• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-මහින්ද-බැසිල් රහස් සාකච්ජාවක: ගත් තීන්දු ‌මෙන්න (රාජ්‍ය රහස්)

March 9, 2020
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 18 mins read
A A
ගෝඨා-මහින්ද-බැසිල් රහස් සාකච්ජාවක: ගත් තීන්දු ‌මෙන්න (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

පසුගිය මාස කිහිපය පුරාම අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව යළිත් දේශපාලනයට පිවිසීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත්, එසේ දේශපාලනයට පැමිණීමෙන් පසු කරන්නට යන දේ පිළිබඳවත් අනාවැකි කිහිපයක්ම පාඨකයන්ට හෙළිදරව් කිරීමට කටයුතු කළෙමු. එහිදී අප ඒවා රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළ කළේ නිකන් ආවට ගියාට හිතලු ඔස්සේ නොව උදාහරණ සහිතව මෛත්‍රි තැන් තැන්වල කී කතාත්, මෛත්‍රි විවිධ තැන්වල ගැසූ දේශපාලන ගේම් පිළිබඳවත් උදාහරණ සහිතව පාඨකයන්ට ගෙනහැර දක්වමිනි. එහිදී වරක් අප කියා සිටියේ මෛත්‍රි මේ සැරසෙන්නේ තමන්ගේ පාඩුවේ දේශපාලනයට පිවිස රටට, ජනතාවට සේවය කිරීමට නොව 2015දී කළාක් මෙන්ම රාජපක්ෂවරුන් සමීපයට ගොස් රාජපක්ෂවරුන් අතර ගැටුමක් ඇතිකොට කොයියම් මොහොතක හෝ තමන්ගේ අතට බලය ලබාගැනීම සඳහා යළිත් ‘ආප්ප තියරිය’ ක්‍රියාත්මක කිරීමට කල්යල් බලමින් බවය. එහිදී රාජපක්ෂවරන් අතර ගැටුම් ඇතිකිරීම සඳහා මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමීපයට යැවූ ආකාරයත්, ඒ හරහා ජනාධිපතිවරයාට ශ්‍රීලනිප සභාපතිකම භාරගන්නා ලෙස යෝජනා කළ ආකාරයත් අපි එහිදී පෙන්වා දුන්නෙමු.

මෛත්‍රී කට වරද්දා ගනී

එසේම මුලින් මුලින් මහ මැතිවරණයට ශ්‍රීලනිපය තනිව තරග කරන බවටත්, පසුව නව සන්ධානයක් යටතේ නව ලකුණකින් පොහොට්ටුව සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් වන බවටත්, ඉනුත් අනතුරුව ඒ කී කතා සියල්ලක්ම වමාරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින්ම තරග කිරීමටත් මෛත්‍රි එකඟ වූයේ මෙසේ පොහොට්ටුවට ඇතුළට රිංගා තම ඉලක්කය වෙත යෑමට බවද අපි මීට සති කිහිපයකට පෙර අනාවරණය කර සිටියෙමු. එසේ නව සන්ධානයේ සභාපති ධුරය ලබාගැනීමෙන් පසු මහින්ද අමරවීර මහතාගේ නිවෙසේ ප්‍රිය සාදයක් පැවැත්වූ ආකාරයද අපි එහිදී රටට කියා සිටියෙමු. ඒ හරහා මෛත්‍රි සිතා සිටියේ දැන් තමන්ට පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට ඇත්තේ තවත් පියවර කිහිපයක් පමණක් යැයි කියාය.
කෙසේ වෙතත් රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප කළ අනාවරණයන් සියල්ල සහ අප කී අනාවැකි සියල්ල සත්‍ය බව පසුගිය සතියේදී මෛත්‍රිගේ කටින්ම එළියට පැන්න කතාවකින් හොඳහැටි තහවුරු විය. මෛත්‍රි මේ කතාව කළේ ඉදිරි මහ මැතිවරණයේ තම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කදුරුවෙල ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී මෛත්‍රි දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන් 2015 දී මහින්ද ළඟ සිට මහින්දගෙන් බලය ඩැහැගත් ආකාරයත්, යළි 2020 දී මහින්දගේ සන්ධානයට රිංගා මහින්දගෙන් බලය ඩැහැගන්නා ආකාරයත් අනියමින් කියැවෙන කතාවක් උදාහරණ සහිතවම කියැවිණ. එහිදී මෛත්‍රි කියා සිටියේ මෙවැන්නකි.

පළමු ප්‍රහාරය රොෂාන්ගෙන්

“මම මේ ළඟදි එද්දි අපූරු සිදුවීමක් දැක්කා. දියකාවෙක් මාළුවෙක් අල්ලගෙන හොටේ තියාගෙන ගලක් උඩට ගිහිල්ල කන්න ලෑස්ති වෙනවා. දියකාව ඒ මාළුව කන්න යද්දිම උඩින් ආපු උකුස්සෙක් එක පාරටම පහත් වෙලා දියකාවගෙ කටේ තිබ්බ මාළුව ඩැහැගෙන අරන් ගියා. අපිත් ගහන්න ඕනෙ අන්න ඒ වගේ උකුසු ගැහිල්ලක්. අපිත් හරියට වෙලාවට ඒ ගැහිල්ල ගහන්න සූදානම්. දැන් මේ පොළොන්නරුවට රාජ්‍ය භීෂණයක් ඇවිල්ලයි තියෙන්නෙ. මහ ඡන්දෙන් පස්සෙ ඒ රාජ්‍ය භීෂණයට තිත තියන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම මම ජනාධිපති වෙලා ඉඳිද්දි පොළොන්නරුවට වකුගඩු රෝහලක් ගෙනාවා. මේක චීනෙන් දුන්නෙ මට. දැන් මෙහෙ ඉන්න සමහරු ඒකෙ රස්සාවලට දාන්න ඇප්ලිකේෂන් බෙදනවා. මම මේ අයට කියන්න කැමැතියි අනුන්ගෙ කූඩුවල බිත්තර දාන්න ලෑස්ති වෙන්න එපා කියලා. මේ ඡන්දෙන් පස්සෙ මේ වකුගඩු රෝහලේ ඉතිරි වැඩ ටික ඉවර කරන්නත් මම ලෑස්තියි” යන්න එහිදී මෛත්‍රිපාල කියා සිටි කතාව විය.
මෛත්‍රිගේ මේ කතාවත් සමඟ එතෙක් නිහඬව සිටි පොහොට්ටුව දෙබරෙට ගලක් ගැසූ පරිද්දෙන් ඇවිස්සී යන ආකාරයක් දැකගන්නට ලැබිණි. මෛත්‍රිගේ සැබෑ මුහුණුවර මේ උකුසු කතාව හරහා එළියට පැනීමත් සමඟ මුලින්ම මෛත්‍රිට එරෙහිව ප්‍රහාරය එල්ල කිරීම ආරම්භ කළේ පොළොන්නරුවේම පොහොට්ටු ප්‍රබලයා වන රොෂාන් රණසිංහය. රොෂාන් ප්‍රසිද්ධියේම මෛත්‍රිට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් කියා සිටියේ මෛත්‍රිට රාජපක්ෂවරුන් විසින් සැදූ පොහොට්ටුව නමැති කූඩුවේ බිත්තර දැමීමට අවශ්‍ය නැති බවත්, මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් හෝ වෙන ඕනෑම පක්ෂයකින් තරග වැදී ජයග්‍රහණය කර පෙන්විය යුතු බවත්ය. එමෙන්ම පොහොට්ටුවෙන් මෛත්‍රිට නාමයෝජනා ලබානොදිය යුතු බවද එහිදී රොෂාන් කියා සිටියේය.

විමල්-ප්‍රසන්නත් ගැහිල්ල අරඹයි

මීට අමතරව විමල් වීරවංශද, ප්‍රසන්න රණතුංගද පසුගිය සතියේ මෛත්‍රිපාල ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ. එහිදී විමල් මෛත්‍රිට චෝදනා කළේ පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රි භාරගත යුතු බවත්, විශාල ජීවිත හානියක් වූ එම සිදුවීමේ සාපයෙන් ගැලවීමට මෛත්‍රිට නොහැකි බවත්ය. එමෙන්ම ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ ප්‍රසිද්ධියේම කියා සිටියේ 2015 මෛත්‍රිපාල මහින්දත් එක්ක එකට සිට ආප්ප කා කළ ජඩ වැඬේම මෙවරද සිදුකිරීමට සූදානම් වනවා යැයි කියාය. ඒ නිසා මෛත්‍රිට පමණක් නොව මෛත්‍රිට ගෑවුණු කිසිවකුට හෝ පොහොට්ටුවේ පාක්ෂිකයන් ඡන්දය ලබාදිය යුතු නැති බවද ප්‍රසන්න එහිදී කියා සිටියේය. ඒ හරහා නොකියා ප්‍රසන්න කියා සිටියේ පොහොට්ටු ලැයිස්තුවෙන් එන ශ්‍රීලංකාකාරයන් සියල්ලම පරාජය කොට ගෙදර යැවීමට කටයුතු කළ යුතු යැයි කියාය.

