුවේ කාට හෝ කිව හැකිද සියල්ල අවසන් කියා. සෑම කෙනෙක් තුළම ලොකු කුතුහලයක්, සැකයක්, ආන්දෝලනයක් තිබෙනවා. මේ ප්‍රශ්නය නිසි පරිදි විසඳා ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවට මැදිහත් විය යුතු නැද්ද?

බුද්ධි අංශයට ඇඟිලි දික්වීම

ඇයි, බුද්ධි අංශයට ඇඟිල්ල දිගු වන්නේ? ලසන්ත ඝාතනය, හමුදාමය ක්‍රියාමාර්ගයක් නොවෙයි. ඒක දේශපාලන ක්‍රියාදාමයක්. එක්නැලිගොඩ පැහැර ගැනීම, දේශපාලන ක්‍රියාමාර්ගයක්. ඒකට හමුදාවේ යම් යම් නිලධාරීන් සම්බන්ධ වී තිබෙන බව තොරතුරු එළියට එනවා. කීත් නොයාර් පැහැරගන යෑම, යුදමය ක්‍රියාදාමයක් නොවෙයි. ජාතික ආරක්ෂාව පිළිබඳ හෝ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඒක දේශපාලනයක්. උපාලි තෙන්නකෝන් පැහැරගෙන ගොස් පහර දීම, දේශපාලනයක්. තාජුඩීන්ගේ ඝාතනය දේශපාලනයක්. පරරාජසිංහම්ගේ ඝාතනය දේශපාලනයක්. බුද්ධි අංශය පිරිසිදුද? නැහැ. යම් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යම් නිල කණ්ඩායම් යොදාගෙන තිබෙනවා නම්, ඒ ඔක්කෝම කරලා මේකට විතරක් ශුද්ධවන්තයෝ කරන්න පුළුවන්ද? මේ ඔක්කෝම පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබෙනවා. ලසන්ත වික්‍රමසූරියගෙ ඝාතනය, ළමයි 11දෙනෙකු පැහැරගෙන ගොස් සිදුකළ ඝාතනය, එක්නැලිගොඩ පැහැරගෙන යාම, කීත් නොයාර්ගේ පැහැරගෙන යාම කොතනද නතර වුණේ. ටි්‍රපෝලි කියන්නේ අලුත් වචනයක් නොවෙයි. ඒක මේ සෑම අපරාධයක් පිටුපස තිබුණු වචනයක්. කාට හෝ කියන්න පුළුවන්ද ඔවුන් ශුද්ධභාවයෙන් කටයුතු කළ පිරිසක් කියා. ඉතිහාසයේ ඔවුන් දේශපාලන වුවමනාවෙනුවෙන් කටයුතු කර තිබෙනවා. මෙම පාස්කු ප්‍රහාරයට ඔවුන්ගේ දේශපාලන වුවමනාවක් නොතිබුණාය කියා කියන්න පුළුවන්ද? කියන්න තරම් ඔවුන්ගෙ අතීත භාවිතය පිරිසිදු නැහැ. ඒ නිසා බුද්ධි අංශයට එල්ලකොට තිබෙන මේ චෝදනාවෙන් කාටවත් මිදෙන්න බැහැ.

චැනල් ෆෝ ගැන තත්වය

මේකෙ ප්‍රධානම කරුණ බවට පත්වුණේ, චැනල් ෆෝ නාලිකාවෙන් ඉදිරිපත් කරන ලද කරුණ. දැන් අලුත් වටයකින් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. චැනල් ෆෝ නාලිකාව එනකොටම ආණ්ඩුවේ ප්‍රතිචාර මොකක්ද? නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, චැනල් ෆෝ නාලිකාවට ඔවුන්ගේ පවුල සමග පරම්පරාගත ප්‍රශ්නයක් තිබෙනවා කිව්වා. එහෙම නම් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ චීන සමාගමකින් සල්ලි ගත් බව චෙක්පත් සමග දැම්මානේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවතපතත් පරම්පරාගත වෛරයකින් ඉන්නවාද? පැන්ඩෝරා පේපර්ස් නිරූපමා රාජපක්ෂගෙ මුදල් ගැන එළියට දැම්මානේ. පැන්ඩෝරා පේපර්ස් දාපු ජාත්‍යන්තර ගවේෂණශීලී මාධ්‍ය කණ්ඩායම රාජපක්ෂලත් එකක පාරම්පරික ප්‍රශ්නයක ඉන්නවාද? ඇමෙරිකන් එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණයකදී මහින්ද රාජපක්ෂගෙ මස්සිනා ජාලිය වික්‍රමසූරිය හිරේ ඇරියානේ. අදත් අවුරුදු දෙකකට ඇඟ බැඳලා. ඕස්ටේ්‍රලියාවෙ ඒ.බී.සී. මාධ්‍ය ජාලය හම්බන්තොට රෝහලේ උපකරණ මිලදී ගැනීමේදී පගා ගෙවූ බව අනාවරණය කළා. පගා ගත්ත අය මෙහේ ඉන්නවා. චැනල් ෆෝ නාලිකාව රාජපක්ෂලා එක්ක පරම්පරාගත වෛරයක ඉන්නවා කියන එක ඇත්ත වසන් කිරීමට කළ ප්‍රකාශයක්.

ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

ගෝඨාභය රාජපක්ෂ මහතාත් නිවේදනයක් නිකුත් කළා. අවසානයේදී ඔහු කියන්නේ මොකක්ද? ඔහු කතෝලික පල්ලිවලට, මඩු දේවස්ථානයට, පාප් වහන්සේ ගෙන්වීම සඳහා කරන ලද තමන්ගේ කාර්යභාරය පිළිබඳ ඇගයීමක් කරනවා. එතන නොවෙයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. ආරක්ෂක ලේකම්වරයා මෙම චැනල් ෆෝ නාලිකාව් කරුණ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. එම නිවේදනය ජනාධිපතිවරයාගේ අනුමැතියෙන්ද නිකුත් කළේ. සියලු කරුණු ප්‍රතික්ෂේප කරන ලද නිවේදනයක් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළේ, ආරක්ෂක ඇමති හැටියට ජනාධිපතිවරයා දැනගෙනද? දැන ගන්න ඕනෑ. දැනගෙන නම් ඔහු ආපසු කමිටු දාන්න ඕනෙද? එවැනි නිවේදනයක් එළියට ආවේ කොහොමද? එවැනි නිවේදනයක් නිවේදනයක් එළියට ආවේ කොහොමද? එවැනි නිවේදනයක් සකස් කිරීම සඳහා පාර සකස් වුණේ කොහොමද? කියාත් පරීක්ෂණයක් කරන්න ඕනෑ.

මා දිගටම පෙන්නුම් කළ වවුනතිව් ප්‍රශ්නය. සහරාන්ලා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම. 2018 නොවැම්බර් මස 30දා සහරාන්ලාගේ පළමු සිදුවීම පිළිබඳ පරීක්ෂණය නොමග යැවීම සඳහා කටයුතු කළේ කවුද? බුද්ධි අංශ හතරක් විසින් වාර්තා ලබාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. එකේ ප්‍රහාරයක් කියලා. එල්.ටී.ටී.ඊ.ය පිළිබඳ වාර්තා ලබාදුන්නා පමණක් නොවෙයි, එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් ලෙස සැලකීම සඳහා ක්‍රියාකාරකම්වල යෙදුණා. ඊට දින තුනකට විතර පසුව වවුනතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කළ ආසන්නයේ බෝක්කුවක් යට ජැකට් එකක් දානවා. ඒ අවස්ථාවේ තොරතුරක් එනවා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකමක් විය හැකියි. වවුනතිව් පොලීසියත් සමග ගැටුමක් තිබුණා. පෙර සතියේ මහ විරු සමරුව කිරීමේදී ගැටුමක් ඇතිවෙලා තිබුණා. ඒ නිසා මේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති කියලා වාර්තා එනවා. විය හැකියි. ජැකට් එකත් සමග පොලිස් සුනඛයා යන්නේ එප්.ටී.ටී.ඊ. සංවිධානයේ පුනරුත්ථාපනය වී එළියට පැමිණ සිටි අජන්තන්ගේ ගෙදර. කොහොමද එහෙම වෙන්නේ. බුද්ධි තොරතුරු වැරදෙන්න පුළුවන්. එහෙත් ඊට එහා ගිය ක්‍රියාකාරිත්වයක් එතන තිබෙනවා. ඒ ක්‍රියාකාරිත්වය මෙහෙය වූවේ කවුද? ඒක හෙළිදරව් විය යුතු කරුණක්.

