රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.Sri Lanka Latest News
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳ දැනුම් දී ඇත.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් විවිධ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර දුරස්ථභාවයක් ඇති වී තිබේ.
එසේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය අවම වීම හේතුවෙන් විවිධ ගැටලු ඇති වීම නිසා සංවර්ධන කටයුතුවලට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන් ද ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමුව ඇත.
ඒ අනුව මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය අතර විධිමත් සම්බන්ධීකරණයක් සිදු කිරීමේ අරමුණ ඇතිව ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
මින් ඉදිරියට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන විසින් දිස්ත්‍රික් මට්ටමින් හෝ ප්‍රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය සහිතව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළයුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිය ලිපිය මඟින් වැඩිදුරටත් නිලධාරීන්ට දැනුම් දී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-13