දැන්වීම් සියල්ල චතුරිකා දුව බාර අරන්

මේ ආකාරයට උකුසු කතාවක් කියන්නට ගොස් පොහොට්ටුවෙන් නාගත් මෛත්‍රි ඒ රස්නය පිටම සිදුකළ තවත් එක්තරා විශේෂ කටයුත්තක් නිසා තම පක්ෂයේම දැඩි විවේචනයට ලක්වනු දැකගත හැකි විය. ඊට හේතු වූයේ මෛත්‍රි ශ්‍රීලනිපයේ සභාපතිවරයා වුවද, පක්ෂයේ කිසිදු ලකුණක් හෝ පක්ෂය ගැන කිසිදු වචනයක් හෝ ශ්‍රීලනිප අපේක්ෂකයන් ගැන කිසිදු සඳහනක් හෝ නොමැතිව තමන් ගැන පමණක් සඳහන් කර ගනිමින් සියලුම පුවත්පත්වල සම්පූර්ණ පිටුවක දැන්වීමක් පලකිරීමට පියවර ගෙන තිබීමය. ‘පොළොන්නරුව ගොවි සංවිධානය’ යන නමින් යුතුව ලක්ෂ 30කට අධික මුදලක් ගෙවා මෙම දැන්වීම පලකිරීමත් සමඟ මුලින්ම දැඩි කලබලයට පත්වූයේ වෙන කවුරුවත් නොව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ය. ඒ අනුව එම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පක්ෂ මහලේකම්වරයා වූ දයාසිරිට කතාකොට මෙම දැන්වීම පිළිබඳව දිගින් දිගටම විමසද්දී අසරණ වුණු දයාසිරි ඔවුන්ට කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, අවම වශයෙන් මෛත්‍රි එවැනි දැන්වීමක් පළකරන බවක් තමන්ට හෝ නොදැන්වූ බවත්ය.
කෙසේ වෙතත් මෛත්‍රිගේ රුවින් යුතුව මෙසේ රුපියල් ලක්ෂ 30කට අධික මිලක් ගෙවා පුවත්පත්වල දැන්වීම් පල කිරීමට කටයුතු කළ පොළොන්නරුවේ ගොවි සංවිධානය පිළිබඳව පසුව අපිද සොයා බැලීමට කටයුතු කළෙමු. ඊට හේතු වූයේ දැන්වීම්වලට මිලියන ගණන් ගෙවිය හැකි ඉතා ධනවත් ගොවි සංවිධානයක් පොළොන්නරුවේ තිබිය හැකිද යන්න පිළිබඳව මතුවූ සැකය නිසාය. ඒ අනුව අප කළ සොයාබැලීමේදී අපට අනාවරණය වූයේ මෛත්‍රිගේ හිතවතකු විසින් එම දැන්වීම් පුවත්පත් ආයතනවලට ලබාදී ඇති බවත්, මෛත්‍රිගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් මෛත්‍රිගේ සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කරන බවත්ය. ඒ අනුව ගොවි සංවිධාන කතාව බොරුවක් බව අපට අනාවරණය විය.

දයාසිරිත් අමාරුවේ වැටෙයි

ඊට අමතරව මෛත්‍රිගේ උකුසු කතාව නිසා පොහොට්ටුවෙන් ඡන්දයට ඉදිරිපත් වීමට සිටි ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පමණක් නොව ආසන සංවිධායකවරුන් පවා දයාසිරිට කතාකොට කියා සිටියේ මෛත්‍රිගේ මේ කතාව නිසා දැන් කිසිදු පොහොට්ටුවේ සාමාජිකයකු තමන්ට ඡන්දය දීමට කටයුතු නොකරන බවත්, අවම වශයෙන් ශ්‍රීලනිපයේ හත්, අට දෙනකුට හෝ පාර්ලිමේන්තු යෑමට තිබූ අවස්ථාවක් මෛත්‍රිගේ මේ උකුසු කතාව නිසා නැතිවී ගිය බවත්ය. මේ තත්ත්වය යටතේ මෛත්‍රිගේ මේ උකුසු කතාව නිසා පොහොට්ටුවේ ප්‍රබලයන්ද කලබලයටත්, කෝපටයත් පත්වී ඇති බවක් දයාසිරිගේ කනට වැටී තිබිණ. ඒ අනුව දයාසිරි කළේ මෛත්‍රිටද නොදන්වා මහින්දව මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. එහිදී මෛත්‍රි කළ කතාව සම්බන්ධයෙන් සිය කනගාටුව මහින්දට පළ කළ දයාසිරි මෛත්‍රිගේ එම කතාව නිසා ශ්‍රීලංකාකාරයන්ද දැඩි කලබලයට පත්ව සිටින බව මහින්දට දැනුම් දී සිටියේය.

බැසිල් ශ්‍රීලනිප ලයිස්තුව ප්‍රතික්ෂේප කරයි

මේ අතර මහ මැතිවරණයට ප්‍රකාශයට පත්කර ඇති හෙයින් මේ දිනවල පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ නාමයෝජනා ලැයිස්තු සකස් කරන ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව පසුගිය සතියේදී පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා මෙන්ම සමස්ත මැතිවරණයම මෙහෙයවන මහ මොළකරුවා වන බැසිල් රාජපක්ෂ මහතා සන්ධානයේ සියලුම පක්ෂවලට දැනුම්දීමක් කර සිටියේ තමන්ගේ නාමයෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන්න යැයි කියාය. එම දැනුම්දීමට අනුව විමල් වීරවංශ, සම සමාජ පක්ෂය මෙන්ම ශ්‍රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකරද තමන්ගේ නාමයෝජනා ලැයිස්තුව බැසිල්ට ලබාදීම සඳහා රැගෙන ගොස් සිටි ආකාරයක් දැකගත හැකි විය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අනෙකුත් සියලුම පක්ෂවල නාමයෝජනා ලැයිස්තු භාරගත් බැසිල් දයාසිරි රැගෙන ආ ශ්‍රීලනිප නාමයෝජනා ලැයිස්තුව පමණක් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමය. එහිදී බැසිල් දයාසිරිට කියා සිටියේ එම නාමයෝජනා ලැයිස්තුව සම්බන්ධයෙන් අවසන් මොහොතේ සලකා බැලීමට පුළුවන් යැයි කියාය. නමුත් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත්තේ මේ සිදුවීම හරහා බැසිල් ශ්‍රීලනිපයට රතු එළියක් දැල්වූ බවකි.

මෛත්‍රි ‌පොහොට්ටුවේ ජාතික ලයිස්තුවට

මීට අමතරව මෛත්‍රිගේ මේ උකුසු කතාවෙන් පසුව පසුගිය සතියේ තවත් එක් විශේෂ පණිවුඩයක්ද පොහොට්ටුව පාර්ශ්වයෙන් ශ්‍රීලනිපයට ලැබිණ. ඒ, මෛත්‍රිට පොළොන්නරුවෙන් තරග නොකොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කරන්න යැයි කියාය. ඊට හේතු වශයෙන් පොහොට්ටුව දැනුම්දී තිබුණේ උකුසු කතාව නිසා මේ වන විට පොහොට්ටුව ඇතුළේ මෛත්‍රිපාලට එරෙහිව විශාල විරෝධයක් ගොඩනැඟෙමින් පවතින බවත්, එසේ තිබියදී යම් හෙයකින් මෛත්‍රි පොහොට්ටුව ලැයිස්තුව යටතේ තරග කළහොත් අපේක්ෂකයන් හා පාක්ෂිකයන් අතරේ බරපතළ ගැටලු මතුවීම නොවැළැක්විය හැකි බවත්ය.
ඒ අනුව ශ්‍රීලනිපයේ එක්තරා විශේෂ නියෝජිතයකු පොහොට්ටුවේ මෙම පණිවුඩය රැගෙන මෛත්‍රි මුණගැසීමට ගොස් ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසු මෛත්‍රි කෝපයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව මෛත්‍රි කියා සිටියේ තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියහොත් දේශපාලන වශයෙන් විනාශ වී යනු ඇති බවත්, පරදින්නට හෝ තමන් පොළොන්නරුවෙන් තරග කරන බවත්ය. දයාසිරි බැසිල්ට ලබාදීම සඳහා රැගෙන ගිය ශ්‍රීලනිප නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වූයේ මෛත්‍රි ලබාදුන් මේ උත්තරයෙන් පසුවය.