ජමීල් ගැන කතාව

ජමීල් කියන පුද්ගලයා, තාජ් සමූද්‍රා හෝටලයේ පුපුරවා ගැනීමට ලැහැස්ති වුණේ. අපි කවුරුත් දැක්කා සී.සී.ටී.වී. දර්ශනවලින් ඔහුට දුරකථන ඇමතුමක් එනවා. ඒ දුරකථන ඇමතුමෙන් පසුව ඔහු හෝටලෙන් එළියට එනවා. ඒ වගේම මවුලානා ප්‍රකාශයක් කරනවා, ඒ වෙලාවේ ඔහුට කතා කොට, “මේ හෝටලේ ගාවට ගොස් ඔහුව ගන්න” කිව්වයි කියලා. ඒවා හොයන්න ඕනෑ. ඔහු කියනවා ඔහු හිටියේ මඩකලපුවෙ කියලා. අවසානයේ ජමීල් දෙහිවල යනවා. පසුව ආසන්නයේ පල්ලියකට එනවා. ඒ පල්ලියෙන් ගියාට පස්සෙ ඔහු පිපිරීමකට භාජනය වෙනවා. ඒ අතර බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පුපුරවා ගැනීමට පෙර ජමීල්ගේ ගෙදර යනවා. මෙතන සිදුවීම් අටක් තිබුණා. කටුවාපිටිය, කොච්චිකඩේ, කිංස්බෙරි හෝටලය, ශ්‍රැංගිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, දෙහිවල ජමීල්ගේ පුපුරුවා ගැනීමේ ස්ථානය, දෙමටගොඩ ඊබ්‍රාහිම්ගේ පුපුරවා ගැනීමේ ස්ථානය, මඩකලපුවේ සියොන් දේවස්ථානය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිදුවීම් අටට කණ්ඩායම් අටක් පත්කර තිබුණා. මේ දෙහිවල පරීක්ෂණය භාරදී තිබුණේ සී.අයි.ඩී. එකට. 21වැනිදා සිට සැමදාම උදේ 6.00ට මෙම කණ්ඩායම්වල විමර්ශන නිලධාරීන් සහ ප්‍රධානීන් එක්ක සාකච්ඡාවක් පවත්වනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. 30, 01, 02 දින ආසන්න කාලය තෙක් එම සමාලෝචන රැස්වීමේදී ත්‍රස්ත විමර්ශන එකේ නිලධාරීන් දෙදෙනෙක් සහ බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙක් පුපුරවා ගැනීමට පෙර ජමීල්ගේ ගෙදර ගිය බවට වාර්තා වෙන්නේ නැහැ. ඒ වාර්තා වීම සිදුවන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යෂකවරයාගේ මාරුවීම සමගයි. ඔහු මාරු වුණාට පසුවයි ඒක වාර්තා වෙන්නේ. ඒ නිසා හිතාමතා එම කරුණ වසංකිරීම සඳහා කරපු ප්‍රයත්නයක් එතන තිබෙනවා. ඒක අපි හෙළිදරව් කරගන්න ඕනෑ.

පොඩි සහරාන්

ඊළඟට මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා පොඩි සහරාන්ගේ ප්‍රශ්නය. ඔහු කටාර් රාජ්‍යයේ සිට ඊට ආසන්නයේ දින කීපයකින් එන්නෙ. ඔහු මාතලේදී ඔහුව අහඹුවක් ලෙස අත්අඩංගුවට ගන්නවා. කිසිසේත්ම බුද්ධි තොරතුරු හෝ බුද්ධි අංශ හා ඔවුන් අතර වූ සබඳතාවයක් හෝ නිසා නොවෙයි ඔහුව අත්අඩංගුවට ගන්නේ. (හිටපු පොලිස් අමාත්‍යවරයා කියනවා මා දැක්කා, බුද්ධි නිලධාරීන් විසින් ‘ඔහුව කටාර්වල සිට ගෙන්වා ගත්තා’ කියලා.) නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ. ඔහුව අත්අඩංගුවට ගන්නේ අහඹු ලෙස මාතලේ පොලීසියෙන්. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තේරෙනවා මොහු යමක් දන්නා බව. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නාට පසුව තමයි, ඔහුගේ අතින් ‘සොනික්’ කියන වචනය එන්නේ. ‘සොනික්’ ‘සොනික්’ කියන පුද්ගලයෙක් අපට කතා කරනවා කියලා ඔහු කියනවා. ඒ කතා කරන ලද දුරකථන අංක හොයාගෙන යනකොට, යම් බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් කාන්තාවකගේ නමකට තමයි ඒ ටෙලිෆෝනය තිබෙන්නේ. අනතුරුව කතා කරලා තිබෙන්නේ, ඊයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ කතාකර තිබෙනනේ බුද්ධි අංශයේ නිලධාරියෙක් බව පිළිගත්තා. පොඩි සහරාන්ගේ කටඋත්තරයේදී පැහැදිලිව කියනවා ප්‍රහාරය බාර ගැනීම සඳහා සොනික් නමැති පුද්ගලයා තමන්ට කතා කළා කියලා. බුද්ධි අංශයේ නිලධාරියෙකුට මොකක්ද තිබෙන අවශ්‍යතාවය, මේක අයි.එස්.අයි.එස්. සංවිධානය පිට පැවරීමට. මම මෙහෙම අහන්නේ ඇයි?

