වේයන්ගොඩ පොලිස් ස්ථානයේදී විභාග කළ පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය හරහා මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති සි ඩී වික්‍රමරත්න නියෝගකර ඇත.Sri Lanka Latest News
පොලිස් ස්ථානයකදී විභාගවන පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානිවන ක්‍රියාවක් බව පොලිසිය පවසයි.
වේයන්ගොඩ පොලිස් ස්ථානයේදී විභාග කළ පැමිණිල්ලක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය හරහා මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරගෙන් ‘නෙත් නිව්ස්’ කළ විමසීමකදී ඔහු පැවසුවේ, පොලිස්පතිවරයා විසින් මීට පෙර නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවල පවා සඳහන් කර ඇත්තේ එලෙස පැමිණිලි විභාග කරන අවස්ථා සහ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන අවස්ථා මාධ්‍ය වෙත මුදා හැරීමෙන් වැලකී සිටිය යුතු බවයි.
එවැනි ක්‍රියා මඟින් අධිකරණ ක්‍රියාවලියට බාධා එල්ල වන බවත්, පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බවත් පොලිස්පතිවරයා පෙන්වා දී ඇති බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරා සඳහන් කළේය.
පොලිස්පතිවරයා ලබා දෙන උපදෙස් අනුව එම පරීක්ෂණ කටයුතු හෙට දිනයේ ආරම්භ වනු ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‘නෙත් නිවුස්’ වෙත වැඩිදුරටත් සඳහන් කළේය. -නෙත් නිවිස්