ගෝඨා-මහින්ද-බැසිල් රහස් සාකච්ජාව

මේ සියල්ල අතරවාරයේ පසුගිය සතියේ සන්ධානයේ නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, බැසිල් රාජපක්ෂ මහතාත් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඉතා දීර්ඝ සාකච්ඡාවක් වූ මෙහිදී නාමයෝජනා ලබාදීම, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකිරීම, ඡන්ද සටන මෙහෙයවන ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගැනීම සඳහා ගෝඨාභයද මැතිවරණ වේදිකාවට ගොඩවන බවට දැනුම්දීමය. මීට අමතරව නළු, නිළියන්ට, ක්‍රීඩකයන්ට මෙන්ම දූෂණ චෝදනා ඇති දේශපාලකයන්ට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන්ද තිදෙනා අතර දීර්ඝව කරුණු සාකච්ඡා විය. ගෝඨාභය බලයට පත්වූයේ දූෂණ චෝදනා සහිත පුද්ගලයන් සහ විවිධ අපචාරවලට ලක්වූවන්ට නාමයෝජනා නොදෙන බවට පොරොන්දුවක් දෙමින් නිසා යම් හෙයකින් එවැනි පුද්ගලයන් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

අනවශ්‍ය අය අවසන් ‌‌මොහොතේදී එළියට

ඒ අනුව අවසානයේ තීන්දු වූයේ දුන් පොරොන්දුවලට අනුව ජනතා බලාපොරොත්තු ඉෂ්ට වන ආකාරයෙන් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමටය. එමෙන්ම කුමන පක්ෂයකින්, කුමන ආකාරයේ නාමයෝජනා ඉදිරිපත් කළද අවසානයේ සියල්ල පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායමක් හරහා නැවැත අධ්‍යයනය කොට නිසි පුද්ගලයන්ට පමණක් නාමයෝජනා ලබාදීමටද එහිදී තීන්දු විය. ඒ අනුව පෙනෙන්නට ඇත්තේ කවුරු කුමන කතා කීවද අවසන් මොහොතේදී ප්‍රසිද්ධ යැයි කියන බොහෝදෙනකුගේ නම් අදාළ ලැයිස්තුවලින් කැපී යාමේ තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇති බවකි.
මෙම තීන්දුව ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ඊළඟ තීන්දුව ගැනීමට කටයුතු කළේය. ඒ පොහොට්ටුව ලකුණ යටතේ පොදුජන පෙරමුණ ඉදිරි මහමැතිවරණයට තර ග වදින බවට වූ ලිපිය එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අස්සනින් යුතුව මැතිවරණ කොමිසම වෙත යොමු කිරීමය. මේ හරහාද අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ කලින් කළ අනාවරණයක් සත්‍ය බව රටට ඔප්පු විය. ඒ මෛත්‍රිපාලලා සහ ශ්‍රීලනිපය අලුත් සන්ධානයක් බිහිකොට ඒ යටතේ තරගවදින බව රටට ඇහෙන්නට කීවද ඔවුන් තරග වදින්නේ සන්ධානයකින් නොව පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් බවය. එනම් අප කී පරිදිම මෙම නව සන්ධානය නාමික සන්ධානයක් බව රටට හෙළිදරව් විය.

මෙතෙක් කල් හංගපු පාස්කු ‌බෝම්බයේ රහස් වාර්තාව

මේ අතර පසුගිය සතියේ අපි මෛත්‍රි සම්බන්ධයෙන් මෙතෙක් රටට හෙළි නොවුණු තවත් විශේෂ කරුණක්ද හෙළි කිරීමට පියවර ගත්තෙමු. ඒ ඉකුත් අප්‍රේල් 21 සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයේදී මෛත්‍රි හැසිරී ඇති වගකීම් විරහිත ආකාරය පිළිබඳව සහ බෝම්බ ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත් මෛත්‍රි ඒ සම්බන්ධයෙන් කිසියම් උනන්දුවක් දක්වා නොතිබීම පිළිබඳවය.
ජනාධිපති තනතුරේ රැඳී සිටියදී නම් මෛත්‍රි එකල හැසිරුණේ තමන් මහා පිරිසුදු, වංචා, දූෂණයෙන් තොර පරමාදර්ශී චරිතයක් ලෙස පෙන්වමින් අනෙකුත් සියලුම දෙනා හොරු, මිනීමරුවන්, කුඩුකාරයන් වශයෙන් හඳුන්වා දෙමින්ය. ප්‍රසිද්ධ වේදිකාවේ මයික්‍රෆෝනයක් අතට ගත් ගමන් මෛත්‍රි එදා රාජපක්ෂවරුන්ටත්, පසුව එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ටත් පහර පිට පහර දුන්නේ ඔවුන් හොර, දූෂිත, මිනීමරු, තක්කඩියන් යැයි කියාය. මේ රටේ සියලුම මාධ්‍යයද මෛත්‍රි කී මේ කතා කිසිදු වගවිභාගයකින් තොරව උදේ, දවල්, රෑ ප්‍රචාරය කළා විනා කිසිම දවසක මෛත්‍රිගේ වැරැද්දක් පෙන්වා දීමට කටයුතු කළේ නැත. ඊට හේතුවී තිබුණේ සිය ආයතන හරහා මෛත්‍රි මාධ්‍ය ආයතනවලට විශාල වශයෙන් දැන්වීම් ලබාදී තිබීමය. මේ නිසා මෛත්‍රිගේ ඇත්ත තත්ත්වය සහ සැබෑ ස්වරූපය මේ රටේ ජනතාවට කිසිදු අවස්ථාවක දැකගන්නට ලැබුණේ නැත. එකල ඇතැම් සමාජ මාධ්‍ය ජාලා පවා අනුගමනය කළේ මෛත්‍රිට පහර නොදී මෛත්‍රිගේ විරුද්ධවාදීන්ට පහර දී දුර්වල කිරීමේ ප්‍රතිපත්තියකි. එකල පමණක් නොව අදද ඇතැම් මාධ්‍ය තවමත් මෛත්‍රි ගැන කට හොල්ලන්නේ නැත. මේ නිසා මෛත්‍රි සම්බන්ධ කිසිදු වැරැද්දක් අදටත් එළියට එන්නේ නැත.
ඊට හොඳම උදාහරණය මිනිස් ජීවිත 300කට අධික ගණනක් බිලි ගනිමින් ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදුවූ මරාගෙන මැරෙන පාස්කු බෝම්බ ප්‍රහාරයය. ප්‍රහාරය සිදුවන විට කාටත් හොරා මෛත්‍රි සිංගප්පූරුවට ගොස් සිටි අතර යළි ලංකාවට පැමිණියේ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුවය. නමුත්, සිංගප්පූරුවේ සිටම ත්‍රිපුද්ගල කොමිසමක් පත්කළ මෛත්‍රී ඒ පිළිබඳව සොයාබලන බවද කියා සිටියේය. කෙසේ වෙතත් කොමිෂන් වාර්තාව පැමිණීමෙන් පසුව ප්‍රහාරයේ වැරැද්ද හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා පිටින් යැවූ මෛත්‍රි ඔවුන් හිරේ යවා තමන් සුදනා බව රටට පෙන්නුවේය.