විදේශීය පරීක්ෂණ ආයතන

මේක පරීක්ෂා කිරීම සඳහා ආයතන ගණනාවක් ආවා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියෙන් ආවා. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියෙන් ආවා. එක්සත් ජනපදයේ එෆ්.අයි.බී. එකෙන් ආවා. ඉන්දියාවෙන් ආවා. නවසීලන්තයෙන් ආවා. ඒ අවසථාවේ ඉස්ලාම් අන්තවාදයෙන් ජාත්‍යන්තර තර්ජන තිබෙන නිසා තර්ජනයන් තිබෙන රටවල් විශාල ප්‍රමාණයක් මේක පරීක්ෂණය සඳහා ආවා. හැබැයි ඒ කිසිදු තැනක මේ සිදුවීමට ජාත්‍යන්තර සබඳතාවයක් තිබෙන බවට හෙළිදරව් වී නැහැ. අදත් නැහැ. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙ හෝ විධිමත් පරීක්ෂණයක හෝ මෙ ජාත්‍යන්තර වශයෙන් යන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් ජාත්‍යන්තර වශයෙන් එල්ල කරන ලද ප්‍රහාරයන්ගේ මාලාවේ එකක් තමයි මේක කියා කොතනකවත් සඳහන් වන්නේ නැහැ. එහෙම නම් අයි.එස්.අයි.එස්. සංවිධානයට භාරගැනීම සඳහා බුද්ධි අංශයේ නිලධාරියෙක් විසින් පොඩි සහරාන්ට බලකර ඉල්ලන්නෙ ඇයි? ඒ විතරක් නොවෙයි, ඒ විගසම ඔවුන් දිවුරුම් දීමේ වීඩියෝව ඉන්දියාවෙන් ප්‍රකාශයට පත්වෙනවා, ඒ වීඩියෝව ගියේ කොහොමද? මේවා අපි දැනගත යුතු කරුණු. විමර්ශනය කොට අපට කියන්න.

තුන්වෙනුව මේ ප්‍රහාරය පිළිබඳ ආව තොරතුරු බලන්න. ප්‍රහාරය එන්නේ ඉන්දියාවේ තොරතුරු ඒකකයකින් තමයි තොරතුරු ලංකාවට එන්නේ. හැබැයි ප්‍රහාරය සැලසුම් කරන්නේ ලංකාවේ. ප්‍රහාරකයන් ඉන්නේ ලංකාවේ. සියලු ක්‍රියාදාමයන් සිදුවෙන්නේ ලංකාවේ. හැබැයි බුද්ධි අංශ වෙත තොරතුරු එන්නේ ඉන්දියාවෙන්. එසේනම් අපට සාධාරණ ලෙස උපකල්පනය කළ හැකියි ලංකාවේ සිට ඉන්දියාවට ලබාදීලා, ඉන්දියාවේ බුද්ධි අංශ විසින් ලංකාවට ලබාදුන්නා කියලා. මෙතන පැහැදිලිව මෙහේ සිට තොරතුරු එහාට ගියා. ලබාදී තිබෙන තොරතුරු ඉතාමත් සමීපතම තොරතුරු. ප්‍රහාරකයන්ගේ නම් ගම් එනවා. ප්‍රහාරය එල්ල කරන දවසට කලින් දවසේ හෙට ගහන්නේ කියා කියනවා. එල්ල කරන දවසේ අද දේවස්ථානවලට සහ හෝටල්වලට ගහනවා කියනවා. මේ කිසි තැනක ප්‍රහාරය වළක්වා ගැනීමට වැදගත් වන සාධක ආවේ නැහැ. ආරක්ෂණ පිළිබඳව නිවස්නයන් මිලදී ගැනීම, බත්තරමුල්ල ප්‍රදේශයෙන් සපත්තු සහ බෑග් ගෙනයාම පිළිබඳ තොරතුරු වැනි ප්‍රහාරය වළක්වා ගැනීමට සමත්වන තොරතුරු නැතිව අනෙක් තොරතුරු ආවේ කොහොමද? මෙහෙන් එහේ බුද්ධි අංශයට තොරතුරු දුන්නේ කවුද? මේ තොරතුරු ෆිල්ටර් කරන ලද තොරතුරු.