ෆොන්සේකා සාධාරණය ඉටු කරයි

නමුත්, ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමත් සමඟ තත්ත්වය තරමක් වෙනස් වන ලකුණු පෙනෙන්නට තිබිණ. එහිදී කාරක සභා සාමාජිකයන් සියලුම දෙනා කැඳවා සාක්ෂි විමසන ආකාරය රටටම දැකගන්නට ලැබිණ. මෛත්‍රිගෙන්ද සාක්ෂි ලබාගත් බවක් කියැවුණද එය රටට හෙළි නොවුණේ මෛත්‍රිගේ ගෙදරට ගොස් අදාළ සාක්ෂිය ලබාගැනීමට ඔවුන් කටයුතු කර තිබීම නිසාය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ අවසන් වාර්තාවෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් නම්, ගම් සහිතව රටට හෙළිදරව් කරනු ඇතැයි කියාය. නමුත් සිදුව තිබුණේ එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රිව තරහ කරගත නොහැකි නිසා සියලු දෙනාම එක්ව දියාරු වාර්තාවක් රටට ඉදිරිපත් කිරීමය.
මේ ආකාරයට සියලුම සාමාජිකයන් ඇපෙන් ගැලවීමට දියාරු වාර්තාවක් රටට ඉදිරිපත් කරද්දී කොන්ද කෙළින් තියාගත් එක් අයකු පමණක් මේ කමිටුවේ සිටිනු දැකගන්නට ලැබිණ. ඒ වෙන කවුරුවත් නොව හිටපු යුද හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය. කමිටුවේදී සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී සියලු දෙනාම සිදු කළ බොරුව, ඔවුන් රටට පෙන්වූ වෙස්මුහුණු සියල්ල ගලවා දැමීමට ෆොන්සේකා කටුයතු කළේය. අනෙක් සියලු දෙනාම මෛත්‍රිව අතගාද්දී ෆොන්සේකා පමණක් මෛත්‍රිගේ මේ වෙස් මුහුණ ගලවා දැමීමට කටයුතු කළේ අවසන් වාර්තාවට තමන්ගේ නිර්දේශ සහ නිගමන ඇතුළත් පිටු 50ක වාර්තාවක් ඇතුළත් කිරීම මඟින්ය. එම පිටු 50 වාර්තාවෙන් ෆොන්සේකා මේ ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාගේම නම් ගම් හෙළිදරව් කළේ ලක්ෂ 900ක් පමණ ජනතා මුදල් වැය කරමින් සකස් කළ මේ වාර්තාවට සාධාරණය ඉටුවීම සඳහාය. නමුත් කනගාටුවට කරුණ වූයේ මෛත්‍රිගේ රෙදි අස්සේ තවමත් සැඟවී සිටින මෙරට කිසිදු මාධ්‍යයක් අවම වශයෙන් ෆොන්සේකා මෙවැනි විශේෂ වාර්තාවක් ඇමුණුමක් වශයෙන් අවසන් වාර්තාවට එක්කොට ඇති බවක් හෝ එහි ඇති කිසිදු කරුණක් හෝ රටට හෙළිදරව් කිරීමට කටයුතු නොකිරීමය. එසේ තිබියදී අප පුවත්පත පමණක් පසුගිය සතියේදී ෆොන්සේකා මෙම රහස් වාර්තාව මඟින් අනාවරණය කර තිබූ කරුණු රටට හෙළිදරව් කිරීම ආරම්භ කළේ මෛත්‍රි සම්බන්ධ පරිච්ඡේදය පළමු වරට රටට හෙළි කරමිනි.

යෝෂිතගේ ‌බොරුව

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා මේ වන විට සිටින්නේ තමන් රාජකාරි කරන නාවික හමුදාවෙන් ඉවත්වීමට සියලු සැලැසුම් සකස් කරය. අප මෙය මීට සති දෙකකට ඉහතදී රාජ්‍ය රහස් තීරය ඔස්සේම අනාවරණය කිරීමට පියවර ගත්තද පසුගිය සතියේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා පුවත් පළකරමින් කියා තිබුණේ යෝෂිත මෙසේ ඉවත් වන්නේ මෙවර මහ මැතිවරණයේදී නැඟෙනහිර පළාතෙන් තරග කිරීමට යැයි කියාය. නමුත් අපට ඇති ආරංචිවලට අනුව යෝෂිත මෙසේ නාවික හමුදාවෙන් ඉවත් වන්නේ මහ මැතිවරණයට තරග වැදීමට නොව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ විශාල චරිතයක් රඟදැක්වීම සඳහාය. ඒ අනුව දැනටමත් නාවික හමුදාවෙන් ඉවත්වීමේ ලිපිය යෝෂිත සූදානම් කර ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් අප කළින් අනාවරණය කළ පරිදිම යෝෂිත මහ මැතිවරණයෙන් පසුව තීන්දු කර ඇත්තේ මහින්දගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස රාජකාරි භාර ගැනීමටය. අප මෙය නැවැත වරක් පළ කරන්නේ යෝෂිතගේ නාවික හමුදාවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පැතිරී යන විවිධ අසත්‍ය කටකතා නිසාය. නමුත් මේ අවස්ථාවේ යෝෂිත දේශපාලනයට නොපැමිණියද නියත වශයෙන්ම ඉදිරි කාලයේදී යෝෂිත දේශපාලනයට පැමිණීමට නියමිතය. යෝෂිත මෙසේ මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රාජකාරි කිරීමට සූදානම් වන්නේත් ඒ සඳහා අවශ්‍ය පරිපාලන දැනුම සහ අත්දැකීම ලබාගැනීම සඳහාය. එමෙන්ම යෝෂිතගේ කේන්දරය පරීක්ෂා කර ඇති පවුලේ ජ්‍යොතිෂවේදීන්ද කියා ඇත්තේ යෝෂිතගේ හඳහන ඉතා ප්‍රබල එකක් යැයි කියාය. ඒ අනුව දැනටමත් යෝෂිත ඒ සැලැසුම් සහගත ඉදිරි ගමන යෑම සඳහා එම ගමනට අවශ්‍ය බොහෝ කරුණු සිය ජීවිතයට එකතු කරගෙන හෙමින් ගමන් කරන ආකාරයක් දැකගන්නට තිබේ.

එජාපය එක තැන පල්වෙයි

සති ගණනක් තිස්සේ දිගින් දිගටම ඇදීගිය එජාප අර්බුදය මේ වනවිට අවසන් වන ආකාරයක් පෙනෙන්නට ඇත්තේ පක්ෂය දෙකඩ වීම හරහාය. ඒ අනුව මේ වන විට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය අලියා ලකුණ යටතේ තරග වැදීමටත්, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම සමගි ජන බලවේගය යටතේ දුරකතනයෙන් තරග වැදීමටත් මේ වන විට තීන්දු කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය ඉරිදා (01දා) දහවල් වන විට එජාපය දෙපිළ නොබෙදී හංසයා ලකුණ යටතේ තරග කිරීමට එකඟතාවක් ඇතිකරගෙන තිබුණද අවසන් මොහොතේදී නැවැත වතාවක් සිය තීන්දුව වෙනස් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුණේ අලියා ලකුණ යටතේ එජාපයෙන්ම මහ මැතිවරණයට තරග වැදීමය. එම තීන්දුව එදින රාත්‍රි 7.00 පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරීමණඩල රැස්වීමට දැනුම්දීමටත්, එය සම්මත කර ගැනීමටත් ඒ අනුව රනිල් සැලැසුම් කර තිබිණ.
නමුත් දෙපාර්ශ්වය අතර යම් එකඟතාවක් ඇතිව තිබියදීත් රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට යන බවක් ඉරිදා සවස් වරුව වන විටම සජිත් පිලටද වාර්තා වී තිබිණි. එම නිසා වහාම විපක්ෂ නායක කාර්යාලයේ රැස්වූ පිරිස මේ සම්බන්ධයෙන් ගත හැකි පියවර මොනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඒ අනුව සජිත් ඇතුළු කණ්ඩායම තීන්දු කළේ එවැනි යෝජනාවක් පැමිණියහොත් ඊට විරෝධය පළ කිරීමටත්, කලින් සැලැසුම් කර තිබූ පරිදිම සමගි ජන බලවේගය යටතේ වෙනත් ලකුණකින් තරග වැදීමටත්ය.

‘ඕයි’ කියලා ජංජාලයක්

ඒ අනුව රාත්‍රි 7.00ට ආරම්භ වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පෙර සැලසුම් කරගත් ආකාරයටම රනිල්ගේ පාර්ශ්වය නියෝජනය කළ වජිර, ආශු, අකිල, නවීන්, රංගේ, ජෝන් ඇතුළු කණ්ඩායම කියා සිටියේ අලියා ලකුණ යටතේ මහමැතිවරණයට තරග වැදීමට කටයුතු කළ යුතු යැයි කියාය. නමුත් සජිත්, රංජිත්, තලතා, සුජීව, මලික්, කබීර් ඇතුළු කණ්ඩායම දැඩිව පෙන්වා දුන්නේ හංසයා ලකුණ යටතේ තරග කිරීමට ඊට පෙර පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගත් බවත්, ඒ අනුව කටයුතු කළයුතු බවත්ය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විවිධ වාද-විවාද මතුවූ අතර, අවසානයේ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට රනිල්ට ඉකුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම් වාර්තා පවා ගෙන්වා ගැනීමට සිදුවිය.
ඉන් අනතුරුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාව මතුවූ අතර, ඊටද රනිල්ගේ පාර්ශ්වය දැඩිව විරෝධය පළකරන්නට වූයේ එය සන්ධානයක ව්‍යවස්ථාවකට වඩා පක්‍ෂයක ව්‍යවස්ථාවක් බව කියමිනි. මේ ආකාරයට විවිධ නීති තර්ක ඉදිරිපත් කරමින් රනිල් පාර්ශ්වය කටයුතු කිරීම නිසා මේ හදන්නේ සන්ධානය කඩාකප්පල් කිරීමට බව තේරුම් ගත් සජිත් පාර්ශ්වය නිහඬ වන ආකාරයක් දැනගන්නට ලැබිණි.
නමුත් රැස්වීම උණුසුම් වූයේ වෘත්තීය සමිති නියෝජිත සුනිල් සිල්වා නැඟිට අදහස් ප්‍රකාශ කිරීමත් සමඟය. සුනිල් විසින් දැඩිව සජිත් පාර්ශ්වය විවේචනය කරද්දී ඔහුගේ නමින් එක් අවස්ථාවක ‘ඕයි’ යන වචනය කියැවිණි. ඒත් සමඟම දැඩි කෝපයට පත්වූ සජිත් පිල පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ට එසේ ආමන්ත්‍රණය කිරීම වැරැදි බව කියමින් ඊට විරෝධය පළ කිරීම නිසා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය. ඒ අනුව සිද්ධිය සමථයකට පත්වූයේ අවසානයේදී සුනිල් සිල්වා ඊට සමාව ඉල්ලා කනගාටුව පළකිරීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් රැස්වීම තවදුරටත් වාද-විවාද මැද දිගින් දිගටම ඇදී ගිය අතර, එය අවසන් වූයේ සජිත් කළ විශේෂ ප්‍රකාශයත් සමඟිනි. එහිදී සජිත් කියා සිටියේ අලියා ලකුණ තම සන්ධානයට ලබා දීමට නොහැකි නම් අලියා ලකුණ යටතේ රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති අපේක්‍ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යන ලෙසටය. එසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගිය අතර, ඒ සමඟම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් තීන්දුවක් නොමැතිවම අවසන් වන ආකාරයක් දැකගත හැකි විය.

රනිල් කරූව ඉදිරියට දමයි

ඉන් අනතුරුව රනිල් පිල වෙනම රැස්වී ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී පිරිස රනිල්ගෙන් ඉල්ලා සිටියේ අගමැති අපේක්‍ෂකත්වය භාරගෙන මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ලෙසටය. නමුත් රනිල්ගෙන් එහිදී ආවේ ඔවුන් කිසිසේත්ම නොසිතූ උත්තරයකි.
‘නෑ මම නෙවෙයි අපි කරුව ඉස්සරහට දාලා එයාට අගමැති අපේක්‍ෂකත්වය අරන් කැම්පේන් එක කරන්න කියමු.’ යැයි කී රනිල් කරුව එකඟ කරගන්නා කටයුත්ත පිරිසට පැවරූහ. ඒ අනුව රවී – දයා – නවීන් – අකිල – අර්ජුන – රාජිත කරූගේ නිවෙසට ගියේ ඒ සම්බන්ධයෙන් කරු සමඟ සාකච්ඡා කිරීමටය.
නමුත් මේ සාකච්ඡාවේදී කරු දුන්නේ පිරිස කිසිසේත්ම බලාපොරොත්තුවූ පිළිතුරක් නම් නොවේ. ඒ වනවිටත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් රජයේ මුද්‍රණාලය වෙත යවා තිබීම නිසා කරු කතා කළේ එම කරුණද සිහිපත් කරමිනි.

කරූ රිදෙන්නම ‌දෙයි

‘අන්න දැන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ගැසට් එක ගහන්න යවලයි තියෙන්නෙ. රනිල්ට දැන්ද මාව මතක් වෙලා තියෙන්නේ. මේ අය මුල ඉඳන්ම කළේ බොරුව. කී පාරක් නම් මෙතැනට ඇවිත් මගෙත් එක්ක කතා කළාද මේ ප්‍රශ්නය විසඳන හැටි. කොච්චර නම් තීන්දු තීරණ ගත්තද? හැබැයි ඒ එකක්වත් ක්‍රියාත්මක කළේ නැහැ. මේ අය මේ පක්‍ෂය සෙල්ලමක් කරගෙන. මම අවංකවම හිතාගෙන හිටියේ මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා පක්‍ෂය කැඩෙන එකත් බේරගන්න. ඔක්කොම එකතු කරගෙන මේ පක්‍ෂය ඉස්සරහට අරගෙන යන්න. පහුගිය ජනාධිපතිවරණය වෙලාවෙත් මා ගාවට ඇවිල්ලා මේ විදියටම බොරු කරලා ගියා. ඒ හින්දා දැන් මම කිසිදෙයක් භාරගන්නේ නැහැ කියලා තීන්දු කරලයි තියෙන්නේ. හැබැයි මට දෙනවා නම් මම ගන්නේ සම්පූර්ණ නායකත්වය දෙනවා නම් විතරයි. ඒකත් ගන්නේ රනිල් – සජිත් දෙගොල්ලොම ඇවිත් මගෙන් ඉල්ලීමක් කළොත් විතරයි. එහෙම නැතිව රනිල් කිව්වා කියලා මට මේක ගන්න බැහැ. ඒ සාපෙට මට කරගහන්න බැහැ. එහෙම කරලා යූ.එන්.පී.කාරයන්ගේ වෛරක්කාරයෙක් වෙනවට වඩා හොඳයි මම දේශපාලනයෙන් විශ්‍රාම යන එක…’ යනුවෙන් කී කරු, සාකච්ඡාව එතැනින් අවසන් කිරීමට කටයුතු කළේය.

සජිත් ගමන අරඹයි

මේ අතරවාරයේ තත්ත්වය තරමක් බැරෑරුම් අතට පෙරළෙන ආකාරයක් රනිල්ට වැටහී ගියේ කලින් යොදාගත් පරිදිම සඳුදා (2දා) දිනයේ සජිත් ඇතුළු කණ්ඩායම නෙලුම් පොකුණේ පෙරවරු 10ට සමඟි ජනබලවේගය එළිදැක්වීමේ උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවට වාර්තා වීම නිසාය. ඒත් සමඟම සජිත්ගේ මෙම උත්සවය බකල් කිරීමේ මෙහෙයුමක් සිරිකොතින් දියත් විය. ඒ අනුව සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට සිරිකොතෙන් දැනුම් දීමක් කළේ සඳුදා පෙරවරු 9ට සිරිකොතේ රැස්වීමක් පැවැත්වෙන බවත්, අනිවාර්යයෙන්ම එම රැස්වීමට සහභාගි විය යුතු බවත්, ඊට නොපැමිණ වෙනත් උත්සවවලට සහභාගි වුවහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් බය කරමිනි. මීට අමතරව සඳුදා උදෑසන සිටම ආශු මාරසිංහ සියලුම මන්ත්‍රිවරුන්ට සහ කණ්ඩායම්වලට වට්ස්ඇප් පණිවුඩ තියමින් කියා සිටියේ සජිත්ගේ සමගි බලවේගය නීති විරෝධී එකක් බවත්, එජාප ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එය පිහිටුවීමට කටයුතු කළ බවත්ය. එය තහවුරු කිරීමට ව්‍යවස්ථාවේ පිටපත් පවා යොමු කිරීමට ආශු පියවර ගෙන තිබිණි.

ආශු බය කරද්දී අජිත් උත්තර ‌‌දෙයි

‘එක්සත් ජාතික පක්‍ෂයේ සියලුම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට රතු නිවේදනයක්. එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් මැතිවරණයට. අද පැවැත්වෙන නෙලුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ උත්සවයට එක්සත් ජාතික පක්‍ෂය සහභාගි නොවේ. ඒ අනුව ඔබ අද සහභාගි වීම තුළ ඔබේ මන්ත්‍රි ධුරය අනතුරේ වැටේ…’ යනුවෙන් ආශු එහිදී අනතුරු ඇඟවීමක් කර තිබිණි.
නමුත් මෙහිදී දැනගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නීතිඥවරයකු වූ අජිත් පී. පෙරේරා ඊට වට්ස්ඇප් මාර්ගයෙන්ම පිළිතුරු ලබාදී තිබීමය.
‘බොරු කියන්න එපා ආශු. බය කරලා මන්ත්‍රීවරුන් තියාගන්න බැහැ.’ යනුවෙන් අජිත් පෙරේරා දුන් පිළිතුරේ සඳහන්ව තිබිණි.