සරා ජස්මින්

සාරා ජස්මින්ගේ ප්‍රශ්නය. ඇය ඉතාමත් සමීපව ඔවුන් සමග සමීපව ඇසුරු කර තිබෙනවා. ක්‍රියාදාමයන්වල නිරත වී තිබෙනවා. සාරා ජස්මින් සායින්දමරුදු පුපුරුවා ගැනීමේදී ඝාතනය වුණාද? පොලිස් ඇමතිතුමා කිව්වා ඩී.එන්.ඒ. දෙකයි කියලා. මට ලැබුණු තොරතුරුවලට අනුව ඩී.එන්.ඒ. තුනක් කර තිබෙනවා. නැවත නැවත ඇයගේ මව සමග සම්බන්ධ කරමින් ඩී.එන්.ඒ. පරීක්ෂා කරමින් ඇය ඝාතනය වුණා යැයි කියා තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ කාටද? ඒ වගේම සායින්දමරුදු පුපුරවා ගැනීමෙන් දින තුනකට පසුව තමයි හැඳුනුම්පත ලැබෙන්නේ. හැඳුනුම්පතට කිසිදු දෙයක් සිදුවී නැහැ. සායින්දමරුදු පොලීසිය විසින් හැඳුනුම්පත ලබාදෙනවා. එහෙම නම් ඇය ඝාතනය වුණා යැයි කියලා ප්‍රබන්ධයක් ගොඩනැගීමේ වුවමනාවක් තිබුණාද? අපට සොයා දෙන්න.

සහරාන් බිරිඳ හාදියාගේ සාක්ෂියේදී ඇය වැදගත් කතාවක් කියනවා. ඇයගේ සාක්ෂියේදී ඇය කියනවා අබුහිද් කියා පුද්ගලයෙක් නිරන්තරයෙන් සහරාන්ට කතා කළ බව. මේ අබුහිද් සහරාන්ට උඩින් උපදෙස් දුන්නා යැයි කියන සැකයක් තිබෙනවා. විශේෂයෙන්ම දැනට කරන පරීක්ෂවලින් හෙළිදරව් වී තිබෙනවා මෙම ප්‍රහාරය යම් ප්‍රමාණයකට කලින් සිද්ධ වුණාය කියලා. සැලසුම් කළ කාලයට වඩා කලින් සිද්ධ වුණා. කලින් සිදුකිරීම පිළිබඳව සහරාන් ඇතුළු කණ්ඩායම තුළ බෙදීමක් ඇති වුණාය කියා වාර්තා වී තිබෙනවා. පෙර සූදානම කලින් ප්‍රහරයක් බවට පරිවර්තනය වුණේ කොහොමද? ඒක අපට සොයා දෙන්න. අබුහිද් කියන පුද්ගලයා ඒ සඳහා උපදෙස් ලබාදුන්නාද? ඔහු කවුද? අපට සොයා දෙන්න. 270කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය වී තිබෙනවා. මුස්ලිම් ජනයා විශාල පීඩාවකට පත්වුණා. අනෙක් ජනතාව ඝාතනයට පත්වුණා. ජාතීන් අතර සැකය අවිශ්වාසය වර්ධනය වුණා. දේශපාලනයේ විශාල ගැටුමක් නිර්මාණය වුණා. අදත් නොවිසුඳුණු ප්‍රශ්නයන් ඇති වින්දිතයන් ඉන්නවා. ඒ නිසා අද වගකීම තමයි මෙම වින්දිතයන්ටත්, මෙම දේශපාලන අනාරක්ෂිතතාවයත් මෙම රාජ්‍ය බිඳ වැට්ටීම සඳහා ඕනෑම වේලාවක කුමන්ත්‍රණය කිරීමට ඇති හැකියාවත් පිළිබඳව සමාජය ඇතුලේ හෙළිදරව් කර ගත යුතුයි. ඒ වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඕනෑ. ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වැනි කරුණක්”

SendShareShare
Previous Post

රනිල්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකකම දෙන්නේ නෑ! මහාචාර්ය රංජිත් බණ්ඩාර මාධ්‍යයට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

මුළු ලෝකයම බලා සිටි පිටසක්වළ ජීවීන් දෙදෙනකු මෙක්සිකෝව අල්ලාගනී I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට සමගි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.