ඔක්කොම ‌නෙළුම්පොකුණේ

කෙසේ වෙතත් මේ සියලු බාධක මැද අති විශාල ජනකායක් මධ්‍යයේ ඉතා සාර්ථක ලෙස නෙලුම් පොකුණ රඟහලේදී සමඟි ජනබලවේගය බිහිකිරීමට සජිත් ඇතුළු පිරිස සමත් වූහ. මෙහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සුළු පිරිසක් ඇරෙන්නට අනෙක් සියලුම මන්ත්‍රිවරු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු ආසන සංවිධායකවරු සහ පාක්‍ෂිකයන් විශාල පිරිසක් ඊට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය. ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුද්දීන්, පලනි දිගම්බරම්, රාමක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන් යන සියලුම පක්‍ෂ නායකයන් සජිත් සමඟ මෙහිදී සන්ධානයට එක්වන බවට ගිවිසුම් අස්සන් කළහ. මේ ආකාරයට සජිත්ගේ නෙලුම් පොකුණේ උත්සවය අති සාර්ථක අයුරින් පැවැත්වෙද්දී රනිල් පෙරවරු 9ට රනිල් සිරිකොතට කැඳවා තිබූ රැස්වීමට පළාත් පාලන මන්ත්‍රිවරුන් 2000කට අධික ප්‍රමාණයකින් පැමිණ තිබුණේ 60 දෙනකුටත් අඩු පිරිසක් වීම විශේෂ සිදුවීමක් විය. එයින්ද කොටසක් කියා සිටියේ සජිත් සමඟ අලුත් ගමනක් යෑමට එජාපය සූදානම් විය යුතු යැයි කියාය.

රන්ජන්ගේ ඇස්වල කදුලු

මෙහිදී තවත් එක් විශේෂ සිදුවීමක් දැකගන්නට ලැබිණි. ඒ කලක් රනිල් සමඟ සමීපව කටයුතු කළ අයකු ලෙස ප්‍රකට, ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය නිසා රිමාන්ඞ් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි රන්ජන් රාමනායකද නෙලුම් පොකුණේ සජිත්ගේ උත්සවයට එක්ව සිටීමය. කලකට පසු රන්ජන්ගේ පළමු කලඑළි බැසීම නිසා කිසියම් කුකුසකින් රන්ජන් ඊට එක්වුවද ඔහුද පුදුමයට පත්කරමින් පැමිණ සිටි දහස් සංඛ්‍යාත පාක්‍ෂිකයන්ගෙන් රන්ජන්ට ලැබුණේ ඉතා ඉහළ උණුසුම් ප්‍රතිචාරයකි. එම ප්‍රතිචාරය කෙතරම් උණුසුම් වූවාද කියනවා නම් රන්ජන්ට නෙලුම් පොකුණෙන් පිටතට පැමිණ පැයක් පමණ යනතෙක් එම ස්ථානයෙන් පිටව යෑමට නොලැබුණේ පාක්‍ෂිකයන් ඔහුව වටකරගෙන සෙල්ෆි ගැසීම්ටත්, සුබපැතුම් එක්කිරීමටත් කටයුතු කිරීම නිසාය. එය කෙතරම් සංවේදී අවස්ථාවක් වූවාද කියනවා නම් එක් අවස්ථාවක ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ එජාප ප්‍රබල පාක්‍ෂික කාන්තාවක් රන්ජන් සමඟ සංවේදීව කළ අදහස් දැක්වීමේදී රන්ජන්ගේ ඇස්වලට කඳුළු ආ ආකාරයක්ද දැකගත හැකි විය.

කරු යළි එළියට ගනී

මේ ආකාරයට නොසිතූ අයුරින් සජිත්ගේ පක්‍ෂය එළිදැක්වීමේ කටයුතු සාර්ථක වීමත් සමඟ දැඩි කලබලයට පත්වූ රනිල් – සජිත් පිල සහ කරු සමඟ නැවැත සාකච්ඡා කොට එකඟතාවක් ඇතිකර ගැනීමේ කටයුත්ත රාජිතට පැවරීමට කටයුතු කළේය. ඒ අනුව රනිල් පිල සමඟ සාකච්ඡාවකට එක්වූ රාජිත සජිත්ව හා කරුට ලබා දිය හැකි බලතල පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඒ අනුව රනිල් පාර්ශ්වය රාජිතට කියා සිටියේ නායකත්වය සමඟ බලතල රැසක්ද කරුට පැවරිය හැකි යැයි කියාය.
කෙසේ වෙතත් මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ සජිත් කළේ අඟහරුවාදා පෙරවරු 10ට කරුව මුණගැසී සාකච්ඡා කිරීම සඳහා රංජිත් මද්දුම බණ්ඩාර පිටත්කොට යැවීමය. රංජිත් එහිදී කරු මුණගැසී කියා සිටියේ පක්‍ෂ නායකත්වය කරුට ලබා දෙන්නේ නම් තම කණ්ඩායම ඊට එකඟ බවත්, රනිල්ට ජ්‍යෙෂ්ඨ නායක වැනි තනතුරක් ලබාදී නව ලේකම්වරයකු එක්සත් ජාතික පක්‍ෂයට පත්කොට කරු යටතේ වැඩ කිරීමට සජිත් ඇතුලු සියලු දෙනාම එකඟ බවත්ය

සජිත් මේ පණිවුඩයටම තමා සමඟ එදින සාකච්ඡාවට පැමිණි රාජිතටද ලබා දුන්නේය. තමා එදා සිටම කරුට විරුද්ධ නැති බව මෙහිදී කියා සිටි සජිත්, රනිල් සහ කරු සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරන ලෙසද රාජිතට දැනුම් දී සිටියේය. කෙසේ වෙතත් රනිල් නායකත්වය අත්හැරිය යුතු බව මෙහිදී දැඩිම කියා සිටි සජිත් තමන්ද පක්‍ෂය කඩාගෙන එළියට යෑමට අකැමැති බව රාජිතට කියා සිටියේය.
ඒ අනුව රාජිත ඉන්පසු මුණගැසුණේ කරුවය. කරුද එහිදී රාජිතට පෙන්වා දුන්නේ නායකත්වය භාර දීමට සූදානම් නම් පමණක් තමන් මෙම ප්‍රශ්නයට මැදිහත් වී පක්‍ෂය එක්සත් කිරීමට සූදානම් බවත්, එසේ නොමැති නම් තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කොට පලක් නොමැති බවත්ය.

නායකත්වය නම් ‌දෙන්නම බෑ

මේ ආකාරයට සජිත් – කරු දෙදෙනා සමඟම රනිල්ගේ කීමට අනුව සාකච්ඡා කොට එකඟතාවකට පැමිණි රාජිත නැවැත වතාවක් රනිල් මුණගැසුණේ මෙම සාකච්ඡාවන්හි ප්‍රගතිය රනිල්ට දැනුම් දීම සඳහාය. එහිදී රාජිත බලාපොරොත්තු වූයේ රනිල්ද නායකත්වය අතහැර බලතල කරුට දී පක්‍ෂය දෙකඩ වීම වළක්වා ගනු ඇතැයි කියාය. නමුත් රනිල් එහිදී ඉන්නේ රාජිත බලාපොරොත්තුව සිටි පිළිතුර නම් නොවේ. රනිල් විශාල අfඳාා්නාවක් තබමින් කියා සිටියේ තමන් සියලු බලතල කරුට ලබා දීමට සූදානම් නමුත් නායකත්වය නම් කිසිසේත්ම ලබා දිය නොහැකි යැයි කියාය.
‘මම ඔක්කොම බලතල දෙන්නම්. මට ව්‍යවස්ථාවෙන් තියෙන්නේ මහලේකම් පත්කිරීමේ බලයයි. භාණ්ඩාගාරික පත්කිරීමේ බලයයි විතරයි. අනෙක් ඒවා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ලැබෙන බලතල. ඕන නම් මම ලේකම් පත්කරද්දී කරුගෙන් අහලා කරන්න ඕනෑ විදියට වගන්තියකුත් දාන්නම්. අනෙක් බලතලත් දෙන්නම්. හැබැයි නායකත්වය නම් අතහරින්න මට බැහැ’ යනුවෙන් රනිල් කියද්දී රාජිතට තමන් කළ කපුකම ඉන් ඉදිරියට රැගෙන යා නොහැකි බව හොඳහැටි වැටහී තිබිණි.

කරුට ආපු ඉල්ලීම

මේ අතරවාරයේ සිවිල් සංවිධාන, ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් කරු මුණගැසී ඔහුගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ දැනට අක්‍රියව පවතින සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායකත්වය භාරගන්නා ලෙසටය.
‘දැන් යන විදියට විපක්‍ෂය දුර්වල වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. රනිල් නායකත්වය අතහරින පාටකුත් නැහැ. හරියට බලතල නැතිව ඔබතුමා නායකත්වය භාර ගන්නත් එපා. අපි නම් කියන්නේ ඔය නායකත්ව ගැටුමට මැදිවෙන්නේ නැතිව ඔබතුමා සෝභිත හිමියන්ගෙ සංවිධානය භාර ගන්න කියලයි. මොකද ඔබතුමා ඒකෙ ආරම්භක සාමාජිකයෙක්. ඉදිරියට ඒ ව්‍යාපාරයට විශාල වටිනාකමක්, අවශ්‍යතාවන් එනවා. ඒ නිසා අපි ඉල්ලන්නෙ ඔබතුමාට ඒක භාර ගන්න කියලයි’ යනුවෙන් සිවිල් සංවිධාන හා ස්වාමීන් වහන්සේලා කළ ඉල්ලීමට කරු එකඟතාව පළකරන ආකාරයක්ද දැකගත හැකි විය.

දෙකට කැඩෙන සංඥාව

මේ සියල්ල අතරවාරයේ නිශ්චිත වශයෙන්ම එජාපය දෙකඩ වන නිල ආරංචිය ලැබුණේ ඉකුත් අඟහරුවාදා (3දා) දිනය. ඒ එදින සමඟි ජනබලවේගය වෙනම මහමැතිවරණයට තරග කරන බවට එහි පක්‍ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අස්සනින් යුතුව නිල වශයෙන් මැතිවරණ කොමිසමට කරනු ලැබූ දැනුම් දීමත් සමඟය. දුරකතනය ලකුණ සංකේතවත් කරමින් ‘සමඟි ජනබලවේගය’ නමින් හැඳින්වුණු ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් රංජිත් එම දැනුම්දීම කර තිබූ අතර, මේ සමඟම රනිල් ඇතුළු එම කණ්ඩායම බොහෝ කැලඹීමට පත්වූ ආකාරයක් පෙනෙන්නට තිබිණි. ඒ අනුව රනිල් වහාම තම කණ්ඩායම කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත් අතර, කෙතරම් ලොකු කතා කීවද එහිදී සියලු දෙනාගේම මුහුණු අපේක්‍ෂා භංගත්වයට පත්ව තිබූ ආකාරයක් දැකගත හැකි විය. හරියට සියලු දෙනාගේම මුහුණුවලින් දැකගන්නට ලැබුණේ තමන් හොඳින් දන්නා හඳුනන අයකුගේ අවමඟුලකට සහභාගි වී සිටින ආකාරයේ ශෝකී හැඟීමකි. ඒ අනුව රනිල් කියා සිටියේ අවම වශයෙන් මහලේකම් තනතුර හෝ සජිත් පාර්ශ්වය ලබාදී මෙම ගැටලුව විසඳාගත යුතු යැයි කියාය. ඊට අකිල එකඟතාව පළකළද ඊට කොන්දේසියක් ඉදිරිපත් කිරීමට අකිල පියවර ගත්තේය. ඒ තමන් මහලේකම් තනතුරින් ඉල්ලා අස්වන්නේ නම් තමන්ට පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ උප නායක ධුරය හිමි විය යුතු යැයි කියාය. ඒ පිළිබඳ නිශ්චිත එකඟතාවක් ඇති වූබවක් දැනගන්නට නොමැති වුවද අකිල සිය ඉල්ලා අස්වීමේ ලිපිය රනිල්ට භාර දීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.

ශාන්තිනී රනිල් ඉදිරියේ හඩා වැටෙයි

මේ සියල්ල අතරවාරයේ රනිල් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්ද සිරිකොතේදී තැබීමට පියවර ගෙන තිබිණි. අකිලද සහභාගි වී සිටි මෙම සාකච්ඡාවට දිවයිනේ සියලු දෙසින් ආසන සංවිධායකවරුන් පැමිණ සිටි අතර, ඇතැම් ආසන සංවිධායකවරුන් ඉතා සංවේදී අයුරින් අදහස් දක්වනු දැකගන්නට ලැබිණි. මෙහිදී ආරම්භයේදී කතා කළ රනිල් අදහස් දැක්වූයේම පක්‍ෂය කැඩී යනු ඇති බවට වූ ස්ථාවරයක සිටය. එහිදී නීතිමය තත්ත්වයද රනිල් පැහැදිලි කරනු ලැබීය.
රනිල්ගේ කතාවට පසු කතා කිරීමට නැඟිට්ටේ නුවර ශාන්තිනී කෝන්ගහගේය. ඉතාමත් සංවේදී ලෙස අදහස් දැක්වූ ශාන්තිනීගේ දෑස්වලින් වරෙක කඳුළු ගුළි රූරා වැටෙනු දැකගත හැකි විය.
‘බලන්න සර් අපිට දැන් වෙලා තියෙන් දේ. මම මේ පක්‍ෂය වෙනුවෙන් අවුරුදු 30ක් වැඩ කළා. අපි කවදාවත් පාර්ලිමේන්තු යන්නේ නැද්ද? මොකක් හරි දෙයක් ළඟට එද්දි පක්‍ෂය ඇතුළේ අර්බුදයක් ඇති වෙනවා. බලන්න දැන් මගේ හැටි. මගේ කොණ්ඩෙ සුදු වෙලා. මම නාකි වෙලා. පක්ෂෙ වැඩවලට ගිහින් මම ලක්‍ෂ 70ක් විතර ණයවෙලා. පසුගිය ජනාධිපතිවරණය කළේ දුවගෙ වෙඩින් එක කරන්න ඉතුරු කරගෙන හිටපු සල්ලිවලින්. මේ කරන වැඩවලින් වෙන්නෙ අපි විනාශ වෙන එක විතරයි.’ යනුවෙන් කියමින් ශාන්තිනී අදහස් දක්වද්දී මුළු සභාවම ‘හ්ම්’ සද්දයක්වත් නැති ගානට නිශ්ශබ්ද වී සිටිනු දැකගත හැකි විය.

ප්‍රියාන් ඇත්තම කතා කරයි

ශාන්තිනීගේ මේ අතිසංවේදී අදහස් දැක්වීමෙන් පසු කතා කළේ දඹුල්ලේ ආසන සංවිධායකවරයා වූ ප්‍රියාන් විජේවර්ධනය. ප්‍රියාන් යනු මේ වන විට දඹුල්ලේ සිටින ජනප්‍රියතම තරුණ එජාප දේශපාලනඥයාය. ප්‍රියාන් පිරිසට පෙන්වා දුනනේ එකමුතුව සිටීමේ වැදගත්කමය.
‘මම නම් දැනට පක්‍ෂයට ඇවිත් අවුරුදු හතරහමාරයි. එදා ආසන සංවිධායක ධුරය දුන් රැස්වීමේ කතා කළාට පස්සේ අදයි මම පක්‍ෂය ඇතුළෙ මෙහෙම කතා කරන්නේ. මේ පක්‍ෂයේ වෘත්තිකයෝ ඉන්නවා. හැබැයි මේ යන විදියට කිසි කෙනකුට අනාගතයක් නැහැ. මම කාටවත් චෝදනා කරනවා නෙවෙයි. අපි විපක්‍ෂයට ගියත් එකමුතුව යන්න ඕනෑ. ආණ්ඩුවක් ගත්තාම පුළුවන් ඕනෑ තරම් ගහගන්න.’ යනුවෙන් ප්‍රියාන් කියද්දී රනිලුත් – අකිලත් නිහඬව එය අසා සිටිනු දැකගත හැකි විය. එමෙන්ම මෙම රැස්වීමේදී සුළු පිරිසක් අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව කියා සිටියත් අති බහුතරයක් දෙනාගේ අදහස වී තිබුණේ සජිත් සමඟ නව සන්ධානය යටතේ තරග කළ යුතු යැයි කියාය.

රනිල් ඩුබායි ‌ගෙන්නුවේ අර්ජුන් මහේන්ද්‍රන්ද?

මේ අතර බදාදා දිනයේ තවත් විශේෂ සිදුවීම් දෙකක් සිදුවිය. ඉන් පළමුවැන්න වූයේ බදාදා උදේ සිට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිර ගිය කටකතාවකි. ඉන් කියැවුණේ රනිල් හදිසියේම ඩුබායි බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බවකි. මේ දිනවල බැඳුම්කර සිදුවීමට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඩුබායිවලට පැමිණ ඇති බවත්, රනිල් ඩුබායි යන්නේ අර්ජුන් මහේන්ද්‍රන් හමුවීමට බවත් ඒ ගිය කටකතාවෙන් වැඩිදුරටත් කියැවිණි.
කෙසේ වෙතත් ඒ පිළිබඳ සොයා බැලූ සියල්ලන්ටම දැනගන්නට ලැබුණේ රනිල් සිරිකොතේ රැඳී සිටින බවත්, බදාදා සවස පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පවා සහභාගි වීමට රනිල් සූදානමින් සිටින බවත්ය. ඒ අනුව සියලු දෙනාම සිතුවේ රනිල්ගේ ඩුබායි කතාව කාගේ හෝ විහිළුවක් යැයි කියාය. නමුත් එය තවදුරටත් විහිළුවක් නොවුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිම වූ සැණින් රනිල් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායකට යෑම නිසාය. එසේ රනිල් හදිසියේම ඩුබායි බලා පිටව ගියේ ඇයිද යන්නත්, කටකතාවලින් කියැවුණු පරිදි එසේ ගොස් අර්ජුන් මහේන්ද්‍රන් හමුවුණාද යන්නත් පිළිබඳව තවම හරිහැටි තොරතුරු වාර්තා වී නැත.

සජිත් ‌කෙලින් තීන්දුවක් ගනී

ඊළඟ සිදුවීම වූයේ සජිත්ගේ පිල තුළය. සජිත් බදාදා සිය කණ්ඩායම කැඳවා තිබුණේ නාමයෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී සජිත්ට එරෙහිව ඉදිරිපත් වි තිබූ විශාල චෝදනාවකට එක එල්ලේම පිළිතුරු ලබා දීමට සජිත් පියවර ගෙන තිබිණි. චෝදනාව වූයේ සජිත්ට සහාය දක්වන බොහෝ මන්ත්‍රිවරුන් පිරිස් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යෑමට බලාගෙන සිටිනවා යන්නය. නමුත් මෙහිදී සජිත් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ දැනට පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රිවරුන් සිය දිස්ත්‍රික්කවලින් තරග කොට ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පැමිණිය යුතු බවත්, කිසිදු මන්ත්‍රිවරයකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ නොතබන බවත්ය.
ඊට සියලු දෙනාම එකඟතාව පළ කළ අතර, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන බවට කටකතා පැතිර ගොස් තිබූ එරාන්, හර්ෂ, තලතා වැනි අයද කියා සිටියේ එය ඉතා හොඳ තීන්දුවක් බවත්, තමන් පිළිබඳව වැරැදි කටකතා සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වී ඇති බවත්ය.
කෙසේ වෙතත් මෙහිදී රටවටාම යා යුතු නිසා රංජිත්ට පමණක් ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව ලබා දිය හැකි බව සජිත් කියද්දී රංජිත්ද කියා සිටියේ තමන්ද මොනරාගලින් තරග කොට පාර්ලිමේන්තුවට පැමිණිමට තීන්දු කර ඇතැයි කියාය.

යූ එන් පී හදවතම සජිත්ට එයි

මේ සියල්ල අතර රනිල් පිලට අවාසිසහගතව සිද්ධිය සිදුවූයේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනය. එදින එජාපයේ හදවත බඳු වූ නුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සහ ආසන සංවිධායකවරුන් කැඳවා තිබුණේ දැනට දෙපිල බෙදී පවතින එජාපයේ කුමන පිල සමඟ මහමැතිවරණයට ඉදිරිපත් වනවාද යන්න තීන්දු කිරීම සඳහාය. ඊට 225ක පිරිසක් සහභාගි වී සිටි අතර කිරිඇල්ල පළමුව යෝජනා කළේ සජිත් පිලෙන් තරග වැදීමට කැමැති කවුරුන්ද කියාය. එහිදී පැමිණ සිටි 225න් 198 දෙනකුට සිය කැමැත්ත ප්‍රකාශ කළේ සජිත්ගේ නව සන්ධානය සමඟ එක්ව තරග කළ යුතු යැයි කියාය. ඊට අමතරව වසන්ත දිසානායක මහතා විමසා ඇත්තේ සජිත් එසේ වෙනම තරග වදිද්දී එජාපයද අලියා ලකුණින් තරග කළහොත් කුමන තීන්දුවක් ගන්නවාදැයි කියාය. එහිදී රැස්ව සිටි පිරිස කියා සිටියේ අලියා ලකුණින් වික්‍රමසිංහ පාර්ශ්වය තරග කළද තමන් සජිත්ගේ නව සන්ධානයට සහාය පළකිරීමට ගත් තීන්දුව වෙනස් කරන්නේ නැතැයි කියාය. ඒ අනුව අතීතයේ සිටම එජාපයේ බලකොටුවක් වූ එජාපය හදවත් මහනුවරද මේ වන විට සිටින්නේ සජිත්ගේ නව සන්ධානයත් සමඟය.

ගෝඨා-මහින්ද රවීට කතා කරයි

මේ සියල්ල අතරවාරයේ පාර්ලිමේන්තුවේ විසුරුවා හැරි දිනයේම එජාප උප නායකයා වූ රවි කරුණානායකට විශාල ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. ඒ බැඳුම්කර සිද්ධිය මුල්කරගෙන නැවැත වතාවක් රවි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග නිකුත් කිරීමය. බැඳුම්කර සිදුවීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසම මඟින් රවි නිදොස් පුද්ගලයකු බවට ප්‍රකාශ කර තිබියදීත් පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේදීම මෙම නියෝගය නිකුත් වීම නිසා රවි පමණක් නොව ආණ්ඩුවේ ඇතැමුන්ද සිටියේ පුදුමයට පත්වය. ඒ අනුව එජාපයේ පිරිස් පමණක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාත් මේ සම්බන්ධයෙන් වහාම රවිට කතා කොට ඒ පිළිබඳ තොරතුරු විමසීමට කටයුතු කළහ. රවි ඒ දෙදෙනාටම මෙය දේශපාලන පළිගැනීමක් සහ කුමන්ත්‍රණයක් බව කියද්දී ගෝඨාභයත්, මහින්දත් දෙදෙනාම රවිට කියා තිබුණේ තමන් මිනිසුන්ගෙන් පළිගැනීමට කටයුතු නොකරන බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ තවමත් සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රි විසින් පත් කළ පුද්ගලයන් බවත්ය. ඉකුත් මාසයේ නාමල්ටද මේ නිතිපති දෙපාර්තමේන්තුව මඟින් නඩුවක් පවරා තිබූ බවද මහින්ද එහිදි වැඩිදුරටත් කියා සිටියේය. ගෝඨාභය නම් රවිට කියා සිටියේ තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩවලට ඇඟිලි ගැසීමට නොයන බවත්, එහි සිටින්නේ කතා කරන්න පුළුවන් තත්ත්වයේ අය නොවන බවත්ය.
කෙසේ වෙතත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් රවිගේ දුකසැප විමසීම සඳහා තවත් එක්තරා විශේෂ පුද්ගලයකුද එදින රාත්‍රියේ රවිගේ නිවෙසට පැමිණියේය. ඒ වෙන කිසිවකු නොව සජිත් ප්‍රේමදාසය. දේශපාලන පිටියේ එළිපිට මොන තරම් වාද විවාද තිබුණත් රවිගේ දුකසැප බැලීමට ගෙදරටම පැමිණි සජිත් මධ්‍යම රාත්‍රිය වනතෙක්ම ඔහු සමඟ සාකච්ඡා කරමින් සිටි ආකාරයක්ද දැනගතහැකි විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

එළිය විෂ කරන වාස්තු දෝෂය

Next Post

කොටපොළ මන්ත්‍රී කකුලක් ගිය උඩක්

MORE NEWS

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.